Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

2018 ඔක්තෝබර් 26 ආණ්ඩු මංකොල්ලයේ සැබෑ ද්‍රෝහීන් කවුද?? – සමන් බණ්ඩාර කපුකොටුව

ඊයේ දිනට දෙවසරක් සපිරුණු ලංකා ඉතිහාසයේ අවලස්සනම හා අශීලාචාරම ව්‍යවස්ථා කුමංත්‍රණය සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස සිහිකිරීමටත්, එම කුමන්ත්‍රණයේ සැබෑ ද්‍රෝහීන් කව්දැයි නොවලහා හෙළි කිරීමටත් මෙය ලියා තබමි.
වර්ෂ 2018. 10. 27 වන සෙනසුරාදා උදේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට හා කුමන්ත්‍රණය පැරදවීමට අපට හැකිද නැත්ද යන්නවත් නොදැන පක්ෂයට සැබෑ ආදරයක් ඇති පාක්ශිකයෙකු ලෙස මා අදට හරියටම දෙවසරකට පෙර අරලියගහ මන්දිරයට ගියෙමි. ඒ වනවිට නව අනීතික අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිව්රුම් දී අමාත්‍ය මණ්ඩල පිහිටුවා තිබූ අතර පොලිස්පතිවරයා මහින්ද රාජපක්ෂ මහතා ට සැලියුට් ගසා ආචාර කරන ආකාරය රාජ්‍ය මාධ්‍ය නිරන්තරයෙන් ප්‍රචාරය කළේ මෙම ආණ්ඩු කොල්ලය සාධාරණ බව පෙන්වීමටය. ඒ වන විට සුලුතර රාජපක්ෂ රජය යහපාලන රජයේ හවුල්කාර මුස්ලිම් හා ද්‍රවිඩ පක්ෂ බිලී බා ගැනීමට අමාත්‍ය ධූර වරප්‍රසාද හා රුපියල් කෝටි සිය දහසින් අල්ලස් දීමට කටයුතු කරමින් සිටි බවද ප්‍රචාරය විය.


ඉතිහාසයේ ප්‍රතිපත්තියක් නැති, කෙලෙහිගුණ නොදන්නා අශීලාචාරම ජනපතිවරයා බවට මෛත්‍රීපාල සිරිසේන පත්වූයේ 2015 වසරේ තමන් ජනාධිපති ධූරයට ඔසවා තැබූ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ සියලු පක්ෂ හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අපේක්ෂා කළ මේ රටේ සියලු පුරවැසියන්ට සිය පශ්චාත්භාගය පෙන්වමිනි. තමන්ව අවස්ථා ගණනකදී ඝාතනයට තැත්කළ බවටත්, නෙළුම් කුළුණෙන් රුපියල් මිලියන දෙසීයක් සොරා කෑ බවටත්, විදෙස් බැංකු ගිණුම් වල ඩොලර් කෝටි ගණනින් මහජනයාගේ මුදල් කොල්ල කා තැන්පත් කළ බවටත්, පවුල් පාලනයක් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලකයෙක් බවටත්, පාරක් පාරක් ගානේ රාජපක්ෂවරු ඇවිදවන බවටත් පුන පුනා කී මෛත්‍රීපාල මහතා සමග ආණ්ඩු කොල්ලයට සම්බන්ධ වී මහින්ද මහතා ද නිරුවත් වූයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුරා දෙමසකට ආසන්න කාලයක් අරලියගහ මන්දිරයේ රැදෙමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සටන ජයග්‍රහණය දක්වා රැගෙන ගිය විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික භාවය නිසාමය.

ආණ්ඩු කොල්ලයට මෛත්‍රීපාල ජනපතිවරයා ට සහාය දුන් අනෙකුත් ද්‍රෝහීන්

නමුත් මේ ආණ්ඩු කොල්ලයට මෛත්‍රීපාල ජනපතිවරයා ට සහාය දුන් අනෙකුත් ද්‍රෝහීන් කව්දැයි අප හදුනාගත යුතුය. 2018 ඔක්තෝබර් 27 වනදා සවස පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ රජයේ සියලු සහෝදර පක්ෂ තම සහාය නීත්‍යනුකූල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත පලකළ අතර එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රී වරුන් වන හේෂා විතානගේ වැනි අයද සහභාගි වී සිටියේ මෙම සටනට ඇති කැපවීම පෙන්වමින් උවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ නොවීම සිහි කළ යුතුය. එය අතපසු වීමක් නොවේ. ඔහු කුමන්ත්‍රණයේ පළමු දින 05ම සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමගය. මා මේ ප්‍රකාශ කරන දේ එවකට සහෝදර පක්ෂ නායකයන් ලෙස උක්ත මාධ්‍ය හමුවට පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, පාඨලී චම්පික රණවක මහතා, දොස්තර රාජිත සේනාරත්න මහතා, මුස්ලිම් පක්ෂ නායකයන්, ද්‍රවිඩ පක්ෂ නායකයන් ඇතුළු ඕනෑම කෙනෙකුගෙන් විමසා තහවුරු කර ගත හැකිය. මා විශ්වාස කරන අන්දමට ඔවුන් එදා සිය ස්ථාවරය පාවානොදුන් සේම, ඉහත ද්‍රෝහී ක්‍රියාව සැගවීමට ඔවුන් ක්‍රියා නොකරනු ඇතැයි මා විශ්වාස කරමි. තවද, ඉහත නම් සදහන් කිසිදු නායකයෙකු මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග නැති අතර, ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින අයවලුන් වේ.


