Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

Mars Needs Moms චිත්‍රපට දැක්ම

"MARS NEEDS MOMS" Film Frame (L-R) Ki, Gribble, Milo ©ImageMovers Digital LLC. All Rights Reserved.

අඟහරු ලෝකයේ ජීවය තියෙනවා ද? පේන්නේ නම් තියෙනවා වගෙයි. එහේ මිනිස්සු හරි අමුතුයි. මූණ හරියට V අකුරක් වගේ. ඇති ලස්සනකුත් නැහැ. මූණ පුරා ම මවිල්. එයාලගෙන් දෙන්නෙක් කැමරාවකින් පෘථිවිය දිහා බලාගෙන ඉන්නවා. එයාලා හොයන්නේ අම්මලාව. දෙන්නෙක් ම ළමයි හදන්න දන්නේ නැහැ. එක්කෝ ඉල්ලන ඉල්ලන දේ දෙයි. නැත්නම් පාලනය කර ගන්න බැරි ව ලත වෙයි. ඒත් මෙන්න එක අම්මා කෙනෙක් නම් හොඳට දන්නවා වගේ ළමයි හදන්න. එයා තමන්ගේ පුතා ලවා ගෙදර වැඩට හුඟක් උදව් ගන්නවා. ඒ නිසා මේගොල්ලෝ තීරණය කළා තමන්ගේ වැඩපිළිවෙළට හරියට ම ගැලපෙන්නේ මේ අම්මා කියන එක.

කවුරු කොහොම හිතුවත් පුතා අම්මාගේ වැඩවලට කැමති නැහැ. එයාට අම්මාව පේන්නේ කරදරයක් වගේ. එක වතාවක් එයාට රෑ ටී.වී. බලන්න ඕනේ වෙලා, එලවළු ටික සේරම පූසාට කවලා පිඟාන හිස් කර ගන්නවා. ඒත් පූසා වමනේ දානකොට අම්මාට වැඩේ මාට්ටු. අම්මාට තරහා ගියා. පුතාව කාමරයට එළෙව්වා. ඒකට එයා, ඒ කියන්නේ “මයිලෝ” අකැමැති වෙලා අම්මාට කියනවා අම්මා නැත්නම් මේ ලෝකය හරි ම ලස්සනයි ලු. කොච්චර තරහා ගිහින් හිටියත් අම්මාට හරියට දුක හිතුණා. ඒ බව මයිලෝ දැක්කා. ඒ නිසා ඇඳට ගියත් එයාට නින්ද ගියේ නැහැ. මහ රෑ එයා තීරණය කරනවා අම්මාගෙන් සමාව ඉල්ලන්න. මයිලෝ අම්මාගේ කාමරයට එනකොට එයා මහ පුදුමාකාර එළියක් දකිනවා. ඒ සුදු පාට එළිය අම්මාගේ කාමරයට ඇවිත් අම්මා ව අරගෙන යනවා. මයිලෝට බය හිතෙනවා අම්මාට කරදරයක් වෙයි කියලා. ඒ නිසා එයා ඒ එළිය පස්සෙන් කැලයට දුවනවා. බලද්දී මේ ඇවිත් තියෙන්නේ පිටසක්වල යානයක්. එයා කොච්චර උත්සාහ කළත් අම්මා ව ගලවා ගන්න ලැබෙන්නේ නැහැ. හදිසියේ ම මයිලෝ යානයේ රෝදයක ඇමිණෙනවා. යානය එයාවත් අරන් අඟහරු ලෝකයට යනවා.

