Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“43 එක්කන් නුඹ ආ දවසේ – ගිනි ඇවිලුණා කැණිමඩලට අපෙ සජබේ”

පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයා 43 සේනාංකය නමින් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමේ බලවත් විරෝධයට ලක්ව ඇතැයි වාර්තා වේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට විපක්ෂ නායක සජිත්​ ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (4 වැනිදා) සවස පැවැත්විණි.

පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කොට ඇති 43 ව්‍යාපාරය කුමක්දැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කොට තිබේ. ඊට පිළිතුරු දෙමින් චම්පික රණවක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ එම ව්‍යාපාරය සංවිධානය කොට ඇත්තේ සමගි ජන බලවේගයට සෘජුව එක්වීමට අකමැති අය එක්කර ගැනීම සඳහා බවය.

එහෙත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා, ඉමිතියාස් බාකීර් මාකර් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක්ම ඊට විරෝධය පළ කර තිබේ.

ඔවුන් සියලුදෙනාගේම මතයවී ඇත්තේ කුමන දේශපාලන ව්‍යාපාරයක් වුවද පක්ෂයට අනුබද්ධ සංවිධානයක් ලෙස පවත්වාගෙන යා යුතු බවය.

තමන් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන නිදහසට කරුණු දැක්වීමට චම්පික රණවක මන්ත්‍රීවරයා දිගින් දිගටම උත්සාහ කොට ඇතත් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ වෙනම කණ්ඩායම් බිහිකිරීම පක්ෂ විරෝධී කටයුත්තක් බවය.

එසේම මේ මොහොතේ පක්ෂය සමග එක් නොවන පිරිස් අනාගතයේ එක්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබේ.

මන්ත්‍රී කණ්ඩායමෙන් එල්ල වූ විරෝධය නිසා අවසානයේ චම්පික රණවක මන්ත්‍රීවරයා රැස්වීම අවසන් වීමට පෙර ඉන් පිටව ගොස් තිබේ.

About The Author