Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවත් අධිරාජ්‍යවාදීන් වගේ – ජාතික කොඩිය වෙනස් කරන්න කියන්නේ කවුද ? එජාප නියෝජ්‍ය නායක අසයි

ජාතීන් වශයෙන් භේද කොට යටත් විජිත පාලනය කිරීම අධිරාජ්‍යවාදීන්ගේ ස්වභාවය බවත් , වත්මන් ආණ්ඩුව ද රට පාලනය කිරීම සඳහා තෝරා ගෙන ඇත්තේ එම මාර්ගය බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

වත්මන් ආණ්ඩුව රටේ ජනතාව තුළ ජාති වාදී හා ආගම වාදී අදහස් නිර්මාණය කරමින් සිටින බව පවසන විජයවර්ධන මහතා එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ද මෙලෙසින්ම කටයුතු කරමින් ලංකාව පාලනය කිරීමට උත්සහ කළ බවද සිහිපත් කළා.

නමුත් එදා සියලු ජාතීන් එක මිටකට එක්ව එකිනෙකාට විශ්වාසයෙන් යුතුව උදව් උපකාර කරගනිමින්, ප්‍රශ්න වලට එකමුතුව මුහුණ දෙමින් ලංකාවට නිදහස දිනා දුන් ගත් බවද පෙන්වා දුන්නා.

වර්තමාන ආණ්ඩුව මේ වන විට ජාතික කොඩිය පවා වෙනස් කිරීමට උත්සහ දරන්නේ කුමන හේතුවක් නිසාද යන්න රටට හෙලිකල යුතු බවත්, නිදහස දින ගැනීමෙන් පසු මෙරට පිළිගත් ජාතික ධජය වෙනස් කිරීම හරහා විසදා ගැනීමට බලාපොරොත්තුවන ප්‍රශ්නය කුමක්ද යන්න රටට හෙළි කල යුතු බවත් විජයවර්ධන මහතා මෙහිදී පැවසුවා.

නිදහස දිනා ගෙන වසර 73ක් ගත වී ඇති මොහොතක රටක් ලෙස අප සිටින්නේ කොතනදැයි නැවත බුද්ධිමත්ව සිතා බැලිය යුතු බව අවධාරණය කළ විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය බිහි කරමින් මහාමාන්‍ය ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන් බලාපොරොත්තුව වූ එක්සත් ශ්‍රී ලංකාව නිර්මාණය කොට සියලු ජාතීන් සමග එක්ව, රටක් ලෙස ඉදිරියට යාම සඳහා එක්සත් ජාතික පක්ෂය නායකත්වය ලබාදෙන බවද සඳහන් කළා.

මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පක්ෂ නිලධාරී මණ්ඩලය සහ පාක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක් වුණා.

About The Author