2022 නොවැම්බර් 29

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අධිකරණය පාලනයට බලය ජනාධිපතිට ගන්න, කාරක සභා අවස්ථාවේ කළ කුමන්ත්‍රණකාරී සංශෝධනය – කේ. ඩබ්ලිව් ජනරංජන

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විනාශකාරීම ලක්‍ෂණය වන්නේරටේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන මූලික පාලන ආයතන තුනේ පාලන බලය සම්පූර්ණයෙන්ම පාහේ ජනාධිපතිවරයා වෙත පැවරීමයි.  ඒ නිසා 20න් පසු ලංකාවේ බිහිවන්නේ ඒකාධිපති පාලකයකු බවට විවාදයක් නැත. 20 නිසා අධිකරණය පාලනය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පාහේ ජනාධිපතිවරයාට ලැබේ.  

20හි මුල් කෙටුම්පතේ තිබුණාටත් වඩා අධිකරණ පාලන බලතල, කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ එකතු කරන ලද සංශෝධනවලින් ජනාධිපතිවරයාට ලබා දී තිබේ.  මෙය කාරක සභා අවස්ථාවේ සංශෝධන එකතු කිරීමට ඇති අවස්ථාව දඩමීමා කරගෙන, අධිකරණයේ පාලනය, 20හි මුල් කෙටුම්පතේ තිබුණාටත් වැඩියෙන් ජනාධිපතිට ලබාගැනීම සඳහා කරන ලද ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකි. ‘මෙය කාරක සභා අවස්ථාවේ සංශෝධන එකතු කිරීමට ඇති අවස්ථාව දඩමීමා කරගෙන, අධිකරණයේ පාලනය, 20හි මුල් කෙටුම්පතේ තිබුණාටත් වැඩියෙන් ජනාධිපතිට ලබාගැනීම සඳහා කරන ලද ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයකි.” 

පනත් කෙටුම්පතක් සම්මත කිරීමේ ක්‍රියාවලියේ කාරක සභා අවස්ථාවේදී (එය දෙවැනි වර කියවීමෙන් පසුව, කෙටුම්පතේ වගන්ති එකින් එක, මුළු පාර්ලිමේන්තුවම කාරක සභාවක් හැටියට රැස්වී, පරීක්‍ෂා කර බලන අවස්ථාවයි) එහි මුල් හරයට අදාළ නොවන අලුත් සංශෝධන එකතු නොකිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. යහපාලන ආණ්ඩු සමයේ පනත් කෙටුම්පත්වලට, ඒවායේ මුල් අවස්ථාවේ නොතිබුණු අන්දමේ සංශෝධන කාරක සභා අවස්ථාවේදී කුමන්ත්‍රණකාරීව ඇතුළු කළ බවට විවේචනයක් ගෙනාවේ පොහොට්ටු පක්‍ෂයේ උගතුන් හා වියතුන් විසිනි.  ඒ නිසා, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගෙනා 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුල් කෙටුම්පතේ, ‘පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුව තුළදී යෝජනා කරනු ලබන යම් සංශෝධනයක් ඒ පනත් කෙටුම්පතේ හරයට සහ මූලධර්මවලට පරිබාහිර සංශෝධනයක් නොවිය යුත්තේ ය’ යනුවෙන් වගන්තියක්ද ඇතුළු කොට තිබුණේය.  

එහෙත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද? පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී 20වැනි සංශෝධනයේ තිබුණාටත් වඩා අධිකරණය පාලනය කිරීමට ජනාධිපතිවරයාට හැකි වන පරිදි තවත් සංශෝධනයක් එකතු කිරීමයි. එය නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 6කින් වැඩි කිරීමටත්, අභියාචනාධිකරණයේ සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව 8කින් වැඩි කිරීමටත් සංශෝධනයක් එකතු කිරීමයි.  මේ සංශෝධනය, 20හි මුල් අවස්ථාවේදී නොතිබුණු එකකි. එසේ නොතිබීම නිසා, එක පැත්තකින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ 20 ගැන පැවැති විභාගයේදී ඒ ගැන කතා නොකෙරිණි.  ඊටත් වඩා, එය මහජන අවධානයට මෙන්ම අධිකරණ හා නීති ප්‍රජාවගේද අවධානයට යොමු නොවුණි.  ඒ නිසා එම සංශෝධනය අවසාන මොහොතේ ගෙන ආ ‘කුමන්ත්‍රණකාරී සංශෝධනයක්’ හැටියට සලකන්නට සිදුවෙයි.  

