Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ කයිවාරුවයි, පම්පෝරියයි නිසා ජනතාව අනතුරේ වැටුණා – එජාපයෙන් රජයට චෝදනා පත්‍රයක්

කොරෝනා ව්‍යාප්තියේ සම්පූර්ණ වගකීම රජය විසින් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ රජය නිසි ප්‍රමුඛතාවන් හදුනා නොගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා බැහැර කරමින් කටයුතු කිරීම හේතුවෙන් රටට මෙම තත්වය උදා වූ බවයි.

ආණ්ඩු බලය ලබා ගැනීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම සදහා පමණක් ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කල ආණ්ඩුව කොරෝනා මර්ධනයට සාධනීය මැදිහත් වීමක් නොකළ බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.

අදාල මාධ්‍ය නිවේදනය පහලින්

2020.10.30

විශේෂ මාධ්‍ය නිවේදනය 

කොරෝනා ව්‍යාප්තිය පාලනයට රජය අසමත් වුණා.

නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරද්දිත් එය ද මගහැරියා

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ  පවා නොසලකා හරිමිනි ක්‍රියාකළ රජය ජන ජීවිතය අනතුරේ හෙළීමට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.

කොරෝනා මර්දනය කිරීම සඳහා තවමත්  නිසි සැලසුමක් රජයට නැහැ.

ජන ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් වගකීමෙන් මැදිහත් වන්න.

පසුගිය කාලය මුළුල්ලේම මරාන්තික CovID-19 වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දුන් ආකාරය පිළිබඳ අවධානයෙන් පසු වූ එක්සත් ජාතික පක්ෂය සහ එහි නායකත්වය දිගින් දිගටම රටේ ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රජයකට ගත හැකි ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ  යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවේ සද්භාවයෙන් යුක්තවයි.

නමුත් කිසිවක් මායිම් නොකළ රජය සිදුකළේ මැතිවරණ පැවැත්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කිරීම වැනි තම බලය තහවුරු කර ගැනීමේ කටයුතුවලට ප්‍රමුඛතාව දී ක්‍රියා කිරීම පමණි. 

මෙම වටපිටාව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කළ අනතුරු ඇඟවීම් පවා නොතකා හරිමින් කටයුතු කළ රජය ජනතාව  කොරෝනා වසංගතය පිළිබඳ තබා තිබූ බිය සහ අවධානය පවා ඉවත් කර දැමීමට කටයුතු කිරීම කනගාටුදායකයි.

රජයේ ප්‍රධානීන් ට අවශ්‍ය වූයේ ලෝකයේ අන් රටවල් සමග කරට කර තරඟ කොට කොරෝනා පරාජය කළ රටවල් අතර පළවෙනි දෙවෙනි ස්ථාන දිනා ගත් බවට පවසා තම ප්‍රතිරූප වර්ධනය කර ගැනීමේ ගැනීමේ උවමනාවක් පමණක් බව ඔවුන් ඇතැම් අවස්ථාවලදී සිදු කළ ප්‍රකාශයන් ගෙන් ගම්‍ය වුණා.

කොරෝනා  වසංගතයට අදාල ව ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නව නීති රීති පැනවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය අපහොසොහොසත් වීමේ ප්‍රතිඵලය ලෙස අද වන සියලු දෙනාගේ ජීවිත අවධානමට ලක්ව තිබේ. 

ඊයේ සවස සිදුවූ  සිදුවීම මීට ආසන්නතම උදාහරණයයි.බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඇඳිරි නීතිය පනවන බව ප්‍රකාශ කිරීමත් සමඟ  බස්නාහිර පළාත තුල සිටි බොහෝ පිරිසක්  බස්නාහිර පළාතෙන් බැහැරව ගොස් තිබේ.මේ තුළ රටේ සියලු දිස්ත්‍රික්කවල ජනතාවගේ ජීවිත තවදුරටත් අවදානමේ හෙළා ඇත.මෙය රජයේ නොහැකියාව සහ අදූරදර්ශී ක්‍රියා කලාපයෙහි ප්‍රතිඵලයකි.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී එක්සත් ජාතික පක්ෂයේ ගරු නායක රනිල් වික්‍රමසිංහ සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් කෙටුම්පත් කරන ලද  මහජන සෞඛ්‍ය හදිසි පනත් කෙටුම්පත (ඇමුණුම 1 බලන්න) රජයට ඉදිරිපත් කරන ලදී.

