Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

MAS වෙතින් නිවේදනයක් – සියලුම බොඩිලයින් කර්මාන්තශාලා වල PCR පරීක්ෂණ ඉහළ ට

අදාළ නිවේදනය

සේවා නියුක්තිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පියවර

බොඩිලයින් සමාගම සිය සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන් ජීවත් වන සමාජයේ යහපැවැත්ම තහවුරු කිරීම අතිශයින් වැදගත්කොට සලකයි. ඒ වෙනුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂි​ත ක්‍රියාමාර්ග ගෙන තිබියදී පවා, කණගාටුදාය​ක ලෙස, අපගේ කර්මාන්තශාලා තුන අතරින් දෙකකින්, එනම් හොරණ (68 දෙනෙකු) සහ අගලවත්ත (1 අයෙකු) යන කර්මාන්තශාලාවලින් පසුගිය දිනවල COVID-19 ආසාදිතයන් වාර්තා විය.

මෙම සෑම අවස්ථාවකදීම අපි වහාම ක්‍රියාත්මක වී, අදාළ කර්මාන්තශාලා වසා දැමීමටත්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමටත්, රජයේ සෞඛ්‍ය බලධාරීන් සමග එක්වී කාර්යක්ෂම ලෙස PCR පරීක්ෂණ සිදුකිරීමටත් පියවර ගත්තෙමු.

එම සිදුවීම් කාලානුරූපව පහතින් දක්වා ඇත.

  • බොඩිලයින් හොරණ –
    • අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණ මාලාවකදී, 2020 ඔක්තෝබර් 30 වන සිකුරාදා දින ආසාදිතයෙකු වාර්තා විය. ඒ අනුව කළමනාකාරීත්වය විසින් 2020 ඔක්තෝබර් 31 සෙනසුරාදා දින සිට අදාළ කර්මාන්තශාලාව වසා දැමීමට කටයුතු කරන ලදි.
    • 2020 ඔක්තෝබර් 31 සෙනසුරාදා දින සෞඛ්‍ය බලධාරීන් විසින් අදාළ ආසාදිතයාගේ ආශ්‍රිතයන් සඳහා PCR පරීක්ෂණ 145 ක් සිදුකරන ලද අතර, එම පරීක්ෂණ වල ප්‍රතිඵල 2020 නොවැම්බර් 01 ඉරිදා දිනයේදී ලැබිණි. එම ප්‍රතිඵල වලට අනුව තවත් 34 දෙනෙකුට රෝගය වැළඳී ඇති බව තහවුරු විය.
    • ඊළඟ මට්ටමේ ආශ්‍රිතයන් සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් තවත් PCR පරීක්ෂණ 250ක් සිදුකරන ලද අතර, නොවැම්බර් 04 බදාදා දින ලැබුණු එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව තවත් 23 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගන්නා ලදි.
    • ස්වාධීනව කරන ​ලද පරීක්ෂණ තුළින් තවත් සාමාජිකයින් 4 දෙනෙකු​ ආසාදිතයන් ලෙස වාර්තා වි​ය.
    • මීට අමතරව නොවැම්බර් 03 අඟහරුවාදා දින සෞඛ්‍ය බලධාරීන් විසින් තවත් PCR පරීක්ෂණ 109 ක් සිදුකරන ලද අතර, ඉන් 6 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගන්නා ලදි. ඊට අමතරව, අනුමත පෞද්ගලික රෝහලක් මගින් PCR පරීක්ෂණ 643 ක්ද සිදුකරන ලදි. මෙම පරීක්ෂණ 643 හි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී.
    • නොවැම්බර් 4 වන බදාදා සෞඛ්‍ය බලධාරීන් විසින් අතිරේක PCR පරීක්ෂණ 103 ක් සහ අනුමත පෞද්ගලික රෝහලක් හරහා 534 පරීක්ෂණ සිදු කරන ලදී. මෙම පරීක්ෂණවල ප්‍රතිඵල ද   බලාපොරොත්තුවෙන් සිටී.
  • බොඩිලයින් අගලවත්ත –
    • කර්මාන්තශාලාව තුළ අහඹු PCR පරීක්ෂණ 200 ක් සිදුකරන ලද අතර එම පරීක්ෂණ වල ප්‍රතිඵල 2020 නොවැම්බර් 04 බදාදා දින ලැබිණි. එම ප්‍රතිඵලවලට අනුව ආසාදිතයන් 3 දෙනෙකු වාර්තා විය (බොඩිලයින් සේවකයෙකු සහ බාහිර සේවා සපයන්නෙකුගේ සේවකයන් දෙදෙනෙකු).
    • ආසාදිතයන් තහවුරු කරගැනීමෙන් පසුව, සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට නොවැම්බර් 04 බදාදා දින කර්මාන්තශාලාව වසා දැමීමට කළමනාකාරීත්වය විසින් පියවර ගන්නා ලදි.