යානය අඟහරුවල ගොඩ බැස්සුවාම ලොකු ම ලොකු ගෙයක් පොළොවෙන් උඩට මතු වෙනවා. ඒකේ තමයි අඟහරු ජීවීන් ඉන්නේ. හැබැයි ගැහැනු අය විතරයි. අළු පාට, කළු පාට, සුදු පාට වගේ මහ මලානික පාට තමයි එයාලගේ ඇඳුම්වල වගේ ම ඇඟ පුරාමත් තියෙන්නේ. එයාලගේ නායිකාව නම් හරි ම නපුරු පාටයි. එයා එළියට ඇවිත් අම්මාව හොඳට පරීක්ෂා කරලා බලලා කියනවා වැඩේට සූදානම් කරන්න ලු. මොන වැඩේ ද? අපොයි… මෙන්න මයිලෝවත් අහු වුණා. එයාලා ළමයා ව හිර කුටියකට දාලා යන්න යනවා. මයිලෝ නැගිටින්න හදද්දී එයා නිකම් පාවෙනවා වගේ. බලනකොට මේ ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය හුඟක් අඩුයි. කොහොම හරි හිර ගෙයින් එළියට ආවා කියමුකෝ. මෙයාට ඇහෙනවා කවුදෝ කතා කරනවා. ඒ කටහඬ කියනවා ඉක්මනට දුවලා ගිහින් කුණු බටයෙන් එළියට පනින්න ලු. මයිලෝ දකිනවා මුරකාරයින් එනවා. ඒ නිසා එයා අර කටහඬ කිව්ව විදිහට වැඩ කරනවා. පෙරළිලා පෙරළිලා ගිහින් මයිලෝ ලොකු කුණු ගොඩකට වැටෙනවා. ඒකේ ඉන්නවා තවත් අඟහරු ජීවීන් පිරිසක් හැබැයි එයාලා නම් පාට පාට. මයිලෝ උත්සාහ කරනවා එයාලට පැහැදිලි කරලා දෙන්න තමා මෙහෙට ආවේ අම්මා හොයන්න බව. ඒත් ඒ පිරිසට තේරෙන්නේ නැහැ. ඉතින් මයිලෝ අම්මා ගැන විස්තර කරනවා.
“මට කවන, ඇඳුම් හෝදලා දෙන, ගේ පිරිසිඳු කරන, රෑට මාව තුරුළු කර ගන්න කෙනා තමයි අම්මා.”

මයිලෝ ඉතින් පොඩි ළමයෙක් නේ. එයා ඔය අම්මා ගැන දන්න ටික තමයි. කට්ටිය හිතන්නේ මෙයාට බදා ගන්න කෙනෙක් තමයි ඕන වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා එයාලා මයිලෝ ව‍ බදා ගන්නවා. එයාලට මිනිස්සුන්ගේ භාෂාව තේරෙන්නේ නැහැ නේ. හදිසියේ ම රොබෝ කුරුල්ලෙක් ඇවිත් මයිලෝ උඩට අරන් ගිහින් මොකක්දෝ කාමරයක් වගේ තැනකට අත්හරිනවා. මෙයා බොහොම අමාරුවෙන් ඒ කාමරයට ගියාම මෙන්න, තවත් මනුස්සයෙක්. ඇති යන්තම් එක මිනිහෙක්වත් ඉන්නවා. නැතුව අඟහරු ජීවීන් ඔක්කෝම මහ අමුතු ජාතියේ මුහුණු තියෙන අය නේ. මේ අලුත් යහළුවාගේ නම ග්‍රිබ්ල්. එයා මයිලෝ දැක්කාම හරි ම සතුටු වෙනවා. ග්‍රිබ්ල් හරි පාළුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. දැන් ඒ දෙන්නාට පුළුවන් නේ හොඳ යහළුවෝ වෙන්න. එකතු වෙලා හුඟක් දේවල් කරන්නත් පුළුවනි. මොකද පෙනෙන විදිහට නම් ග්‍රිබ්ල් කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි. එයා හරි ම දක්ෂයි. විශේෂයෙන් ම හොඳ තාක්ෂණික දැනුමක් තියෙනවා. ග්‍රිබ්ල් මයිලෝ එක්කගෙන ගිහින් තමන්ගේ මුළු ගෙදර ම පෙන්වනවා. හැබැයි මයිලෝ නම් හරි ම අමාරුවෙන් තමයි ඇවිදින්නේ. මොකද මේ ගුරුත්වාකර්ෂණය අඩුකම එයාට තවමත් දරා ගන්න බැහැ. ග්‍රිබ්ල් ඒකට දෙනවා නියම විසඳුමක්. එයා යකඩ බෙල්ට් එකක් මයිලෝගේ ඇඟ වටේ ඔතනවා. ඒ නිසා ගැටළුව ටිකක් විසදෙනවා.

