Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රෝග පැතිරවූ අමුතු නීතිය.

මෙයට දශක කිහිපයකට ප්‍රථම මධ්‍යකාලීන යුගයේ දී පමණ යුරෝපය පුරා මහාමාරිය වැනි වසංගත මෙතරම් ශීඝ්‍රයෙන් හා ඉතා පහසුවෙන් පැතිර ගියේ කෙසේදැයි ඔබ සිතනවාද? වසංගත ගෙන ගියේ මීයන් ය. වත්මන් යුගයේ අප නිවෙස්වලත් ඕනෑ තරම් මීයෝ සිටිති. එහෙත් වසංගත රෝගයක් පතුරුවා හැරීමට තරම් එම ජනගහණය වැඩි වන්නේ නැත. ඒ, උන් ආහාරයට ගන්නා බළලුන් වැනි විලෝපිකයින් හේතුවෙනි. එය ස්වාභාවික සමතුලිතතාව යි.

මධ්‍යකාලීන යුගයේ දී යුරෝපීය ජනතාව අතර තිබූ එක් නීතියකට අනුව මිනිසුන් පමණක් නොව සතුන් ද නොයෙක් ආකාරයේ සොරකම්, දේපළ හානි කිරීම්, අනවසර කඩා වැදීම් ආදිය සඳහා වරදකරුවන් බවට පත් කෙරිණි. එවැනි වැරදිවලට දඬුවම් ලෙස අදාළ ප්‍රදේශයෙන් පිටුවහල් කිරීම, මරා දැමීම ආදී උපක්‍රම ද ක්‍රියාත්මක කෙරිණි. බල්ලන් බළලුන් පමණක් නොව ගොළුබෙල්ලන් ආදී තමා කළ වරද කුමක්දැයි කිසිදු ආකාරයක වැටහීමක් නොමැති කුඩා සත්තු ද මෙවැනි දඬුවම්වලට ගොදුරු වූහ. 

වැඩි වශයෙන් මරා දැමුණු සත්ත්ව විශේෂය වූයේ බළලුන් ය. ඒ, ආහාර සොරකම සඳහා ය. එබැවින් මඳ කලක් ගත වන විට යුරෝපය පුරා බළල් ජනගහණය ශීඝ්‍රයෙන් අඩු වූ බව පෙනේ. මහාමාරියත් රැගෙන මීයන් නැව් පිටින් යුරෝපයට ගොඩ බසින විට උන් අල්ලා මරා දැමීමට ස්වාභාවික විලෝපිකයින් ජීවතුන් අතර සිටියේ නැත. එබැවින් මීයන් හිතුමතේ සැරිසැරූ අතර, රෝග බීජ ද පතුරුවා හැරියහ. අවසානයේ මිනිසුන්ගේ අදූරදර්ශි ක්‍රියාකලාපය හේතුවෙන් සැබෑ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට හෝ දඬුවම් කිරීම සඳහා විනිශ්චය මණ්ඩලයක් සොයා ගැනීම පවා අසීරු විය.

2. අවයව ඉවත් කරන කෝරෝ.

“කෝරෝ” නමින් හැඳින්වෙන දුර්ලභ රෝගයේ එක් ලක්ෂණයක් වන්නේ තම ලිංගේන්ද්‍රය සතු සංවේදීතාව නැති වී යාම යි. අදට සියවස් ගණනකට පෙර මායාකරුවන් සිටි යුගයේ දී මෙම රෝගය පිළිබඳ ජනතාව තබා වෛද්‍යවරුන් තුළවත් එතරම් දැනුමක් නොතිබිණි. එසේ වූයේ අදාළ රෝගය හැම විට ම දක්නට නොලැබීමත්, රෝග මූලය හෝ ප්‍රතිකාර පිළිබඳ අවශ්‍ය තරමින් පර්යෙෂණ සිදු කිරීම සඳහා පහසුකම් නොමැති වීමත් නිසා ය. 

