Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඉහලින් විදුහල්පතිකම් කරන බවට විදුහල්පතිවරියන් දෙදෙනෙකුට ගුරු සංගම්වලින් චෝදනා

අධ්‍යාපන අමාත්‍යංශ නියෝග, අධ්‍යාපන අමාත්‍ය වරුන්ගේ නියෝග පවා නොසලකා කටයුතු කරන  විදුහල්පතිවරියන් කිහිපදෙනෙකු නිසා අධ්‍යාපන වෘත්තිකයන්ගේ ගෞරවය සහ පාසල්වල පරිපාලනය සම්බන්ධයෙන් බරපතල ගැටළු මතු වී ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.

ඊට ආසන්නතම උදාහරණය කොළඹ විසාකා විද්‍යාලයේ විදුහල්පතිවරිය ගේ හැසිරීම බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොළඹ විසාකා විද්‍යාලයේ විදුහල්පති  සඳමාලි අවිරුප්පොල මහත්මිය ගේ  ක්‍රියාකලාපය සම්බන්ධයෙන්  ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර තිබෙන්නේ  අධ්‍යාපන  අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝගයකට අනුව ස්ථාන මාරු ලබා කොළඹ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සිට කොළඹ විසාකා විද්‍යාලයට පැමිණි ගුරුවරයෙකුට සිදුකළ හිරිහැරයක් සහ රාජකාරියට බාධා කිරීමක් පිළිබඳවයි.

එච් ජී වසන්ත නම් අදාළ ගුරුවරයාට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්ථාන මාරුවක් ලබා දෙන්නේ 2020.09.02 දාතමින් ලිපියක් නිකුත් කරමින්.

අදාල ලිපියට අනුව නව පාසලේ වැඩ බාර ගැනීම සඳහා 2021.01.04 වනදා වසන්ත මහතා විශාඛා විද්‍යාලයට ගොස් ඇති අතර එහිදී අදාල විදුහලපතිවරිය විසින් ශාන්ත පාවුළු විද්‍යාලයේ විදුහල්පතිවරිය ට බැන වැදී ඇති අතර ඇගේ ගෝලයන් තම පාසලට ඇතුලත් කර නොගන්නා බවට පවසමින් වසන්ත මහතාට ද බැණවැදී තිබෙනවා.

ඉන් අනතුරුව පාසලේ ආරක්ෂක නිලධාරීන් හතරදෙනකු කැඳවා ඇති විසාකා විද්‍යාලය විදුහල්පති  සදමාලි  අවිරුප්පොල මහත්මිය වසන්ත මහතාට බැණ වැදී  ඔහු ඇගේ නිල කාමරයෙන් එළියට ඇද දමන ලෙස ආරක්ෂකයන්ට නියෝග කර තිබෙනවා.

ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ගුරු වෘත්තිකයෙකු සම්බන්ධයෙන් සිදුකළ මෙම අපහාසාත්මක ක්‍රියාව  දැඩි ලෙස හෙළා දකින බවයි. 

එමෙන්ම විදුහල්පතිවරියන් අතර පවතින පුද්ගලික කෝන්තර ගුරුවරුන්ගේ පිටින් යැවීම බරපතළ කරුණක් බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා සදහන් කළේ.

රාජකාරිය භාර ගැනීමට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් වසන්ත මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ජනවාරි මාසයේ 05 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර තමන්ට අපහාස කිරීම සහ රාජකාරියට භාර නොදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමට ද කටයුතු කර තිබෙනවා.

ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ අදාළ විදුහල්පතිවරිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට කොතෙක් පැමිණිලි ඉදිරිපත් කළ ද අධ්‍යාපන අමාත්‍යාංශය නිහඬ පිළිවෙතක්ස අනුගමනය කරන බවයි.

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් සිදුකර ඇති දූෂණ සහ අක්‍රමිකතාවන් පිළිබඳ  සිදුකරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල වලට අනුව චෝදනා 15ක් සම්බන්ධයෙන් යට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ,

එම චෝදනා ඇතුලත් චෝදනා පත්‍රයද ඇයට ලබා දී තිබියදී අදාළ විදුහල්පතිවරිය ම 2021 වසරේ දී ද පළමු වසරට ළමුන් ඇතුලත් කිරීමේ කටයුත්තට සම්බන්ධ කර තිබෙන බවටද ලංකා ගුරු සංගමය චෝදනා කරනවා

එමෙන්ම චෝදනා රැසක් එල්ලවී තිබෙන අදාල විදුහල්පතිවරිය  ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙසද පත් කර තිබීම විමතියට කරුණක් බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ.

අප වෙත අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ මෙම විදුහල්පතිවරිය වසර 12 එකම පාසලේ කටයුතු කරමින් අත්තනෝමතික බලයක් ගොඩනගාගෙන කටයුතු කරමින් සිටින බවයි.

රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් ස්ථාන මාරු වීමේ ක්‍රියා පටිපාටිය හෝ එකම පාසල කළ වසර දහයකට වැඩි කාලයක් සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීමට ගත් තීරණය හෝ අදාළ විදුහල්පතිවරිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම ද විමතියට කරුණක් බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ.

දේවි බාලිකා විදුහල්පතිවරිය ටත්  චෝදනාවක් 

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පති ප්‍රදීපා සමරසිංහ මහත්මියටද ලංකා ගුරු සංගමය විසින් චෝදනාවක් එල්ල කරනවා,

ඒ ඇය විසින් අත්තනෝමතික ලෙස ගුරුවරුන් පාසලට කැඳවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ  අදාල විදුහල්පතිවරිය විසින්  විවිධ කරුණු හුවා දක්වමින් අත්තනෝමතික ලෙස පාසල් නිවාඩු කාලයේ දී පවා ගුරුවරුන් පාසලට කැඳවීමට පියවර ගන්නා බවයි.

කොරෝනා හේතුවෙන් පාසැල් වසා දමා ඇති කාල සීමාවේදී ද ඇය විසින් පාසලට ගුරුවරුන් කැඳවීමට පියවර ගෙන ඇති බවයි  ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ,

ජනවාරි පලවෙනිදා අද ඇය විසින් පාසලේ සියලුම ගුරුවරුන් පාසලට කැඳවීමට පියවර ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාතංශයේ පාසල් කටයුතු අධ්‍යක්ෂ එල් එම් ඩී  ධර්මසේන මහතාට පැමිණිලි කිරීමට කටයුතු කළ බවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔහු අපොහොසත් වී ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා චෝදනා කරනවා.

About The Author