හදිසියේ ම ඒ ගෙදර තිබුණු TV එකකින් මයිලෝ දකිනවා තමන්ගේ අම්මාගේ රූපය. එයාට ඕනේ මේ මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න. ඒත් ග්‍රිබ්ල් මයිලෝට ඒක බලන්න ඉඩ දෙන්නේ නැහැ. අඟහරු ජීවීන්ගේ භාෂාව වෙනස් නිසා එයාලා කියන ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ග්‍රිබ්ල් පොඩි හෙඩ්ෆෝන් එකකුත් හදලා තියෙන්නේ. ඒකෙන් මයිලෝට ඇහෙනවා අඟහරු ජීවීන් කියනවා මොකක්දෝ අවසාන කිරීමක් ගැන. මයිලෝ ග්‍රිබ්ල්ගෙන් කොච්චර ඇහුවත්, එයා ඒ ගැන කියන්නේ නැහැ. බේරෙන්න බැරි ම තැන ග්‍රිබ්ල් මයිලෝට උත්තර දෙනවා. මේ ලෝකයේ ජීවීන් ඉපදෙන්නේ පොළොවෙන්. එයාලට අම්මලා නැහැ. පවුලකුත් නැහැ. ඒ නිසා ඉපදෙන ළමයි ටික හදා ගන්න දන්නේ නැහැ. ඒ වෙනුවෙන් එයාලා ගන්න ක්‍රියා මාර්ගය තමයි තාක්ෂණය පාවිච්චි කරලා රොබෝ අම්මලා හදන එක. ඒත් රොබෝ අම්මලා ඊට හපන් නේ. එයාලා ළමයි හදනවා තියා අඩුම තරමේ ආදරය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ නේ. ඒ ප්‍රශ්නය විසඳන්න මෙයාලා කරන වැඩේ තමයි පෘථිවිය හොඳට පරීක්ෂා කරලා, සාර්ථක අම්මා කෙනෙක් හොයාගෙන මෙහාට උස්සගෙන ඇවිල්ලා, ඉර එළියත් එක්ක සම්බන්ධ වෙන උපකරණයක් හයි කරලා, ඒ මාර්ගයෙන් ඒ අම්මාගේ මතකය රොබෝවරුන් තුළට යවන එක. ඊට පස්සේ මිනිස් අම්මා විනාශ වෙනවා කියන එක ගැන අඟහරු ජීවීන්ට ගාණක් නැහැ. තව පැය 7කින් මයිලෝගේ අම්මාට සිද්ධ වෙන්න යන්නෙත් ඒ අවාසනාවන්ත විපත ම තමයි.

