Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

19 අහෝසි කිරීම දේශපාලන ශිෂ්ඨාචාරය, ම්ලේච්ඡත්වය කරා ආපසු යෑමක්: ආණ්ඩුවට තුනෙන් දෙකක් නෑ..! – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම, ලංකා දේශපාලනය ශිෂ්ඨත්වයෙන් ම්ලේච්ඡත්වය කරා ගෙන යාමක් බවට පත් වනු ඇති බව මට සිතෙනවා.

1978 ව්‍යවස්ථාව කෙටුම්පත් වූ දා පටන් ව්‍යවස්ථා සංශෝධන 19 න් 17 ක්ම ගෙනාවේ බලයේ සිටි පක්ෂයේ, නැත්තම් රාජ්‍ය නායකයාගේ බලය තහවුරු කර ගැනීම සඳහා යි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අකමැත්තෙන් හෝ පළාත් වලට බලය බෙදුවා. 19 සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු බලය අතහැරියා විතරක් නෙවෙයි, අධිකරණය, පාර්ලිමේන්තුව හා විධායක අතර තුලන හා සංවරණ ක්‍රමයක් ඇති කළා. බලය ගොණු කර ගන්නා ම්ලේච්ඡත්වයෙන්, දේශපාලන ශිෂ්ඨත්වය කරා ලංකාවේ දේශපාලනය ගෙන ආවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යි. 19 වන සංශෝධනය අහෝසි කරන්නට කථා කරන උදවිය ලංකා දේශපාලන ශිෂ්ඨාචාරය ශිෂ්ඨත්වයෙන්, ම්ලේච්චත්වය කරා ගෙන යන්නට උත්සාහ කරන බලලෝභීන් පිරිසක් ලෙස ඉතිහාසයට එක්වනු ඇති බව මගේ විශ්වාසයයි.

13 වන සංශෝධනය තුලින් බලය බෙදුවා. හැබැයි අද පළාත් සභාවක් නෑ. ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටළුවක් ඉස්සරහට දාලා පළාත් සභා අක්‍රීය කර තිබෙනවා. කොමිෂන් සභා නිසා ලංකාවේ දේශපාලනය දේශපාලනඥයින්ගෙන් මිදිලා ශිෂ්ඨත්වයේ මාර්ගයට පැමිණියා.

18 වන සංශෝධනයට අත උස්සපු, බලලෝභී දේශපාලනඥයින් අද 19 අහෝසි කරලා ලංකාවේ දේශපාලනය ශිෂ්ඨත්වයෙන්, ම්ලේච්ඡත්වය කරා දක්කන්න හදනවා.

අද වසර 4 ½ ක් යන තුරු මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩුවක් විසිරුවා හරින්නට බෑ. 2015 වසර දක්වාම මහජන ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවක් වසරක් යන තුරු විසිරුවා හරින්න බෑ කියලා නියමයක් තිබුණා. අද ජනාධිපතිට කැමති වෙළාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය දෙන්න අධිකරණ ඇමති අලි ෂබ්රි ව්‍යවස්ථා හදනවා. අගමැති මහින්ද ගේ ආණ්ඩුව කැමති වෙලාවකට විසරුවාහරින්න ජනාධිපති ගෝඨාභයට බලය දෙන්න හදනවා. මේක අශිෂ්ඨ වැඩක්. දේශපාලන නරුමකමක්. මහාචාර්ය ජී.එල්. පීරිස් 19 වන සංශෝධනය පතුරු ගහනවා දැක්කා. ජී.එල්. වගේ ‘ශ්‍රාස්ත්‍රීය වංචනිකයෙකුගෙන්‘ එයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. 19 අහෝසි කිරීමේ උත්සාහය පරාජය කිරීමට විද්වතුන්, වෘත්තිකයින් පෙළ ගැසිය යුතු යි, නායකත්වය දිය යුතු යි.

ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා කියලා කියනවා. ඇත්තටම ආණ්ඩුවේ පාර්ශවකරුවන් එකතුවුණාම තියෙන්නේ ආසන 150 යි. කථානායක ඉවත්වුණාම තියෙන්නේ ආසන 149 යි. මේ පාර්ලිමේන්තුවේ දැනට දිවුරුම්දීලා ඉන්නේ 223 යි. ඉතින් කොහෙද ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙන්නේ? රටට ශක්තිමත්, ක්‍රියාශීලි විපක්ෂයක් අවශ්‍යයි. විද්වතුන්ගේ දායකත්වය නැතිව එවැන්නක් ඇති වන්නේ නෑ.

අද රටේ මතයක් තියෙනවා, බැසිල් රාජපක්ෂ ට පාර්ලිමේන්තුවේ දොර අරින්න 19 අහෝසි කරන්න හදනවා කියලා. ඊලඟ ආණ්ඩුවක අගමැති කරන්න ඔහු පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය ‘ද්විත්ව පුරවැසි‘ ප්‍රශ්නය ලිහා ගැනීමට වැඩි දෙයක් 19 අහෝසි කිරීම තුල තිබෙනවා.

මේ රටේ දේශපාලනයට ශිෂ්ඨත්වය ගෙනාපු ‘කොමිෂන් සභා අහෝසි කිරීමේ පාපකර්මයට අතගහන්න එපා කියලා මේ රටේ උගත්තුන්ට, වියතුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා.

රජිත් කීර්ති තෙන්නකෝන්

About The Author