Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එමු යුද්ධය.

මහා එමු යුද්ධය ලෙස හැඳින්වෙන එමු නමැති සත්ත්ව විශේෂය අරබයා ඇති වූ යුද්ධය, යනු 1932 අග භාගයේ දී බටහිර ඕස්ට්‍රේලියාවේ සිදු කරන ලද කරදරකාරී වනජීවී කළමනාකරණ මිලිටරි මෙහෙයුමකි. ඕස්ට්‍රේලියාවට ආවේණික වූ විශාල මෙන් ම පියාසර කළ නොහැකි කුරුල්ලෙකු වන එමු සතුන්ගේ ගහණය මැඬපැවැත්වීම සඳහා කරන ලද අසාර්ථක උත්සාහයන් බොහෝමයකින් අනතුරු ව මෙම යුද්ධය සිදු කෙරිණි. මෙහි දී මුල් තැන ගෙන කටයුතු කළේ ලුවිස් තුවක්කුවලින් සන්නද්ධ සොල්දාදුවන් ය. අදාළ යුද්ධයේ දී කුරුල්ලන් ගණනාවක් ඝාතණය කෙරුණ ද එමු ගහණය දිගින් දිගට ම වර්ධනය විය. යුද්ධයට හේතු වුයේ එම ගහණයේ වැඩි වීමත් සමඟ සිදු වූ අධික කෘෂි භෝග විනාශය යි. 1932 නොවැම්බර් 02 වන දා සිට එම වසරේ දෙසැම්බර් මස 10 වන දින දක්වා බටහිර ඕස්ට්‍රේලියාවේ කැම්පියන් දිස්ත්‍රික්කය තුළ සිදු කෙරුණු මෙම ක්‍රියාදාමය සඳහා එකල ආරක්ෂක ඇමතිවරයා ව සිටි ශ්‍රීමත් ජෝර්ජ් පියර්ස්, මේජර් ජී. පී. ඩබ්. මෙරඩිත් සහ රාජකීය ඕස්ට්‍රේලියානු කාලතුවක්කු හමුදාව සම්බන්ධ වූහ.

පළමුවන ලෝක සංග්‍රාමයෙන් අනතුරුව, යුධ සේවයේ නියුතු වූ සොල්දාදුවන් බොහෝ දෙනෙකු නිදහස් කරන ලද අතර, ඔවුන්ගෙන් විශාල පිරිසකට ඕස්ට්‍රේලියානු රජය විසින් බටහිර ඕස්ට්‍රේලියාව තුළ ගොවිතැන් කිරීම සඳහා ඉඩම් ලබා දෙන ලදී. 1929 වසරේ සිදු වූ මහා අවපාතයේ ආරම්භයත් සමඟ ම, මෙම ගොවීහු තිරිඟු වගාව වැඩි කරන ලෙස රජයෙන් දිරිගැන්වනු ලැබුව ද පොරොන්දු වූ සහනාධාර ලබා දීමට රජය අපොහොසත් විය. මේ අතර එමු පක්ෂීන් 20,000ක් පමණ එකවර වගා බිම් වෙත පැමිණීම නිසා ගොවීන් මුහුණ දෙන දුෂ්කරතා ද වැඩි විය. එමු සත්ත්වයින් ඔවුන්ගේ අභිජනන කාලයෙන් පසු නිතිපතා සංක්‍රමණය සිදු කරන අතර සාමාන්‍යයෙන් මිරිදිය ප්‍රදේශවල සිට වෙරළ දෙසට ගමන් කරයි. බටහිර ඕස්ට්‍රේලියානු ගොවීන් විසින් පවිත්‍ර කරන ලද ඉඩම් සහ අමතර ජල සැපයුම් පශු සම්පත් සඳහා ලබා දීමත් සමඟ, වගා බිම් යනු සිය ආහාර හා නවාතැන් සඳහා හොඳ වාසභූමියක් බව එමු සත්ත්වයින් විසින් සොයා ගනු ලැබූ බව පෙනිණි. එහෙයින් උන් ගොවිබිම්වලට පිවිසීමට පටන් ගත්හ. විශේෂයෙන් චැන්ඩ්ලර් සහ වල්ගුලන් අවට ආන්තික ගොවි බිම්වල මෙම සතුන් සමූහ වශයෙන් දැකිය හැකි විය. එමු පක්ෂීන් භෝග පරිභෝජනය කළ අතර ඒ එහෙයින් ඒවා නරක් විය. තව ද උන් නිසාවෙන් හාවන්ට, ඌරන්ට වැනි භෝගවලට හානි කරන වෙනත් සතුන්ට පවා ඇතුළු විය හැකි වන සේ වැටවල්වල විශාල හිඩැස් ඇති වීම ද තවත් ගැටලුවක් විය.