මේ ගැන ඇහුව මයිලෝ කෑ ගහනවා එයාට අම්මා බේර ගන්න ඕනේ කියලා. ඒත් ග්‍රිබ්ල් නම් කියන්නේ ඒක කවදාවත් කරන්න බැරි වැඩක් කියලා. හැබැයි ටිකක් වෙලා යනකොට ග්‍රිබ්ල්ට තේරෙනවා මයිලෝගේ හිතේ අම්මාට තියෙන ආදරය. ඒ නිසා එයත් කැමති වෙනවා වැඩේට උදව් කරන්න. පස්සේ ග්‍රිබ්ල් හදලා දුන්නු උපකරණයකුත් ඔළුවේ දාගෙන මයිලෝ යනවා අඟහරු ජීවීන්ගේ මධ්‍යස්ථානයට ඇතුළට. ග්‍රිබ්ල් තමයි පාර කියන්නේ. මෙයා කාටවත් නොදැනෙන විදිහට ඒ කට්ටියත් එක්ක ම මිශ්‍ර වෙලා තමන්ට අවශ්‍ය ස්ථානයට යනවා. ඒත් හදිසියේ ම හඳුනාගැනීමේ උපකරණයකින් මයිලෝ අහු වෙනවා. මයිලෝ හුඟාක් උත්සාහ කරනවා ඒ හමුදාවෙන් බේරිලා පැනලා යන්න. අන්තිමේ දී එයා කාමරයකට කොටු වෙනවා. ඔන්න හමුදාව ළඟ ළඟ ම එනවා. දැන් කොහේ කියලා යන්නද? හ්ම්…. යන්න තියෙන්නේ ජනේලෙන් එළියට විතරයි. හමුදාවට අහු වෙනවාට වඩා හොඳයි එහෙම අවදානමක් අරගෙනවත් බේරෙන්න උත්සාහ කරන එක. ඒ නිසා මයිලෝ තමන්ගේ පුංචි පතුල්වලින් ජනෙල් කණ්ඩිය දිගේ හෙමින් හෙමින් ඇවිදගෙන ගිහිල්ලා , පැත්තට හැරෙනවා. හරියට ම ඒ වෙලාවේ හමුදාවෙන් ඇවිත් ජනේලය අයින සෝදිසි කරලා බලනවා. අනේ අපේ මයිලෝ අහු වෙයිද? නැහැ, එහෙම වුණේ නැහැ. වාසනාව. සැනසුම් සුසුමක් හෙළුවා විතරයි, මෙන්න කවුදෝ ඇවිත් මොනවාදෝ වතුර වගයක් විසි කරලා යනවා. ටික වේලාවක් යනකොට ඒ විසිකරපු වතුර දිගේ හරි ලස්සන පාට පාට රටා මතු වුණා. අඳුරු, අළු පාට අඟහරු ජීවීන් අතර පාට බෙදා හැරලා වර්ණවත් කරන්න මේ උත්සාහ කරන්නේ කවුද? එයත් අඟහරු ජීවියෙක් ම තමයි. හැබැයි ටිකක් වෙනස් විදිහට ලෝකය දිහා බලන කෙනෙක්. එයා දකිනවා මයිලෝ ඉන්නවා. මෙයා දැක්කා විතරයි බය වුණු මයිලෝ කකුල ලිස්සලා වැටෙනවා. ඒත් එයා මයිලෝ බේර ගන්නවා. ඊට පස්සේ විස්තර අහනවා. මයිලෝට වෙලාවක් නැහැ ඕවට උත්තර දිදී ඉන්න. එයා දුවන ගමන් තමයි කතා කරන්නේ. මයිලෝ එයාට කියනවා තමන් ආව කාරණය. ඒත් ඒ කෙල්ලට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ.
“මම ආවේ අම්මා හොයන්න.”
“ආ… ඔයාගේ හදා ගන්න රොබෝ ද?”
“නෑ නෑ… මගේ අම්මා. එයා කරුණාවන්තයි, මාව බදා ගන්නවා, මාව බලා ගන්නවා… මට.. මට.. ආදරෙයි. ඔව්, අම්මා මට ආදරෙයි…”

