Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සෞඛ්‍යය පිළිබඳ පුරාණ යුගයේ මත.

සෞඛ්‍යය පිළිබඳ සමහර අදහස් සම්පූර්ණයෙන් ම මිථ්‍යා විශ්වාස මත පදනම් වූ බව පෙනේ. නිදසුනක් ලෙස දෙදෙනා ම කිරි පානය කරනවා යැයි කියා බළලුන් නිසා නිවසේ සිටින ළදරුවන්ගේ ආයුෂ අඩු  වන්නේ නැත. බොහෝ බළලුන් ඇත්ත වශයෙන් ම ලැක්ටෝස් ගන්ධයට කැමති නැත. එනමුත් ඇතැම් පැරැණි උපදෙස් මඳක් පිළිගත හැකි තත්වයේ පවතින බව පෙනේ. එවැනි කරුණු තුළ වෛද්‍ය සත්‍යයන්හි මූලයන් තිබිය හැකිය. ඉහත කරුණ ම සැලකුවහොත් බළලුන් ළදරුවන් සිටින නිවෙස්වල තබා ගැනීමේ දී කිරි සම්බන්ධ ගැටලුව කෙසේ වුවත්, බළලාගේ මවිල් දරුවාගේ නාසය තුළින් ශ්වසන පද්ධතියට ඇතුළු විය හැකි ය. අතිශයින් බිළිඳු දරුවෙකුට නම් ඇතැම් විට එයින් මරණය ළඟා විය හැකි ය.

1. උණුසුම් – සීතල සමබරතාව පවත්වා ගැනීම වැදගත් ය.

පෙරදිග සංස්කෘතීන් තුළ, ශරීරයේ උණුසුම් හා සීතල සමබරතාවක් පවත්වා ගැනීම වැදගත් යැයි සැලකේ. නිදසුනකට අනුව චීන සංස්කෘතිය තුළ, හැපෙනසුලු හෝ බදින ලද ආහාර, හරක් මස්, මිරිස් සහ ගම්මිරිස් යනාදිය “උණුසුම්” ආහාර ලෙස සලකන අතර සෝයා බෝංචි, සලාද කොළ සහ දොඩම් යනාදිය “සිසිල්” ආහාර ලෙස සැලකේ. එහෙත් ශ්‍රී ලාංකිකයන්ට නම් ගම්මිරිස් යනු සිසිල් කුළුබඩුවකි.

චිකාගෝ විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය මධ්‍යස්ථානයේ, ශාකසාර වෛද්‍ය පර්යේෂණ පිළිබඳ ටැං මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චුන්-සු යුවාන් පවසන පරිදි චීන විශ්වාසයන්ට අනුව, ශරීරයේ “උණුසුම්” සහ “සිසිල්” අසමතුලිතතාවක් ඇති වීම රෝගාබාධ ඇති කරයි. චීන වෛද්‍ය න්‍යාය මත පදනම් ව, නිරෝගී පුද්ගලයෙකුගේ ශරීරය සීතල හා උණුසුම අතර හොඳ සමබරතාවකින් යුක්ත වේ. පුද්ගලයෙකු අධික උණුසුම් සහිත ආහාර අනුභව කරන විට, සිරුර තුළ “යීට් – හේ” නම් වන උණුසුම් අසමතුලිතතාවක් මතු වේ. චීන විශ්වාසය කෙසේ වුවත්, එවන් විටෙක ඔබ අසනීප විය හැකි ය. 

2. හැපෙනසුලු හෝ කුළුබඩු සහිත ආහාර ගැටලුකාරී ය.

ඔහියෝහි ක්ලීව්ලන්ඩ් සායනයේ අභ්‍යන්තර වෛද්‍ය ඇලන් වයිස් මෙසේ පවසයි.

“ඔබට පපුවේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් වැනි ඇසිඩ් පරාවර්තක රෝගයක් ඇත්නම්, කුළුබඩු සහිත ආහාර අනුභව කිරීමෙන් ඔබට වඩාත් නරක තත්ත්වයක් ඇති විය හැකි ය. එමඟින් ඔබ රෝගාතුර විය හැකිය. එසේ ම හැපෙනසුලු ආහාර යනු සාමාන්‍යයෙන් බැදපු ඒවා වන අතර අධික ලෙස බදින ලද ආහාර ලබා ගැනීමෙන් හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි වේ.”