එමු කුරුල්ලන් තම භෝග විනාශ කිරීම ගැන ගොවීන් සිය කනස්සල්ල පළ කළ අතර, එම ගොවීන්ගේ නියෝජිතයින් පිරිසක් හිටපු සොල්දාදුවෙකු වූ ආරක්ෂක අමාත්‍ය ශ්‍රීමත් ජෝර්ජ් පියර්ස් හමුවීමට ගියහ. මේ වන විට ගොවීන් බවට පත් ව සිටිය ද පළමුවන ලෝක සංග්‍රාමයේ දී ඉතා විශිෂ්ට අයුරින් සේවය කළ සොල්දාදු පදිංචිකරුවෝ මැෂින් තුවක්කුවල කාර්යක්ෂමතාව පිළිබඳ හොඳින් දැන සිටියහ. එහෙයින් ඔවුන්ගේ ඉල්ලීම වූයේ මැෂින් තුවක්කු යොදවා කුරුල්ලන් මරා දමන ලෙස යි. කොන්දේසි සහිතව වුව ද තුවක්කු භාවිත කිරීමට ඉඩ ලබා දීමටත්, හමුදා ප්‍රවාහනය සඳහා බටහිර ඕස්ට්‍රේලියානු රජයේ මුදල් යෙදවීමටත් ඇමතිවරයා පොරොන්දු විය. ආහාර, නවාතැන් හා පතොරම් සඳහා ගෙවීම් ලබා දීමට ගොවීහු එකඟ වූහ. කුරුල්ලන් වෙඩි තැබීමෙන් නුපුහුණු සොල්දාදුවන් හට හොඳ ඉලක්ක පුහුණුවක් ලැබෙනු ඇතැයි යන පදනම මත තමා මෙම කර්තව්‍යය සඳහා උදව් කරන බව පියර්ස් විසින් හමුදාව වෙත දන්වා තිබිණි. එවකට රජයේ ඇතැමුන් විසින් මෙම මෙහෙයුම, ඒ වන විට උසි ගැන්වෙමින් තිබූ සොල්දාදු ගොවීන් හා සාමාන්‍ය ගොවීන් අතර සීතල යුද්ධය මැඬ පැවැත්වීම වෙනුවෙන් බටහිර ඕස්ට්‍රේලියාව විසින් සිදු කරනු ලබන උපකාරයක් ලෙස සලකන ලදී.

ශ්‍රීමත් ජෝර්ජ් පියර්ස් ඇමතිවරයා විසින් එවනු ලැබූ හමුදාව විසින් වැඩ බිම්වලින් එමු ගහණය ඉවත් කිරීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තුවේ පවා කතා බහට ලක් විය. පසු දිනෙක රැස්වුණු පාර්ලිමේන්තු සභාවක දී සෙනෙට් සභික ජේම්ස් ඩන් විසින් පියර්ස්, “එමු යුද්ධයේ ඇමතිවරයා” ලෙස නම් කරන ලදී.