එහි විපාකය කෙබඳුද? දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව (අගවිනිසුරුද ඇතුළුව) 11කි.  එයට විනිසුරුවරුන් 6 දෙනකු එනම්, දැනට සිටින සංඛ්‍යාවෙන් භාගයකට වැඩි පිරිසක් අලුතෙන් එකවර එකතු කෙරෙති.  අභියාචනාධිකරණයේ දැනට සිටින විනිසුරුවරුන් සංඛ්‍යාව (සභාපති විනිසුරුද ඇතුළුව) 12කි.  එයට විනිසුරුවරුන් 8 දෙනකු, එනම් දැනට සිටින සංඛ්‍යාවෙන් භාගයකටත් වැඩි විනිසුරුවරුන් සංඛ්‍යාවක් එකවර අලුතෙන් එකතු කෙරෙති. අධිකරණයේ ස්වාධීනත්වය පැත්තෙන් මෙහි ඇති අදාළත්වය නම්, මේ සියලු අලුත් විනිසුරුවරුන් පත්කෙරන්නේ ජනාධිපතිවරයා විසින් තමන්ගේ තනි කැමැත්ත අනුව වීමයි.  

”අධිකරණයේ ස්වාධීනත්වය පැත්තෙන් මෙහි ඇති අදාළත්වය නම්, මේ සියලු අලුත් විනිසුරුවරුන් පත්කෙරන්නේ ජනාධිපතිවරයා විසින් තමන්ගේ තනි කැමැත්ත අනුව වීමයි.” ඒ කියන්නේ, 20න් පසුව රටේ ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය යන ඉහළම තීරණාත්මකම උසාවි දෙකට, මේ මොහොතේ අලුත් විනිසුරුවරුන් 14 දෙනකුද, අනාගතයේදී සියලු විනිසුරුවරුන්ද තමන්ගේ තනි කැමැත්තට පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබේ.  

තනි කැමැත්තට කියන්නේ ඇයි?  20න් පාර්ලිමේන්තු සභාව නමැති අලුත් ‘ස්වාධීන’ සභාවක් ඇතිකර තිබෙනවා නොවේද? නැත.  පාර්ලිමේන්තු සභාව යනු, 20න් ඇතිකරන ලද ජනාධිපතිවරයාගේ අතේ නැටවෙන රූකඩ සභාවකි.  එහි සභාපතිවරයා කතානායකවරයාය. අගමැතිවරයා හා විපක්‍ෂනායකවරයාත් සමග අගමැතිවරයාත්, විපක්‍ෂ නායකයාත් තම නියෝජිතයන් හැටියට නම් කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් එම සභාවට ඇතූළත් වෙති.  බැලූ බැල්මටම, එහි බල තුලනය ආණ්ඩුවට 3යි, විපක්‍ෂයට 2කි.  එහි ඇති අනෙක් විනාශකාරී ලක්‍ෂණය නම්, අගමැතිවරයාත්, විපක්‍ෂනායකවරයාත් පත්කරන ඔවුන්ගේ නියෝජිතයන්, තමාට වුවමනා අවස්ථාවක ඉවත් කිරීමට 20න් ජනාධිපතිට බලය ලබාදීමයි.  

”එහි ඇති අනෙක් විනාශකාරී ලක්‍ෂණය නම්, අගමැතිවරයාත්, විපක්‍ෂනායකවරයාත් පත්කරන ඔවුන්ගේ නියෝජිතයන්, තමාට වුවමනා අවස්ථාවක ඉවත් කිරීමට 20න් ජනාධිපතිට බලය ලබාදීමයි.”  ඒ වාගේම මෙම මණ්ඩලයට කළ හැක්කේ, විනිසුරුවරුන් හැටියට ඔහු එවන නම් ගැන තමන්ගේ ‘නිරීක්‍ෂණ’ ඉදිරිපත් කිරීම පමණකි.  නිර්දේශ ‘ලබාගත යුත්තේය’ යන ව්‍යාජ නියමයක් 20 සංශෝධනයට ඇතුළත් කොට තිබුණත්, එහි ඇත්ත තේරුම ජනාධිපතිවරයා මේ මණ්ඩලයේ නිරීක්‍ෂණ පයිසයකටවත් ගණන් නොගැනිය යුතු වීමයි.  තමන්ගේ නිරීක්‍ෂණ නොසැලකුවායැයි කියා, ගත හැකි කිසිම පියවරක් පාර්ලිමේන්තු සභාවටද නැත.  මේ සියල්ලේ තේරුම වන්නේ, පාර්ලිමේන්තු සභාවක් කියා රූකඩයක් තබාගෙන ජනාධිපතිවරයා තමන්ට වුවමනා පරිදි පත්කිරීම් කරන බවයි. 

