Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සෞදි රජුට විරෝධය.

ජී. 20 සමුළුව පසුගිය මාසයේ දී අවසන් විය. එනමුත් එහි සත්කාරක රට වූ සෞදි අරාබියටත්, එහි රජතුමා වන මොහොමඩ් බින් සල්මාන්ටත් විරුද්ධ ව මානව හිතවාදී සංවිධාන විසින් ගෙන යන සටන අවසන් වී ඇති බවක් නොපෙනේ. ඔවුනට අනුව සෞදි ආරාබියේ රජතුමා හට මෙවැනි ජාත්‍යන්තර සමුළුවක අභිමානය ලබා ගැනීමට කිසිදු අයිතියක්නැත. මන්දයත් තමා රජ වූ දින පටන් සියලු රටවැසියන්ට එක හා සමාන ප්‍රජා අයිතිවාසිකම් ලබා දෙන බවට ප්‍රචාරය සිදු කළ ද මේ වන විටත් එරට තුළ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වීමේ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබෙන හෙයිනි.

නිදසුනක් ලෙස 2018 වසරේ දී අත්අඩංගුවට ගැනුණු ලුජේන් අල් – හැත්ලූල් නම් වූ 31 හැවිරිදි කාන්තාව සෞදි අරාබියේ පිරිමි භාරකාරත්ව ක්‍රමයේ ඉහළ පෙළේ විරුද්ධවාදිනියක වූ අතර කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන ලෙස උද්ඝෝෂණය කර තිබුණි. එහෙත් රජය මෙම අත්අඩංගුවට ගැනීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් පවසන්නේ ලොව පුරා සියලු කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා තමන් කැපවී සිටින බව යි. මෙම කාන්තාවන් මෙයට පෙර තමන්ට සිදු වන වධහිංසනයන්ගෙන් බේරීම පිණිස රට අතහැර යාම සඳහා එක්සත් ජාතීන් වෙත රැකියා අයැදුම්පතක් පවා ඉදිරිපත් කර තිබිණි. එනමුත් මේ වන විට එම අයැදුම්පත ම ඇයට විරුද්ධ ව යොදා ගැනීමට සෞදි රජය උත්සාහ කරන බව පෙනේ.

බ්‍රිතාන්‍ය මානව හිමිකම් නීතිඥවරියක වන බැරෙනස් හෙලේනා කෙනඩි වාර්තා කරන පරිදි මෙසේ අත්අඩංගුවට ගන්නා කාන්තා රැඳවියන්ගෙන් වැඩි දෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු වේ. මානව හිතවාදී සංගමයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් මේ සතියේ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ට ලිපියක් යවමින් සෞදි අරාබියේ කාන්තා අයිතිවාසිකම් උදෙසා සටන් වැදුණු සියලුදෙනා නිදහස් කර ගැනීම සඳහා ජී 20 වේදිකාව භාවිත කරන ලෙස ඉල්ලා සිටියහ. එනමුත් එයින් කිසිදු ප්‍රයෝජනයක් වී නැත.

එක්සත් රාජධානිය මෙසේ පවසයි.

“අපි එක්සත් ජාතීන්ගේ හවුල්කරුවන් සමඟ එක් ව සෞදි අරාබියේ සිටින සියලුම දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියෙමු. නමුත් සෞදි වැසියන් පවසන්නේ තම අධිකරණය සම්බන්ධයෙන් විනිශ්චය කිරීමට බාහිර ලෝකයට ඉඩ නොදෙන බවයි.”

 “අපේ අධිකරණය ස්වාධීනයි” සෞදි අරාබියේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඇඩෙල් අල් ජුබීර් පවසා සිටියි.

“අප, එක්සත් රාජධානියේ හෝ ඇමරිකාවේ හෝ වෙනත් ස්ථානවල සිටින මිනිසුන්ට ඔවුන් කළ යුතු හා නොකළ යුතු දේ නොකියන ආකාරයට ම, අපට දේශන දීමට හෝ කළ නොකළ යුතු දේ නියම කිරීමට අපි ඔබට ඉඩ නොදෙමු.”