Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අවසන් “රීරි මාංශයත්” උරා බීම සහ ආණ්ඩුවේ දේශපාලනය : පොද්දල ජයන්ත ලියයි

මත්පැන් , සිගරට් , වාහන , විදුලි සංදේශ සේවා , ඔට්ටු හා සූදු , කැසිනෝ යන බදු වර්ග හතක් වෙනත් ගිණුමකට බැර කර ගැනීමේ සැළසුමශ්‍රී ලංකාව පණ අදිමින් හෝ රදා පවතින ප්‍රධාන කුළුණක් සහ සෙසු කුළුණු දෙකක් පවතී.

ඉන් ප්‍රධාන කුළුණ වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යි.

අනෙක් කුළුණු දෙක වන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යි.

රටේ නිදහස් අධ්‍යාපනය , නිදහස් සෞඛ්‍ය සේවාව , දිළිදු සහන ( සමුර්දි) , මංමාවත් ඇතුළු සියලූම මහජන සුබ සාධනයන් සදහා සම්පූර්ණ වැය බර දරන්නේ ඉහත ආයතන ත්‍රිත්වයෙන් එකතුකර රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන බදු ආදායමිනි.

දේශපාලන බල අධිකාරියේ නඩත්තුවරට කොතරම් අගාධයට ගියත් කිසිදු හිරිකිතයකින් තොරව හිතූ හිතූ ලෙස සුඛ විහරණයේ යෙදෙන දේශපාලන බල අධිකාරියේ ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වාත් , ජනාධිපති , අගමැති කාර්යාල සිට පාර්ලිමේන්තුව , අමාත්‍යාංශ , නිල නිවාස , යාන වාහන ඇතුළු සියලු රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ ද ඉහත ආයතන විසින් එකතු කරනු ලබන රාජ්‍ය බදු ආදායම්වලිනි.

මේ ආයතන ත්‍රිත්වය තුළද නොයෙකුත් කූට උපක්‍රම භාවිත කරමින් රටට ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ලබා නොගනිමින් සිදු කරන දැවැන්ත වංචා දූෂණ නැතුවා නොවේ.

වරක් මේ ලියුම්කරු රටට හෙළිදරව් කළ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් තුළ මෙතෙක් සිදුවූ දැවැන්තම වංචාව වූ රුපියල් කෝටි 2200 ක ‘වැට් බදු’ වංචාව සිදුවූයේද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ ය.

ඒ සියලු අක්‍රමිකතා තිබියදීත් එදා මෙදාතුර ශ්‍රී ලංකාව රදා පැවතියේත් , පවතින්නේත් මේ ආයතන තුන රටට උපයා දුන් සහ උපයා දෙන දැවැන්ත ධනස්කන්ධය මත ය.

රාජපක්ෂලා කැහැපොට ගහන අලුත්ම සෙල්ලම..

ඉහත සදහන් කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව , රේගු දෙපාර්තමේන්තුව , සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ එකතු කරනු ලැබූ රාජ්‍ය බදු ආදායම් එම ආයතන ත්‍රිත්වය විසින් සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීම සිදුවිය.

ගෝඨාභය රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ , නාමල් රාජපක්ෂ එකතු වී දැන් සිදු කිරීමට යන්නේ කුමක්ද ?

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කළ විදුලි සංදේශ සේවා , ඔට්ටු හා සූදු බදු , කැසිනෝ බදුත් , සුරා බදු දෙපාර්තමේන්තුව මෙතෙක් එකතු කළ මත්පැන් සහ සිගරට් බදුත් , රේගු දෙපාර්තමේන්තුව එකතු කළ වාහන බදුත් යන විශාලතම බදු ආදායම් එකී ආයතනවලින් ගලවා මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙනෙකු යටතේ පිහිටුවන වෙනමම ගිණුමක් වෙත විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් ලෙස ලබා ගැනීමට පිඹුරුපත් සකස් කිරීම යි.

රටේ බලය ලබා ගැනීමට ‘මරුවිකලෙන්’ දගලන විපක්ෂ නායකයා ඇතුළු විපක්ෂයේ කිසිවෙකුට මේ අනතුර නොතේරෙන්නේ මන්ද ? ඉහත විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පිළිබද ගැසට් නිවේදනය නිකුත් වූයේ පසුගිය දෙසැම්බර් 07 වැනිදා ය.