කුමන්ත්‍රණය සාර්ථක කරගැනීමට අපහසු බව රාජපක්ෂ කදවුරට දින තුනකදී දැනුන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාක්ෂිකයන්ට දිවි දෙවැනි කොට ආදරය කරන සජිත් ප්‍රේමදාස අරලියගහ මංදිරයේ සටන් මධ්‍යස්ථානයට එන්නේ කුමන්ත්‍රණය සිදුව දින පහකට පසුව බව පිළිකුලෙන් යුතුව කියා සිටිමි. එතෙක් සිරිසේන ගේ අගුවේ රැදුන ඔහු කුමන්ත්‍රණය සාර්ථක නොවන බව වැටහීමෙන් පසු හෙමින් සීරුවේ අරලියගහ මංදිරයට පැමිණියේය.

ඊට පෙර දුරකථනයෙන් හා පණිවිඩකරුවන් යවා වත් ඔහුව ගෙන්වා ගැනීමට තිබූ අපහසුව!!!

සජිත්ගේ හයිය නොවන්නට එදා සිරිසේන ඔවැනි ජඩ වැඩකට අත නොතබනු ඇත. සජිත් කිසිදා පක්ෂ නායකත්වයට නියෝජ්‍ය නායක ලෙස තමන්ගෙන් ලැබිය යුතු සහයෝගය ලබා දුන් අයෙකු නොවේ. වර්ෂ 2000 පාර්ලිමේන්තු ආ දා සිට දෙවසරක් ඉක්ම යත්දී පක්ෂය භේද බින්න කොට නායකත්වය අල්ලා ගැනිම මිස අන් කිසිවක් ඔහු සිදු කළේ නැත. සජබ ය පිහිටුවා දිස්ත්‍රික්ක මට්ටමින් ශාකා ප්‍රතිසංවිධානයට වෙහෙසෙන ඔහුගෙන් මා ඉතා ගෞරවයෙන් අසන්නේ ඔබ හම්බන්තොට ඔබගේ ආසනයේ සංවිධායක වරයා ලෙස පසුගිය දශකය පුරා පක්ෂ ශාඛා එකක් හෝ පිහිටුවා සිරිකොතේ ලියාපදිංචි කොට ඇත්ද යන්නයි. පක්ෂයේ ආදායම් මාර්ගය වන පක්ෂ සාමාජික පත් කීයක් පසුගිය දශකයේ ඔබ සංවිධායක වරයෙකු ලෙස අලෙවි කොට තිබේද? පිළිතුර බිංදුව යන්නයි. දැන් ඔබගේ නව පක්ෂයේ ශාඛා සැදීමට ඇති උනන්දුව පක්ෂ නියෝජ්‍ය නායක ලෙස ඔබට නොතිබුනේ ඇයි?? ආණ්ඩු කොල්ලයේ මුල් දින පහ තුළම, තමන් නියෝජ්‍ය නායකත්වය දරන, අමාත්‍ය ධූර දරන රජය කොල්ල කා තිබියදීත් සටන් බිමට පැමිණ තම රජය වෙනුවෙන් පෙනී නොසිටියේ ඇයි? කිසිදු ලැජ්ජාවක් නැතිව මෙම ද්‍රෝහි ආණ්ඩු කොල්ලය කළ ජනාධිපතිවරයා හට කටපුරා ලංකා ව්‍යවස්ථාවේ වත් නැති ලෙස අතිගරු ශ්‍රීමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යැයි අමතන්නට වූ අරුම හේතුව කුමක්ද?


ඔබ මේ විශිෂ්ට පක්ෂයට විස පෙවූ ද්‍රෝහියකු මිස අන් කිසිවකු නොවේ. ඔබ සිරිසේන සමග අගුපිලේ වැටී තම පක්ෂ නායකයා එලවා ගැනීමට තමන්ගේම රජය පාවාදීමට කටයුතු කළා පමණක් නොව කිසිදු හෘද සාක්ෂියක් නැති නායකයකු බව පෙන්වමින් පසුගිය කාලය පුරා ඔබ සමග පමණක් සිටි සුජීව සේනසිංහ, චන්ද්‍රානි බණ්ඩාර, අජිත් පී. පෙරේරා වැන්නවුන්ගෙන් එක් අයෙකුට හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා නොදී උපන් ගෙයි ඩීල් කාරියක ඊට පත් කිරීමෙන් ඔබගේ අමනුස්ස ගතියත්, අමනෝඥභාවයත් පෙන්වා හමාරය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මෙන්ම මිනීමරු චොකාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමේදී ඔබ පෙන්වූ නායකත්ව ගුණය අතිශයින් ලාමකය. ඔබ දන්නා එකම දෙය රහසින් පැමිණ පිටුපසින් පිහියෙන් ඇනීමේ ශිල්පය පමණක් බවත්, ඩයනා කුමරිය ඔබගේ හදවතක් නැති පපුවට පිහියෙන් ඇණ අවසන් බවත්, ඔබ සමග හුන් පරාජිත වූවත් උක්ත නම් සදහන් තිදෙනාගෙන් කෙනෙකුට මන්ත්‍රීධූරය ලබා දුන්නේ නම් ඔවුන් දිවි හිමියෙන් ඔබ හැර නොයනු ඇති බවත් කණගාටුවෙන් සිහි කරමින්, ඔබ නෙලාගන්නේ ඔබ අස්වැද්දූ දෙය පමණක් නිසා ඔබට දේශපාලන අනාථභාවය පමණක් හිමි බවත්, මේ වන විටත් ඔබගේ අලුත් පක්ෂයේ ජේෂ්ඨයන් අතරේ ඔබ විහිළුවක් වී ඇති බවත් කණගාටුවෙන් කියා සිටිමි.

සමන් බණ්ඩාර කපුකොටුව

About The Author