20න් ජනාධිපතිවරයාට අවසාන අවස්ථාවේදී කුමන්ත්‍රණකාරීව ලබාදී ඇති මේ බලය යම් ආකාරයකින් සමාන වන්නේ, 1978 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමේදී, ඒ වන තෙක් ඉහළ අධිකරණවල විනිසුරු ධුර දැරූ සියලු විනිසුරුවරුන්ගේ ධුර කාලය අවසන් වන බවට එම ව්‍යවස්ථාවේ තිබුණු ප්‍රතිපාදනයටයි.  ”20න් ජනාධිපතිවරයාට අවසාන අවස්ථාවේදී කුමන්ත්‍රණකාරීව ලබාදී ඇති මේ බලය යම් ආකාරයකින් සමාන වන්නේ, 1978 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමේදී, ඒ වන තෙක් ඉහළ අධිකරණවල විනිසුරු ධුර දැරූ සියලු විනිසුරුවරුන්ගේ ධුර කාලය අවසන් වන බවට එම ව්‍යවස්ථාවේ තිබුණු ප්‍රතිපාදනයටයි.”  

JR

ජයවර්ධන ජනාධිපතිවරයා ඒ අවස්ථාව පාවිච්චි කරමින් අගවිනිසුරු ධුරයට තම යහළුවකු පත්කළේය.  ඒ වන තෙක් ඉහළ උසාවිවල සිටි තමන්ට එරෙහිව යතැයි සිතන සියලුම විනිසුරුවරුන් ගෙදර යැව්වේය.  තමන්ගේ හිතුවතුන් පත්කළේය. 20හි ඒ තරම් භයානක ප්‍රතිපාදනයක් නැති බව හැබෑය.  එහෙත්, ඉහළ අධිකරණවලට, තමන්ගේ තනි කැමැත්තට විනිසුරුවරුන් 14 දෙනකු පත්කිරීමට ජනාධිපතිවරයාට ලැබෙන අවස්ථාව නොසලකා හළ නොහැක්කකි. 

 එහි තේරුම, මේ යටතේ පත්වන විනිසුරුවරු පක්‍ෂපාතී, ස්වාධීන නොවන අය වෙතිය යන්න නොවන බවද අවධාරණය කළ යුතුය.  අපගේ විවේචනයට ලක් වන්නේ, 20ට කාරක සභා අවස්ථාවේදී එකතු කළ කුමන්ත්‍රණකාරී සංශෝධනයයි. ඉන් සමස්තයක් හැටියට ජනාධිපතිවරයාට පැවරෙන බලයයි. ‘අපගේ විවේචනයට ලක් වන්නේ, 20ට කාරක සභා අවස්ථාවේදී එකතු කළ කුමන්ත්‍රණකාරී සංශෝධනයයි. ඉන් සමස්තයක් හැටියට ජනාධිපතිවරයාට පැවරෙන බලයයි.” ඉතින්, ඉහළ අධිකරණවල විනිසුරුවරුන් සංඛ්‍යාව මදි බවට ඉල්ලීමක් බොහෝ කාලයකට පෙර තිබුණානේයැයි කිසිවකුට කිව හැකිය. එය ඇත්තය.  ඒ ගැන විවිධ කමිටු විසින් කරන ලද යෝජනාද වරින්වර ඉදිරිපත් විය.  ඉහළ අධිකරණවල ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය අවසන් කිරීමට ඒ යෝජනාව දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට පැමිණ තිබුණි.  එහෙත් ජනාධිපතිවරයා 20ට ගෙනා මේ සංශෝධනය ඒ කවර කමිටුවක නිර්දේශ අනුවදැයි කවුරුත් දන්නේත්, කවුරුත් කියන්නේත් නැත.  