එහෙත් අද වනතුරුත් විපක්ෂයේ කිසිවෙකු ඊට එරෙහිව අධිකරණයට ගියේ නැත. රටේ පාලන බලය ලබා ගැනීමට සීටින කවුරුන් හෝ බලය ලබාගත් පසු රට ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද යන්න කල්පනා නොකිරීම , හැම උදෑසනකම පාන් රාත්තලට පවා බදු ගෙවන අසරණ මිනිසුන්ගේ මහා අභාග්‍යයකි.රාජපක්ෂලා අලුතින් ගෙන ඒමට සූදානම්වන බදු පනත ප්‍රකාරව ඉහත බදු මුදල් රැස් කිරීමේදී එම ආයතන ත්‍රිත්වයටම මෙතෙක් අදාළ වූ බදු රෙගුලාසි අහෝසි වනු ඇත.

ඒ අනුව එකී බදු මුදල් රැස් කිරීමේදී , දේශීය ආදායම් බදු කොමසාරිස් ජෙනරාල් , රේගු අධ්‍යක්ෂ ජෙනරාල් , සුරා බදූ කොමසාරිස් යන තනතුරුවලට ලබා දී තිබූ බලතල අහෝසි වී ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ බලය මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකූට පැවැරේ.

අවම වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට වගකියන මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාටවත් එහි ප්‍රධාන වගකීම පැවැරෙන්නේ නැත.

පාර්ලිමේන්තුවට වග කියන්නේ කව්ද ?රාජපක්ෂලා ගෙන ඒමට සූදානම්වන නව බදු සංශෝධන පනත සම්මත වුවහොත් , මෙතෙක් කල් ඉහත බදු ආදායම් රැස් කිරීම් , එකී බදු මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කිරීම් ඒ පිළිබදව පාර්ලිමේන්තුවට වගකියන්නේ කව්ද යන්න පනතේ පැහැදිලිව සදහන් වන්නේ නැත.

රටේ පොදු මහජනතාවගේ බදු මුදල් මැද මුලනේ පුද්ගලික බූදලයක් බවට පත්කර ගැනීමට කැසකවන නව පනතට එරෙහිවන ලෙස විපක්ෂ නායකයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බල කිරීමට රටේ පොදු ජනතාවවත් දැන් පෙරට ආ යුතු ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස 2019 දෙසැම්බර් මස සිදු කළ බදු සංශෝධනය නිසා 2020 වසරේදී පමණක් රටට අහිමි වූ බදු මුදල රුපියල් කෝටි 60,000 කි. 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට මූල්‍ය අනුග්‍රහය දැක්වූ ගජ මිතුරු ව්‍යාපාරිකයන් පිරිසක් වෙනුවෙන් මුළු රටටම බලපාන ලෙස කරන ලද බදු සංශෝධනය නිසා 2020 දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පමණක් රුපියල් කෝටි 60,000 ක් පමණ අහිමි වී තිබේ.

උපයන විට ගෙවීම් ලෙස අඛන්ඩව බදු ගෙවමින් සිටි ලක්ෂ හයක (6, 00000) පමණ එකී බදු සීමා ඉහළ දැමීම නිසා බදු ගෙවීම නතර කර තිබේ.

රුපියල් බිලියන 1025 ක් වූ 2019 වර්ෂයේ බදු ආදායම අදාළ බදු සංශෝධනවලින් පසු 2020 දී රුපියල් බිලියන 424 දක්වා පහත බැස තිබේ. අද රටේ ජනතාව නාරා දුක් විඳින්නේ රාජපක්ෂලා රටේ ආදායම් තමන්ගේ පුද්ගලික බූදලයක් කොට සළකා ක්‍රියා කිරීම නිසා ය.

ඉහත බදු සංශෝධන පනත සම්මත වුවහොත් රටට කවර ඉරණමක් අත් වෙනු ඇද්ද ? මිනිසුනේ බලව..!!

ඇස් හැර නිදිගැට පිසදමා..!!!

© පෝද්දල ජයන්ත