Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වේවැල පැත්තකින් තියා ඉන්දියාව පොල්ල ගනී, බලය බෙදනු – ඉන්දියාවෙන් ලංකාවට බලපෑම්

කොළඹ වාරයේ නැගෙනහිර සම්බන්ධ ප්‍රශ්නය මේ වන විට ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර රාජතාන්ත්‍රික අසමගියක් ඇතිවීමේ තත්වයක් දක්වා උඩුදුවා තිබෙනවා.

ජැටිය සහ මෙරට ඉන්දීය ආයෝජන සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුව තුල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක ලෙස අදහස් පල කිරීම අරඹා තිබෙනවා.

නාවික හමුදාව ඉන්දීය ධීවරයන් මර දමලා !

ඉන්දීය විදේශ ඇමතිවරයා සදහන් කරන්නේ පසුගියදා යාපනය ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයන් තිදෙනෙකු ශ‍්‍රී ලංකා නාවික හමුදා යාත‍්‍රාවක හැපී මිය ගිය බව පැවසීම කිසිසේත්ම පිලිගත නොහැකි තත්වයක් බවයි.

එය ඝාතනයක් යයිද ඔහු චෝදනා කර තිබෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින්.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය මැදිහත් වීමක් අවශ්‍ය බව ද ආර්. ජයශංකර් මහතා සඳහන් කර තිබෙනවා.

වහා බලය බෙදන්න

මේ අතර ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන ලෙස බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ද ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා අවධාරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ඒ සඳහා පදනම් කරගත යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවද එය මෙරට තුළ සම්පුර්ණයෙන් ක්‍රියාත්මක වුයේ නැහැ.

එමෙන්ම පළාත් සභා ඡන්ද නොපැවැත්වීම හේතුවෙන් මේ වන විට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම බල රහිත තත්වයක පත්ව ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ බලය බෙදීමෙන් පමණක් යයිද පවසා ඉන්දීය විදේශ අමාත්‍යවරයා තමන් පසුගියදා සිදු කළ ශ්‍රී ලංකා සංචාරයේදී ශ‍්‍රී ලංකා නායකයන් වෙත ඒ බව අවධාරණය කළ බවද පවසා තිබෙනවා.

මෙරට බලය බෙදීම සඳහා වන වැඩපිළිවෙළට ඉන්දියාව තම උපරිම සහාය දක්වන බවද ඔහු එහි දී සඳහන් කර තිබෙනවා.

මේ අතරශ්‍රී ලංකාව ඉන්දියවෙන් ලබාගෙන ඇති ඩොලර් මිලියන 400 ක ණය මුදල වහා ගෙවා දමන ලෙසද ඉන්දියාව පසුගියදා මෙරට රජයට දැනුම් දී තිබුණා.

ඒ අනුව එම ණය මුදල ගෙවා දමා ඇති බව මහා භාණ්ඩාගාරයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දීය රජයෙන් ලබා ගත් මෙම ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහන කාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ගෙවා දමන ලෙස මෙරටට බලපෑම් කල බවට වාර්තා වුණා.

එම මුදල ගෙවා දමා තිබෙන්නේ මෙරට විදෙස් සංචිත වලින්.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත තව දුරටත් පහල බැස ඇති බවද මාධ්‍ය වාර්තා පලවනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට තීරණය කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තද ස්ථාවරයක සිට ඉන්දියාව කටයුතු කරන ආකාරයක් දැකිය හැකි අතර රාජතාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකාව වෙත දැඩි පීඩනයක්ද එල්ල කර තිබීම විශේෂත්වයක්.