Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආනයන සීමා පැනවීම ගැන දේශීය සෙරමික් නිෂ්පාදකයන්ගේ ප්‍රසාදය – රේගු බදුත් වැඩි කරන්නැයි ඉල්ලයි

රජය විසින් සෙරමික්, ටයිල් සහ නානකාමර උපකරණ නිෂ්පාදනට වලට ආනයන සීමා පැනවීම හේතුවෙන් දේශීය සෙරමික් නිෂ්පාදනය ඉහල ගොස් ඇති බව ලංකා සෙරමික් කවුන්සිලය පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය කර්මාන්තකරුවන් නගාසිටුවීමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීයව නිෂ්පාදනය කළ හැකි සියලු දේ රට තුල නිෂ්පාදනය කිරීම දිරිගැන්වීම සදහා ගෙන ඇති තීරණය තමන් අගය කරන බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට ටයිල් සහ නානකාමර උපකරණ නිෂ්පාදන අවශ්‍යතාවයෙන් 60% – 70% අතර ප්‍රමාණයක් සපුරාලන්නේ දේශීය කර්මාන්ත කරුවන් බවයි.

මෙම තත්වය තුළ ආනයන සීමා පැනවීම මගින් දේශීයව නිෂ්පාදන සදහා ඇති වෙළදපොළ පුළුල් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර ශ්‍රී ලංකා රේගුවේ තක්සේරු අංශය විසින් ආනයනය කරන ටයිල් සහ නානකාමර උපකරණ නිෂ්පාදන සඳහා පනවා ඇති තක්සේරු වටිනා කම පහල අගයක පැවතීම හේතුවෙන් තත්වයෙන් බාල, මිලෙන් අඩු නිෂ්පාදන දේශීය වෙළඳපොළට පැමිණීම සිදුවන බවද පෙන්වා දෙන ලංකා සෙරමික් කවුන්සිලය ඉල්ලා සිටින්නේ තක්සේරු වටිනා කම ඉහල නැංවීමට කටයුතු කරන ලෙසයි.

නානකාමර උපකරණ කට්ටලයක් ආනයනය කිරීමේ  දී ශ්‍රී ලංකා රේගුව අවම තක්සේරු වටිනා කම ලෙස දක්වා තිබෙන්නේ ඩොලර් 35 ක මුදලක් එනම් එය රුපියල් 6594 මුදලක්.

ඒ අනුව මිලෙන් අඩු ආනයනික නිෂ්පාදන දේශීය වෙළදපොලට පැමිණීම සිදුවන බවයි ලංකා සෙරමික් කවුන්සිලය පෙන්වා දෙන්නේ.

ඊට විසදුම ලෙස ඩොලර් 35 ක අගය ඩොලර් 100 දක්වා එනම් රුපියල් 18 841 ක් දක්වා ඉහල නැංවිය යුතු බවට ඔවුන් යෝජනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ හරහා භාණ්ඩ මිල ඉහළ ගියද තත්වයෙන් සහ ගුණාත්මක බවින් ඉහළ දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව හිමිවන බවයි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා Royal Ceramic, Rocell Bathware , Lanka Tiles, Otto Bathware, Macktile ,RSL Ceramic , Hega Ceramic , Embilipitiya Ceramic ඇතුළු දේශීය ටයිල් හා නානකාමර උපකරණ නිෂ්පාදනකරුවන් රැසක් එක්ව සිටියා.