ඒ මෙවැනි අවස්ථාවක  රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කටයුතු කිරීමේ සාමූහික වගකීම සහ වගවීම ක්‍රියාවට නංවමිනි.

නමුත් ආණ්ඩුවේ කිසිවකු එම යෝජනා තුට්ටුවකට මායිම් කළ බවක් දක්නට නොලැබුණි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු මාසයේ සිට දිගින් දිගටම රජයෙන් සිදු කළ ඉල්ලීමක් විය.එනම් ආසාදිතයන් හඳුනාගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම පොදු ජනතාව ගැවසෙන ස්ථාන ,කෘෂිකාර්මික සහ ආර්ථික වශයෙන් වැදගත් මර්මස්ථාන සියල්ල ආවරණය කරමින් අඛණ්ඩව සහ අහඹු ලෙස PCR පරීක්ෂණ පැවැත්වීම සිදුකරගෙන යන ලෙස ද  එතුමන් යෝජනා කර ලදී. එමෙන්ම රාජ්‍ය සහ පුද්ගලික සියලු සෞඛ්‍ය අංශ ඒකාබද්ධව  කොවිඩ් මර්දනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවද එතුමා  විසින් පෙන්වා දෙන ලද්දේ පසුගිය මාර්තු මාසයේ දී ය.

නමුත් ඒ කිසිවක් පිළිබඳවද රජය අවධානය යොමු නොකළේ ය.

මේ වන විට  හෝ රජය සතුව ඇති PCR යන්ත්‍ර හරහා ප්‍රතිඵල ලබා දීමට දින පහක පමණ කාලයක්  ගත වන තත්වයක් නිර්මාණය වී තිබේ. ප්‍රධාන යන්ත්‍ර කිහිපයක් බිඳවැටී ඇත. කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් සමාජගත වෙමින් තිබෙන මොහොතක මෙවැනි ප්‍රමාදයන් පවා ජීවිත දහස් ගණනක් අනතුරේ හෙළීමට හේතු නොවන්නේ යැයි කිව හැකිද ?

PCR උපකරණ සහ මුව ආවරණ  ඇතුළු අනෙකුත් ආරක්ෂිත උපාංග සෞඛ්‍ය අංශ වෙනුවෙන් මිලදී ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිකයන් මෙන්ම වගකිව යුතු සියලු දෙනා රජය දැනුවත් කළ ද එම අදහස් පවා මායිම් නොකරමින් කටයුතු කළ වත්මන් රජයේ අදුරදර්ශී වැඩපිළිවෙළ හමුවේ වන්දි ගෙවීමට සිදුව ඇත්තේ මේ රටේ ජනතාවටයි.

තවදුරටත් ප්‍රමාද විය නොහැක. රෝහල් වල ධාරිතාව වැඩි කිරීම සඳහාත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහ කොරෝනා මර්ධන මෙහෙයුම් වලට සම්බන්ධ සියලුම නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහාත්,ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාත් රජය දැන්වත් අවශ්‍ය පියවර ගත යුතුය. රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ක්ෂණික සහ ඵලදායි තීරණ ගැනීම සඳහා වහා මැදිහත් වී කටයුතු කිරීම රජයේ වගකීම බව අපි නැවතත් අවධාරණය කරමු. 

එක්සත් ජාතික පක්ෂය ලෙස අපට රජයෙන් ඉල්ලීමට ඇත්තේ රටේ පුරවැසියන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් බුද්ධිමත් සහ වගකීම් සහගත මැදිහත්වීමට කටයුතු කරන ලෙසයි.

© මාධ්‍ය ඒකකයඑක්සත් ජාතික පක්ෂය