මිලිටරි හමුදාවේ මැදිහත්වීමෙන් මෙම කටයුත්ත 1932 ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ව තිබුණි. රාජකීය ඕස්ට්‍රේලියානු කාලතුවක්කු හමුදාවේ, හත්වන සේනාංකයේ, මේජර් ජී.පී.ඩබ්ලිව්.මෙරෙඩිත්ගේ අණ යටතේ යුද්ධය සිදු කිරීමට තීරණය කෙරිණි. මෙරඩිත් විසින් සිය අණදෙන සෙබළෙකු වූ සාජන්ට් එස්. ලුවිස් ඇතුළු පිරිසක්, තුවක්කු දෙකක් සහ පතොරම් 10,000ක් සමඟ පෙරට යැව්වේ ය. කෙසේවෙතත්, මෙම මෙහෙයුම ප්‍රමාද වූයේ වර්ෂාපතනය හේතුවෙන් එමු පක්ෂීන් පුළුල් ප්‍රදේශයක් පුරා විසිරී යාම නිසා ය. වර්ෂ 1932 නොවැම්බර් 2 වන විට වර්ෂාව නැවතිණි. ඉන්පසු ගොවීන්ට උපකාර කිරීමේ මෙහෙයුම සඳහා හමුදා භටයින් යෙදවිණි.

හමුදාවේ පළමු උත්සාහය අනුව නොවැම්බර් 2 වන දින කාලතුවක්කු හමුදාවේ සොල්දාදුවන් කැම්පියන් නගරය වෙත ගිය අතර එහි දී ඔවුනට එමු පක්ෂීන් 50ක් පමණ දැකගත හැකි විය.  කුරුල්ලන් තුවක්කු පරාසයෙන් බැහැර ව සිටි හෙයින්, ප්‍රාදේශීය පදිංචිකරුවන් එක් වී එම සතුන් හමුදාව වෙත එවීමට උත්සාහ කළ ද, උන් කුඩා කණ්ඩායම්වලට බෙදී දිව ගිය හෙයින්, ඉලක්ක කර ගැනීමට අපහසු විය. කෙසේ වෙතත්, ෆියුසිලේඩ් පරාසය හේතුවෙන් මැෂින් තුවක්කුවලින් පළක් නොවුව ද දෙවන වටයේ වෙඩි හුවමාරුවෙන් කුරුල්ලන් ගණනාවක් මරා දැමීමට හැකි විය. එදින ම සවස හමුදා භටයින් හට කුඩා කුරුල්ලන් රැළක් හමු වූ අතර, එයින් ද දුසිමක් පමණ මරා දමන ලදී.

ඊළඟ වැදගත් සිදුවීම නොවැම්බර් 4 දා සිදු විය. මෙරෙඩිත් විසින් දැක තිබුණේ වේල්ලක් අසල සැඟවී සිටි එමු පක්ෂීන් දහසකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ වාසස්ථාන වෙත යන බව යි. මේ වතාවේ තුවක්කුකරුවෝ වෙඩි තැබීමට පෙර කුරුල්ලන් තමන්ගේ සමීපයට එන තෙක් බලා සිටියහ. කුරුල්ලන් දොළොස් දෙනෙකු පමණක් ඝාතණය කිරීමෙන් පසුව තුවක්කු තදබදයට පත් වූ අතර (stuck) නැවත වෙඩි තැබීමට පෙර ඉතිරි කුරුල්ලන් විසිරී ගියහ. එදින තවත් කුරුල්ලන් දැකගත නොහැකි විය.

ඊළඟ දිනවල දී, මෙරඩිත් තව දුරටත් දකුණට යාමට තීරණය කළ අතර මේ වන විට කුරුල්ලන් තරමක් හීලෑ වී ඇති බව වාර්තා විය. නමුත් ඔහු එය සැලකුවේ සීමිත සාර්ථකත්වයක් ලෙස පමණි. සිව්වන දිනය වන විට, හමුදා නිරීක්ෂකයින් සඳහන් කළේ, සෑම කුරුලු කණ්ඩායමකට ම දැන් තමන්ගේම නායකයෙකු සිටින බව යි. එනම් අඩි හයක් පමණ උසැති කළු පැහැති පිහාටු සහිත විශාල පක්ෂියෙකි. එක් අදියරක දී මෙරඩිත් ට්‍රක් රථයක තුවක්කුවක් සවි කොට ගෙන තරමක දුරක් ගිය අතර, එයින් ප්‍රයෝජනයක් නොවන බව ඔප්පු විය. දින හයකට පසු නොවැම්බර් 8 වන විට පතොරම් 2500ක වෙඩි තබා තිබිණි. ඝාතණය කරන ලද පක්ෂීන් සංඛ්‍යාව අවිනිශ්චිත විය. සැකෙවින් එම ගණන 200 සිට 500 දක්වා පරාසයක පැවතිණි.  මෙරඩිත්ගේ නිළ වාර්තාවේ සඳහන් වූයේ මෙමඟින් ඔහුගේ භටයින්ට හෝ ගොවීන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි.