අඩුගණනේ උපරිමාධිකරණ විනිසුරුවරුන් වැඩි කරන විට, ඔවුන්ට රාජකාරි ඉඩ පහසුකම්, කාමර පහසුකම් ලබාදීම ගැනවත් සැලකිල්ලක් මේ වන තෙක් දක්වා නැත.  උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ගේ විනිසුරුවරුන්ට තිබෙන පහසුකම්වල සීමාසහිත තත්වය එහි යන එන සියල්ලෝම දනිති.  අධිකරණ සේවා කොමිෂන් සභාව: පහළ අධිකරණවල පාලන බලයද 20න් යළිත් ජනාධිපතිවරයාටම පැවරේ.

මහාධිකරණ ඇතුළු පහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කිරීම (මහාධිකරණවල පමණක් ජනාධිපතිවරයා කරයි.), උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය හා ධුරයෙන් ඉවත්කිරිම (මහාධිකරණවල පමණක් ජනාධිපතිවරයා කරයි.) සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නමැති සාමාජිකයන් තුන් දෙනකුගෙන් සමන්විත සභාවටය.  එහි සභාපතිවරයා නිල බලයෙන්ම අගවිනිසුරුවරයා වන අතර, අනෙක් සාමාජිකයන් දෙදෙනා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩිම විනිසුරුවරුන් දෙදෙනා බවට නියම කරන ලද්දේ 19වැනි සංශෝධනය විසිනි.  එවිට, කොමිෂන් සභාවේ පත්කිරීම් හැකි තරම් ස්වාධීන වන්නේය.  කොමිෂන් සභාව විසින් කෙරෙන පහළ අධිකරණවල විනිසුරුවරුන්ට ආදළ කටයුතුද හැකි තරම් ස්වාධීන වන්නේය. 

එහෙත් 20න්, කොමිසමේ සාමාජිකයන් දෙදෙනා ‘ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන්’ විය යුතුය යන කොටස ඉවත් කර ඔවුන් පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරිණ. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් අතරින් ‘ජනාධිපති කැමති දෙදෙනෙක්’ පත්කරනු ලැබෙති.  මේ දෙදෙනාද තමාට වුවමනා වේලාවක කොමිසමේ සාමාජිකත්වයෙන් (හේතු දක්වා) ඉවත් කරන්නට ජනාධිපතිට හැකිය.  ඒ හරහා ජනාධිපතිට විශාල බලයක් අධිකරණ සේවා කොමිසම පිළිබඳව ලැබේ. අධිකරණයේ ස්වාධීනත්වය අගයන රටේ පුරවැසියන් හැටියට අපගේ ප්‍රාර්ථනාව වන්නේ, ජනාධිපතිවරයා අලුතෙන් පත්කරන විනිසුරු මණ්ඩලයම ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා 1978දී මුලින්ම පත්කළ අගවිනිසුරු නෙවිල් සමරකෝන් වැන්නන් බවට පත්වෙත්වාය යන්නය. 

මේ විදියට, 20හි මුල් කෙටුම්පතෙන් හා ඊට කුමන්ත්‍රණකාරීව එකතු කළ සංශෝධනයෙන් වන බලපෑම අද හෙට නැති වුණත් අනාගතයේදී අපට නිරීක්‍ෂණය කළ හැකි වනු ඇත. ඒ අතර, 20 සංශෝධනය යටතේ අලුත් විනිසුරු ධුර සඳහා නාම යෝජනා මේ වන විටත් පාර්ලිමේන්තු සභාවේ සැලකිල්ලට යොමුවී තිබේ.  ඒ නම් අතර අධිකරණ ක්‍ෂෙත්‍රයේ ඉහළ ගෞරවයට පාත්‍රවූ ස්වාධීන, අපක්‍ෂපාතී විනිසුරුවරුන් සිටින බව සටහන් කළ යුතුය.  අධිකරණයේ ස්වාධීනත්වය අගයන රටේ පුරවැසියන් හැටියට අපගේ ප්‍රාර්ථනාව වන්නේ, ජනාධිපතිවරයා අලුතෙන් පත්කරන විනිසුරු මණ්ඩලයම ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා 1978දී මුලින්ම පත්කළ අගවිනිසුරු නෙවිල් සමරකෝන් වැන්නන් බවට පත්වෙත්වාය යන්නය.  

නීතිඥ කේ ඩබ්ලිව් ජනරන්ජනකර්තෘ අනිද්දා පුවත්පතේ