Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

On line අධ්‍යාපනය ඇති නැති පරතරයට යටවෙලා , ආණ්ඩුව වගකිව යුතුයි – ජවිපෙන් චෝදනා

අන්තර්ජාලය මගින් අධ්‍යාපනය ලබාදීම ගුරුවරුන්ගේ හැකියාව විදුහල්වල හැකියාව සහ දෙමාපියන්ගේ වත්කම අනුව තීරණය වී ඇති බව හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී හා ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

‘ඌව පළාත තමයි ලංකාවේ දුප්පත්ම පළාත. ඌව පළාතට අයත් හල්දුම්මුල්ල, මහියංගණය, සියඹලාණ්ඩුව, සෙවණගල, බඩල්කුඹුර වැනි ඈත පිටිසර ප්‍රදේශවල අම්මලා තාත්තලා කඳු මුදුන්වල වගේම හෙල් අතර ජීවත් වෙනවා. ඒ අයට අන්තර්ජාල පහසුකම් තියා දුරකථන පහසුකම්වත් නැහැ. එතකොට කොහොමද මේ අධ්‍යාපනය දරුවන්ට යන්නේ’ යැයිද ඒ මහතා ප්‍රශ්න කළේය.

විද්‍යාරත්න මහතා එසේ පැවසුවේ බදුල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති නිහඬ විරෝධතාවෙන් පසු මාධ්‍ය අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා,

‘මේ රටේ ලක්ෂ 42කට ආසන්න පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ ඉන්නවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන්ටත් මේ මොහොතේ අධ්‍යාපනය අඩාළ වෙලා. ඒ නිසා මේ පිළිබඳව රජය අවධානය යොමු කළ යුතුයි. අපට පෙනෙන විදිහට වත්මන් ආණ්ඩුව මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ගේන හැඩක් පෙනෙන්නට නැහැ.

කොරෝනා දෙවැනි රැල්ලේදී ආණ්ඩුව එය මැඬපැවැත්වීම මගහැර ඇති බව පෙනෙනවා. අධ්‍යාපනයත් එසේ මගහැර තිබෙන බවයි පෙනෙන්නේ. අධ්‍යාපන බලධාරීන් ළමුන්ට අධ්‍යාපනය දෙන්න යම් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටියත් ආණ්ඩුව එසේ කරනවා දකින්නට නැහැ. දරුවන්ට නිසි වයසේ අධ්‍යාපනය දිය යුතුයි.

අපි ඔන්ලයින් අධ්‍යාපනයට විරුද්ධ නැහැ. එය නිසි ක්‍රමවේදයකට අනුව කරන්න කියලයි අපි කියන්නේ. මේ සඳහා ජනතාවට යටිතල පහසුකම් දීලා නැහැ. එදා වේල කන්න නැති, සපත්තු ජෝඩුව ගන්න බැරි, පොතක් පතක් ගන්න බැරි දරුවන් ස්මාර්ට් ෆෝන් එකක්, ටැබ් එක්ක වගේම කොම්පියුටර් එකක් ගන්නේ කොහොමද? ඒ නිසා ආණ්ඩුව මේවාට මැදිහත් විය යුතුයි.

අන්තර්ජාලය හරහා දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් දෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

අයවැය ඉවර කරලා එදා රාත්‍රියේ කෝටි දෙකක් විතර වියදම් කළා. හැබැයි දරුවන්ට අන්තර්ජාල පහසුකම් දෙන්න විදිහක් නැහැ. අපි කියන්නේ නාස්තිකාර වියදම් නවත්වලා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මෙවලම් ටික දෙන්න.

කොම්පියුටර් එකක් ගන්න බැරි ළමයට නොමිලේ දෙන්න, ණයක් අරගන්න පුළුවන් කෙනාට සහන ණයක් යෝජනා කරන්න. ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න, අදාළ පන්ති කාමර නිර්මාණය කරන්න, හැම තැනටම දුරකථන සිග්නල් නැහැ. ඒවා සකසන්න.

ඩේටා දාගන්න බැරි ළමයින්ට සහන දෙන්න. අපේ රටේ විද්‍යුත් මාධ්‍ය ඕන තරම් හදාගෙන තියෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වූ ආණ්ඩුවේ නාළිකා කීයක් තියෙනවාද? ඒවා නිසි පරිදි කළමනාකරණය වෙනවද?

අද වනවිට සල්ලි බාගේ තියෙන කෙනාට අධ්‍යාපනයේ දොරවල් ඇරිලා තියෙනවා. නමුත් අසරණ, දුප්පත් ළමයින්ට ඒ දොරවල් වැහිලා. අද වනවිට ළමුන් ලක්ෂ ගණනින් අධ්‍යාපනය හැර ගිහින් තියෙනවා. අපි කියන්නේ මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හොඳයි, එය ක්‍රියාත්මක වෙන විදිහ වැරදියි. එය වහාම නිවැරදි කරන්න කියලයි.’

යනුවෙන් ද ඔහු සඳහන් කළා.