අන්න ඒ වෙලාවේ තමයි මයිලෝ තේරුම් ගන්නේ ඇයි එයා අම්මා වෙනුවෙන් මේ තරම් මහන්සි වෙන්නේ කියලා. මොකද අම්මා මයිලෝට ආදරය කරන නිසා. එයා එක පාරට අර කුණු වළට පනිනවා. ඒත් මයිලෝ ගිහින් බලනකොට ග්‍රිබ්ල් නැහැ. එයාගේ විද්‍යාගාරයයි, ගෙදරයි දෙකම ගිනි ගන්නවා. හමුදාවෙන් ග්‍රිබ්ල් ව අල්ලගෙන ගිහින්. ඒත් මයිලෝ දකිනවා රොබෝ කුරුල්ලා ඉන්නවා. එයා මයිලෝට කියනවා වෙච්ච දේ. අම්මා බේර ගන්න එක වැදගත් වුණත් මයිලෝ කොහොමද තමන්ගේ යහළුවා අත්හැරලා දාන්නේ? ඒ නිසා එයා ආයෙමත් අඟහරු මධ්‍යස්ථානය ඇතුළට යනවා. ටිකක් බලනකොට මයිලෝට පෙනෙනවා හමුදාවෙන් ග්‍රිබ්ල් ව අල්ලගෙන වෙඩි තියලා මරන්න හදන බව. මයිලෝ රොබෝ කුරුල්ලාගේ උදව්වෙන් ග්‍රිබ්ල් ළඟට ගිහින්, එයාගේ මාංචු ලෙහන්න උත්සාහ කරනවා. ඒත් වැඩේ අමාරුයි. හරියට ම ඔය වෙලාවේ එයාලට අර පාට විසිරුවපු අඟහරු කෙල්ලගේ උපකාර ලැබෙනවා. එයාගේ නම “කී”. ඒ කෙල්ල තුවක්කුවක් අරගෙන මයිලෝට වීසි කරනවා. ඒකෙන් ඒ දෙන්නට බේරිලා පැනලා යන්න පුළුවන් වෙනවා. කුණු වළට පැන ගත්තා වුණත් මේ දෙන්නට බේරෙන්න අමාරුයි. හමුදාවෙන් එයාලා ලුහු බදිනවා. දුවන අතරේ එයාලා දකිනවා හමුදාව පිරිමි ජීවීන් ටික අල්ලගෙන හිරේට දාන්න අරගෙන යනවා. මොනවා කරන්න ද? මයිලෝ ග්‍රිබ්ල් එක්ක කන්දකින් පහළට පනිනවා.

හරි අපූරුයි. කාටවත් තුවාල නැහැ. ඇස් ඇරලා බලන්නකෝ එයාලා ඉන්නේ කොහෙද කියලා. හරි ම ලස්සනයි. පාට පාට පිරිලා. ගඟකුත් තියෙනවා. ඔන්න ඉතින් ඕක දැකලා ග්‍රිබ්ල්ට ආයෙමත් තමන්ගේ අරමුණ අමතක වෙලා. එයා උත්සාහ කරනවා හැමදාම මෙතනට ම වෙලා ජීවත් වෙන්න මඟක් හදා ගන්න. ඒත් මයිලෝ එයාට මතක් කරලා දෙනවා අම්මා බේරා ගැනීමේ මෙහෙයුම. ග්‍රිබ්ල් කියන දේ අහන්නේ ම නැහැ. බැරි ම තැන මයිලෝ එයාට එයාගේ මුල් නමින් කතා කරනවා.
“ජෝර්ජ්… අනේ කරුණාකරලා මට අම්මා බේර ගන්න උදව් වෙන්න.”

ඔව්, ග්‍රිබ්ල්ගේ ඇත්ත නම ජෝර්ජ් රිබ්ල්. ඔය ඇමතුමත් එක්ක එයාට මතක් වෙනවා තමන් මෙතනට ආව විදිහ. ඒ මයිලෝ ආව විදිහට ම තමයි. ග්‍රිබ්ල් පුංචි කාලේ හරි කීකරු දරුවෙක්. ඒ නිසා තමයි අඟහරු ජීවීන් ග්‍රිබ්ල්ගේ අම්මා ව අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා එයා හිතාගෙන ඉන්නේ අම්මාගේ මරණයට වග කියන්න ඕනේ තමා කියලා. කොහොම නමුත් ග්‍රිබ්ල් පුංචි දරුවෙක් විදිහට තමන්ගේ අම්මා බේර ගන්නත් ලොකු උත්සාහයක් දරලා තියෙනවා. ඒත් තත්පර කිහිපයක පමාවකින් හැම දේ ම විනාශ වෙලා.
“කොහොම නමුත් මම ඔයාට මට වෙච්ච දේ ම වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි ගිහින් ඔයාගේ අම්මා බේර ගනිමු.”