මෙම කර්මාන්තශාලා දෙක පූර්ණ වශයෙන් විෂබීජහරණය කිරීමෙන් අනතුරුව සහ සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ලැබුණු පසු ඒවායෙහි මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කෙරෙනු ඇත.

මිනුවන්ගොඩ පොකුර හඳුනා ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද අහඹු පරීක්ෂණද ඇතුළුව අප මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වී PCR පරීක්ෂණ 2820 ක් සිදුකර තිබේ. මෙම පරීක්ෂණ වලදී ආසාදිතයන් 69 දෙනෙකු වාර්තා වූ අතර, 969 දෙනෙකු ආසාදිතයන් නොවන බව තහවුරු විය. පරීක්ෂණ 1760 ක ප්‍රතිඵල තවමත් ලැබී නැත. පරීක්ෂණ 12 කින් නිශ්චිත නොවන ප්‍රතිඵල ලැබී තිබේ.

වෛරසය වැළඳී ඇති සාමාජික සාමාජිකාවන්ට, ඔවුන් රැකියාවට නොපැමිණෙන කාලය සඳහාද, කිසිදු අඩු කිරීමකින් තොරව වැටුප් ගෙවනු ඇත. එමෙන්ම අදාළ සාමාජික සාමාජිකාවන්ගේ පවුල් වලට අත්වැලක් වීම සඳහා වියළි ආහාර ද්‍රව්‍ය හා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමටද අපි කටයුතු යොදා ඇත්තෙමු.

රෝගය වැළඳී ඇති අපගේ සාමාජික සාමාජිකාවන්ට හැකි උපරිම මට්ටමින් ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට අපි අනුමැතිය ලබාගෙන ඇත. මේ සඳහා බොඩිලයින් සමාගම පූර්ණ වශයෙන් ප්‍රතිපාදන සපයනු ඇති අතර අදාළ මධ්‍යස්ථාන සෞඛ්‍ය බලධාරීන් මගින් කළමනාකරණය කර මෙහෙයවනු ලැබේ. මෙම මධ්‍යස්ථානවල අවශ්‍ය වෛද්‍ය සහ නවාතැන් පහසුකම් ඇති අතර මූලික වශයෙන් සැලකිය යුතු වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය නොවන සාමාජික සාමාජිකාවන් පිළිබඳව මෙහිදී සැලකිලිමත් වනු ඇත.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේදී අදාළ සියලුම අංශ වලින් අවසර ලබාගත් බවත්, සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කර ඇති විධිවිධාන සියල්ල අනුගමනය කරන ලද බවත්, ඒවා රජය මගින් නියම කර ඇති රෙගුලාසි සියල්ලට අනුකූල බවත් යළිදු අවධාරණය කිරීමට කැමැත්තෙමු.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අප සෞඛ්‍ය බලධාරීන් සමග සමීපව කටයුතු කරමින් සිටින අතර, පවතින තත්ත්වය තුළ බලපෑමට ලක්වූ සේවක සේවිකාවන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඉදිරියේදී නවතම තොරතුරු ලැබුණු පසුව නැවතත් යාවත්කාලීන කිරීමේ නිවේදන නිකුත් කෙරෙනු ඇත.