මෙම යුද්ධය පිළිබඳ පක්ෂි විද්‍යාඥයින්ගේ අදහස පුදුම සහගත විය. ඔවුන් ප්‍රකාශ කළේ තම රැළට එරෙහි ව නැඟුණු ප්‍රහාරයට මුහුණ දීම සඳහා එමු පක්ෂීන් විසින් ගරිල්ලා සටන් ක්‍රම අනුගමනය කළ බව යි. මිනිසුන්ට මෙන් ඥානයක් නොමැති මෙම සත්ත්වයින් එය කෙසේ කළා ද යන්න සිතා ගත නොහැකි විය.

එම වසරේ නොවැම්බර් 8 වන දින ඕස්ට්‍රේලියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෝ සිය සභාව තුළ දී මෙම මෙහෙයුම පිළිබඳ සාකච්ඡා කළහ. ස්වල්ප දෙනෙක් මියගොස් ඇති බවටත්, නිරපරාදේ උණ්ඩ නාස්ති වූ බවටත් සිදු කෙරුණු ප්‍රකාශ ඇතුළත් කොට ප්‍රාදේශීය මාධ්‍යවල මෙම සිදුවීම අතිශය ඍණාත්මක ලෙස ආවරණය කර තිබිණි. පියර්ස් ඇමතිවරයා ද නොවැම්බර් 8 වන විට හමුදා භටයන් සහ තුවක්කු ඉවත් කර ගැනීමට අණ කළේ ය. 

මේජර් මෙරඩිත්ගේ අදහස වූයේ ද එමු පක්ෂීන් හැසිරුණේ සුලූ ගෝත්‍රිකයින් මෙන් කල්පනා සහගත ව බව ය.

“මෙම පක්ෂීන්ගෙන් සැදුණු, වෙඩි නොවදින ලෙස ආවරණය කරන ලද හමුදා අංශයක් අප සතුව ඇත්නම් අප හට ලෝකයේ ඕනෑ ම හමුදාවකට මුහුණ දීමට හැකි වනු ඇත. යුධ ටැංකිවලින් බේරෙමින් යා හැකි උන් හට මැෂින් තුවක්කුවලට ද මුහුණ දිය හැකිය.උන් සුලූවරුන් හා සමාන ය. ඩම්-ඩම් උණ්ඩවලට පවා එමු පක්ෂීන් නැවැත්විය නොහැකි විය.

හමුදාව ඉවත් වීමෙන් පසුව ද, එමු ප‍්‍රහාර දිගටම පැවතිණි. ගොවීන් නැවතත් සහාය ඉල්ලා සිටියහ. ඊට මැදිහත් වූ බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ජේම්ස් මිචෙල්, හමුදා ආධාර අලුතින් සැපයීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දුන්නේ ය.

ඉල්ලීම් සහ මූලික අණ දෙන නිළධාරියාගේ වාර්තාව අනුව නොවැම්බර් 12 වන විට ආරක්ෂක අමාත්‍යවරයා හමුදා උත්සාහයන් නැවත ආරම්භ කිරීම අනුමත කළේය. පාර්ලිමේන්තුව තුළ මෙම මැදිහත්වීම පිළිබඳ ප්‍රශ්න නැඟිණි. එමු ගහණයේ බරපතල කෘෂිකාර්මික තර්ජනයට එරෙහි ව සටන් කිරීමට සොල්දාදුවන් අවශ්‍ය වූයේ මන්දැයි පැහැදිලි කරමින් ඔහු සෙනෙට් සභාවෙන් ගත් තීන්දුව ආරක්ෂා කළේය. 