හරියට ම ඔය වෙලාවේ කී සහ රොබෝ කුරුල්ලා එතනට එනවා. කී දන්නවා මෙතනින් ගැලවෙන විදිහ. දෙන්නා තුන්දෙනාම ඔහොම ඔහොම යනකොට හදිසියේ ම කී දකිනවා පින්තූරයක්. ඒකේ තියෙන්නේ අඟහරු ජීවී පවුලක්. අම්මායි, තාත්තායි, බබෙකුයි. පින්තූරයත් අළු පාට නෙවෙයි. හරි ලස්සන පාට පාට එකක්. ඒකෙන් කී තේරුම් ගන්නවා තමා විතරක් නෙවෙයි, මුළු තරුණ පරපුර ම ලොකු මුලාවකට පත් වෙලා ඉන්නේ කියලා. මොකද එයාලගේ ලොක්කා කියලා තිබුණේ මේ ලෝකයේ කවදාවත් අඟහරු ජීවීන් පවුලක් විදිහට ජීවත් වුණේ නැහැ කියලා. ගැහැනු වෙනම යි, පිරිමි වෙනමයි හිටියා කියලා තමයි කිව්වේ. ඒ නිසා නේ එයාලා ගැහැනු බබාලව විතරක් තියාගෙන, පිරිමි බබාලා කුණු වළට විසි කරන්නේ. මේකේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා දැනුණු නිසා කී ඒ පින්තූරයේ ෆොටෝ එකක් ගන්නවා. කී ට තේරෙනවා තමන් හුඟාක් ආදරය කරන පාට පාට ලෝකය හදන්න නම් පිරිමි අයත් එක්ක එකතු වෙන්න ඕනේ කියන එක.

මේ තුන්දෙනා එකතු වෙලා මයිලෝගේ අම්මා බේර ගන්න ප්ලෑන් එකක් හදනවා. එයාලා මධ්‍යස්ථානය ඇතුළට ගිහින් බොරුවට හමුදාවට අහු වෙනවා. ඊට පස්සේ ඒ කට්ටියට ගහලා, මේ තුන්දෙනා පිටසක්වල යානය තියෙන තැනට කොහොම හරි යනවා. අර හිර කරලා හිටිය පිරිමි ජීවීන් ටිකත් නිදහස් කරනවා. මයිලෝ යනවා අම්මා හිර කරලා ඉන්න උපකරණය ළඟට. එළියේ ඔක්සිජන් නැති නිසා එයා හෙල්මට් එකක් දාගෙන, අම්මාටත් එකක් අරගෙන යන්නේ. ඉර නගින්න තව ඉතිරි වෙලා තියෙන්නේ මිනිත්තු කිහිපයක් විතරයි. අඟහරු ජීවීන් ටිකයි, රොබෝ අම්මලා ටිකයි බලාගෙන ඉන්නෙත් ඒ වෙලාව ඇවිත් අර අම්මාගේ මතකය තමන්ගේ ශරීරවලට එනකල්. හිතට දහිරිය ගන්න මයිලෝ කොහොම හරි උපකරණය ඇතුළට යනවා. ඉර නගිනවා. ඒත් එයාට අම්මාව බැමිවලින් නිදහස් කර ගන්න බැහැ. දැන් හිරු රශ්මිය ටික ටික අර උපකරණය දිගේ අම්මාගේ ඔළුව දිහාවට එනවා. ඒ උපකරණය ක්‍රියාත්මක වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මයිලෝට පුළුවන් වෙනවා අම්මාව බිමට ඇදලා දාන්න. ඒත් අම්මාට තේරෙන්නේ නැහැ මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ටිකක් ඇස් ඇරලා බැලුවාම තමයි පුදුම හිතෙන්නේ . අම්මා යටිගිරියෙන් කෑ ගහනවා. ඒත් මයිලෝ එයාගේ හිත සනසලා, යානය ළඟට ගෙනියන්න උත්සාහ කරනවා.