කෙසේ වුවත් මේ සඳහා වැරදිකරුවන් වූයේ මායාකාරයින් ය. “මායාකරුවන්ගේ මිටි පහර” නම් වූ අදහස ගෙන දෙන කුප්‍රකට “මලේවුස් මැලේෆිකාරම්” නම් ග්‍රන්ථයෙහි සඳහන් වන තොරතුරු අනුව අදාළ අවයවය නොදැනී යාම පිළිබඳ ඔවුන් වැරදිකරුවන් වීම පුදුමයක් නොවේ. මන්දයත් ඊට අනුව එකල සිටි මායාකරුවන් පුරුෂයින්ගේ ලිංගේන්ද්‍ර කපා ගෙනැවිත් ඒවා සුරතල් සතුන් මෙන් ඇති කළ නිසා ය. එම මායාකරුවන් අදාළ අවයව කූඩුවල දමා, ඒවාට ශාකමය මෙන් ම මාංශමය ආහාර වර්ග ද කෑම පිණිස දී තිබේ. ශරීරයට සවි වී තිබියේ දී අදාළ අවයවයේ හැසිරීම හේතුකොට ගෙන ඔවුන් ඒවාට පණ ඇති බවක් ආරෝපණය කරගෙන තිබූ බව පෙනී යයි. කපන ලද ලිංගේන්ද්‍රය නරක් නොවී කල් තබා ගැනීම පිණිස ඔවුන් කිසියම් රසායන ද්‍රව්‍යයක් හෝ මායාවක් භාවිත කරන්නට ඇත.

මෙම ක්‍රියාවලිය දැන සිටි සාමාන්‍ය ජනතාව, තමාට කෝරෝ රෝගය වැළඳුණු විට සිතා තිබෙන්නේ කිසියම් මායාකරුවෙකු විසින් තමාගේ අවයවය ද රැගෙන ගොස් ඇති බවයි. වෛද්‍යවරයෙකු රෝගියා පරීක්ෂා කර බලා, එය එතැන ඇති බවත්, ගැටලුවක් නොමැති බවත් පැවසුව ද, එහි කිසිදු දැනීමක් නොමැති බැවින් රෝගියා හැම විට ම තීරණය කරන්නේ මේ වන විට තම සිරුරේ දක්නට ලැබෙන අවයවය ඇස් බැන්දුමක් පමණක් ම වන බව යි. 

3. එළවලුවේ මාරයා.

බෙල්ජියමේ වැඩෙන ගෝවා කුලයට අයත් එළවලුවක් වන “බෘසෙල්ස් ස්ප්‍රවුට්” මුළුතැන්ගෙය තුළ පිස ගැනීමට පෙර ගෘහණියන් විසින් ඊට උඩින් කතිර කැපුමක් යෙදීම සිරිත යි. මෙය ආදි කාලයේ පටන් පැවත එන උපක්‍රමයක් බව දන්නා නමුත්, ඊට හේතුව සොයා ගැනීමට බොහෝ දෙනෙකුට අසීරු ය.

එම අවධියේ ජීවත් වූ මිනිසුන් විශ්වාස කර තිබුණේ මෙම එළවලු වර්ගය තුළ කිසියම් යක්ෂයෙකු සැඟ ව සිටින බව යි. කැපුම යෙදුවේ එළවලුව තැම්බෙන අතර ඌට පිට වී යාමට ඉඩ සැලසීමට යි. එසේ නොවුවහොත් ආහාරය විෂ වී ආහාරයට ගත් පුද්ගලයා මිය යන බව ද කියවිණි.

අද වන විට මෙම සංකල්පය වැරදි සහගත බව ඔප්පු වී තිබුණ ද, ඔවුන් විසින් යක්ෂයෙකු ලෙස හැඳින්වූයේ එළවලුව තුළ අඩංගු වී ඇති බැක්ටීරියා වර්ග බව විද්‍යාත්මක ව තහවුරු කර ගත හැකි ය. එම යුගයේ ජනතාවට මේ පිළිබඳ එතරම් දැනුමක් නොතිබුණත්, ඔවුන් තම ආහාර පිස ගැනීමේ දී රෝගීකාරක විෂබීජ ඉවත් කරලීමේ කිසියම් ක්‍රමයක් උපකාරී කොට ගෙන ඇති බව නිගමනය කළ හැකි ය. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.