1932 නොවැම්බර් 13 වන දින පිටියට පිවිසි මිලිටරිය පළමු දින දෙක තුළ යම් තරමක සාර්ථකත්වයක් අත්කර ගත් අතර ආසන්න වශයෙන් කුරුල්ලන් 40ක් පමණ මරා දැමිණි. දෙසැම්බර් 2 වන විට සොල්දාදුවෝ ආසන්න වශයෙන් සතියකට එමු පක්ෂීන් 100 ගණනේ මරා දැමීමට සමත් වූහ. 1935 අගෝස්තු 23 වන දින “කූල්ගාර්ඩි මයිනර්”හි පළ වූ ලිපියක වාර්තා කෙරුණේ මැෂින් තුවක්කු භාවිතය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුව ද, මෙම ක්‍රමය වඩාත් ඵලදායී බව ඔප්පු වී ඇති බව යි.

1932 දෙසැම්බරය වන විට එමු යුද්ධයේ පුවත එක්සත් රාජධානියට ළඟා විය. එහි සිටි සමහර සත්ත්ව අවිහිංසාවාදියෝ දුර්ලභ සත්ත්ව විශේෂයක් වූ එමු පක්ෂීන් විනාශ කිරීමට එරෙහි ව විරෝධය දැක්වූහ. ප්‍රකට ඕස්ට්‍රේලියානු පක්ෂි විද්‍යාඥයින් වන ඩොමිනික් සර්වෙන්ටි සහ හියුබට් විටෙල් ද මෙම යුද්ධය විස්තර කළේ “කුරුල්ලන් සමූහ වශයෙන් විනාශ කිරීමේ උත්සාහයක්” ලෙස ය. එක්සත් රාජධානියෙන් පවා විවේචන එල්ල වුව ද, ඕස්ට්‍රේලියානු රජයට මේ සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නොමැති විය. ගොවීන් රජයට එරෙහි ව නැඟී සිටීම වැළැක්වීමට නම් එමු පක්ෂීන් මෙල්ල කිරීම අත්‍යවශ්‍ය වූයේ ය.

1950 නොවැම්බරයේ දී හියු ලෙස්ලි විසින් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ දී එමු පක්ෂීන් පිළිබඳ ගැටලුව නැවත මතු කළ අතර ගොවීන්ගේ ප්‍රයෝජනය සඳහා වසරකට උණ්ඩ 300ක් හමුදාවෙන් මුදා හරින ලෙස යුද ඇමති ජොෂියා ෆ්‍රැන්සිස්ගෙන් ඉල්ලා සිටියේය. ඊට එකඟ වෙමින් අමාත්‍යවරයා පතොරම් 300ක් නොව 500,000ක් අනුමත කළේ ය. 

එහෙත් ගැටලුව සංසිඳුණේ නැත. එමු පක්ෂීන් දිගින් දිගට ම වෙඩි උණ්ඩ මඟ හැරි අතර, හමුදාව ද නිකරුණේ වෙහෙසට පත් විය. අවසානයේ එමු පක්ෂින් හට දිනුම ලබා දෙමින් හමුදාව සටන අත් හැරියේ ය. මෑත වසරවල දී, එමු යුද්ධය පිළිබඳ නැවත සඳහන් කෙරුණේ 2020 දී “එමු යුද්ධය” නමින් වීඩියෝ ක්‍රීඩාවක් නිකුත් වීම හේතුවෙනි. ඒ කෙසේ වුවත් අදටත් ඕස්ට්‍රේලියාවේ ගොවි බිම් පුරා මෙම පක්ෂීන් සැරිසරනු දැකිය හැකි ය. එසේනම් කෙතරම් ආයුධ සන්නද්ධ වුව ද, පැරදී ඇත්තේ මිනිසා නොවේ ද?

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author