ඒකත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. මොකද ගුරුත්වාකර්ෂණ ප්‍රශ්නය තියෙනවා නේ. ඒ මදිවට අර මධ්‍යස්ථානයේ ලොක්කා දකිනවා මේ දෙන්නා පැනලා යනවා. එයා තමන්ගේ හමුදාවට කියනවා වෙඩි තියෙන්න කියලා. හදිසියේම වැදෙන්න ගිය වෙඩිල්ලකින් අම්මා ව බේර ගන්න කරපු උත්සාහයක දී මයිලෝ කකුල පැටලිලා බිම වැටෙනවා. අයියෝ… එයාගේ හෙල්මට් එක බිදෙනවා. විනාසයි. දැන් කොහොමද හුස්ම ගන්නේ. මයිලෝ අමාරුවෙන් පණ අදිනවා. එතකොට ම අම්මා හෙල්මට් එකක් අරගෙන මයිලෝගේ ඔළුවට දානවා. බලනකොට අම්මා ඒ දාලා තියෙන්නේ තමන්ගේ හෙල්මට් එක. අම්මා ට ඕනේ තමා මැරුණත් පුතා ව ජීවත් කරවන්න. මයිලෝ ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් අර අම්මා අවසිහියෙන් ම මයිලෝගේ හෙල්මට් එකේ ලොක් එක කඩනවා. එතකොට ඒක ගලවන්න බැහැ නේ.

ග්‍රිබ්ල් දකිනවා ප්‍රශ්නය. එයාට දෙයක් මතක් වෙනවා. දුවලා දුවලා ගිහින් බොහොම වටිනා වස්තුවකුත් උස්සගෙන, ග්‍රිබ්ල් එනවා මයිලෝ ළඟට. මොකක්ද දන්නවා ද? හෙල්මට් එකක්. ඒක කොහෙන්ද? දැන් අවුරුදු ගාණකට කලින් මතකද ග්‍රිබ්ල් තමන්ගේ අම්මා ව බේර ගන්න ගියා? අන්න ඒ වෙලාවේ එයා අම්මා වෙනුවෙන් අරගෙන ගිය හෙල්මට් එක තමයි ඒ. ඒත් කෝ? මෙන්න අරගොල්ලෝ ආයෙමත් වෙඩි තියන්න පටන් අරගෙන. ඔන්න ඔය වෙලාවේ කී ඇවිත් තමන්ගේ තරුණ යහළු පිරිසට යමක් පැහැදිලි කරලා දෙන්නයි ලැහැස්තිය. එයා ලොක්කාට චෝදනා කරනවා මෙච්චරකල් ඇය තමන්ව රැවැට්ටුවා කියලා. ෆෝටෝ එකත් පෙන්නනවා. එතකොට හැමෝ ම තේරුම් ගන්නවා තමන්ටත් පෘථිවි ජීවීන්ට වගේ ම ලස්සන පවුල් ජීවිතයක් තිබුණු බව. ලොක්කා හොඳට ම බය වෙනවා. නිදහසට කරුණු කියන්න උත්සාහ කරනවා. එයා කියන්නේ එයා එහෙම කළේ පිරිමි අය කිසි වැඩක් නොකර, ගැහැනු අයව ම තලා පෙළන්න උත්සාහ කරපු නිසා කියලා. ඒත් ඇත්තට ම පිරිමි සහ ගැහැනු කියන දෙපිරිස ම නැති ව ලෝකයක් ලස්සන වෙන්නේ නැහැ. කොහොමින් කොහොම හරි අන්තිමේ දී මයිලෝ තමන්ගේ අම්මා එක්ක ආයෙමත් ගෙදර යනවා. ඒත් ග්‍රිබ්ල් නම් පෘථිවියේ නවතින්න එන්නේ නැහැ. මොකද දැන් එයාට පෙම්වතියක් ඉන්නවා නේ… ඔව්, “කී” තමයි.

සයිමන් වෙල්ස්ගේ අධ්‍යක්ෂණයෙන්, වෙන්ඩි වෙල්ස්ගේ තිර රචනයෙන් හැඩ වූ “MARS NEEDS MOMS” චිත්‍රපටය 3D තාකෂණයෙන් නිෂ්පාදනය වූවකි. සෙත් ග්‍රීන් (මයිලෝ), ඩෑන් ෆොග්ලර් (ග්‍රිබ්ල්), ජෝඈන් කසක් (මව), එළිසබෙත් හාර්නොයිස් (කී) ආදීන්ගේ හඬින් විචිත්‍රවත් වූ මෙම චිත්‍රපටය 2011 වසරේ දී ඔබ වෙත පිදුණු තිලිණයකි.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author