Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ටැන්සානියාවේ ඒකාධිපතියා

හිටපු ජනාධිපති ජෝන් මැගෆුලිට නැවතත් ජය ලබා දෙමින් පසුගිය සතියේ ටැන්සානියාවේ පැවති ජනාධිපතිවරණය අවසන් විය. ඒ, 84%ක ප්‍රතිශතයකිනි. එනමුත් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ ටුන්ඩු ලිසු පවසන පරිදි ටැන්සානියානු පොලිසිය විසින් විරුද්ධ පක්ෂයේ නායකයා වූ චැඩෙමාහි ෆ්‍රීමන් මොබෝ හා ඔහ සමඟ සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම හා ඒ හා සම්බන්ධ වෙනත් පුළුල් අක්‍රමිකතා උපුටා දක්වමින් විපක්ෂය නැවත මැතිවරණයක් ඉල්ලා සිටින අතර ලැබී ඇති ප්‍රතිඵලයට එරෙහි ව විරෝධතා පවත්වමින් සිටිති. 

මොබෝව් සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගොඩ්බ්ලස් ලෙමා, ඩාර් එස්. සලාම්හි හිටපු නගරාධිපති ඉසායා මුවිතා සහ උබුන්ගෝ මහ නගර සභාවේ හිටපු නගරාධිපති බොනිෆේස් ජේකබ් ද ඇතුළත් වෙති.

 “මධ්‍යම රාත්‍රිය පමණ වන විට ඔවුන් රැගෙන ගිය බවට මට පණිවිඩයක් ලැබුණා,” ලිසු රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඩාර් එස්. සලාම් නගරයේ ප්‍රාදේශීය පොලිස් අණදෙන නිලධාරි ලාසරෝ මාම්බෝසා විසින් සිදු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ස්වහීලී භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන පෞද්ගලික හිමිකාරීත්වයකින් යුත් දිනපතා පුවත්පතක් වන මවානාන්චි පුවත්පත කියා සිටියේ ඔවුන් මොබෝව් සහ අනෙකුත් විපක්ෂ නායකයන් රඳවාගෙන සිටීමේ ආරංචිය සත්‍යයක් බවයි.

මේ මාගෆුලිගේ දෙවන පස් අවුරුදු ධූර කාලය යි.

මේ අතර ටැන්සානියාවේ සිදු වෙමින් පවතින, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ක්‍රමානුකූලව ඇඟිලි ගසන බව පෙන්වන වාර්තා පිළිබඳ තමන් සැලකිලිමත් වන බව ඇමරිකා එක්සත් ජනපදය පවසා ඇති අතර බ්‍රිතාන්‍යය කියා සිටියේ “මැතිවරණවල දී ප්‍රචණ්ඩත්වය යොදා ගැනීම සහ අධික ලෙස පොලිස් බලතල භාවිත කිරීම පිළිබඳ වාර්තා නිසා තමන් කලබලයට පත් ව ඇති” බවයි.

About The Author