කෙසේ වෙතත්, කුළුබඩු සහිත ආහාර අනුභව කරන බොහෝ දෙනෙකුට කිසිසේත් අසනීප නොවන බව වයිස් පැවසීය. සෑම කුළුබඩු සහිත ආහාරයක් ම අනුභව කිරීමෙන් ඔබට අසනීප විය හැකි බව පැවසීම සඳහා කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව ඔහුගේ අදහස යි.

3. සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ සඳහා උණුසුම් රා යෝග්‍ය ය.

අයර්ලන්ත ජාතිකයින් විසින් උණුසුම් කරන ලද රා, විස්කි, උතුරන වතුර, මී පැණි, ලෙමන් සහ කරාබුනැටි එකතුවෙන් සාදා ගන්නා ලද සංයෝගයක් සීතල අඩු කිරීම සඳහා හෝ උණ රෝගය සුව කිරීම සඳහා යොදා ගෙන තිබේ. එනමුත් විශේෂයෙන් ළදරුවන්ගේ රෝගාබාධ සඳහා ප්‍රතිකාරයක් ලෙස මෙම වට්ටෝරුව සහාය නොදක්වන බව වෛද්‍ය වයිස් පවසයි.

මත්පැන් විසින් ආමාශයේ ඇති සමහර බැක්ටීරියා විනාශ කරන බව සැබෑවකි. එහෙත් අප අසනීපයෙන් සිටින විට එම රෝග ඇති කරන බැක්ටීරියා හෝ වෛරස දැනටමත් අපගේ ශරීරය පුරා සංසරණය වෙමින් පවතින බැවින් ආමාශය තුළට ගමන් කරන මත්පැන්වලින් එම බැක්ටීරියාවන්ට එතරම් දෙයක් කළ නොහැකි ය. කෙසේ වෙතත්, උණුසුම් රා, සීතල හෝ උණ රෝග ලක්ෂණ සමනය කිරීමට තරමක් හෝ උපකාරී වන බැවින් ඒවා පානය කිරීම සුදුසු ය. එවිට ශ්වසන මාර්ගයට ඇතුළු වන වාෂ්ප මඟින් නාසික මාර්ග විවෘත වනු ඇත. සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඔබට නිදා ගැනීමට අපහසු නම්, උණු කරන ලද මත්පැන් ඔබට ඉක්මනින් නිදා ගැනීමට උදව් වනු ඇතැයි වෛද්‍ය වයිස් පැවසීය.

“එය ඔබේ උණ රෝගය සුව නොකරනු ඇති අතර එය උණෙහි දීර්ඝකාලීන බලපෑම් ද අඩු නොකරනු ඇත. නමුත් එය නිසැකව ම යම් යම් රෝග ලක්ෂණවලින් සහනයක් ලබා ගැනීමට උපකාරී වනු ඇත.” 

4. ෂියැට්සු.

ෂියැට්සු යනු ජපන් කටු චිකිත්සක වර්ගයකි. එය, වෛද්‍යවරයකු ශරීරයේ යම් පීඩන ලක්ෂ්‍යයක් එබූ විට රෝග සහ වේදනාව සමනය වනු ඇතැයි විශ්වාස කෙරෙන සුව කිරීමේ ක්‍රමයකි. මෙම පීඩන ස්ථාන ශරීරයේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර ඒවා මත ඇඟිලි තබා, එබීමෙන් ශරීරයේ එම කොටස්වලට ශක්ති ප්‍රවාහයක් උත්තේජනය වන බව විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවේ පවතින නිළ තෙරපීමේ ක්‍රමය ද මෙයට සමාන ය.

නමුත් ෂියැට්සු මේ ආකාරයෙන් ක්‍රියා කරන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව වයිස්ගේ අදහස යි. කෙසේ වෙතත්, මාංශ පේශි ලිහිල් කිරීමට සහ වේදනාව සමනය කිරීමට ෂියැට්සු මඟින් කිසියම් උපකාරයක් ලබා ගත හැකි බව ඔහු පවසයි.

“සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ ප්‍රතිකාර ක්‍රම ගැන සිතන විට, ඒවායින් ඔබට හානියක් නොවන බව පැවසීම ඉතා පහසු දෙයකි. නමුත් මෙම ප්‍රතිකාරය ඔබට උදව්වක් ද විය හැකි බව පෙනේ.” 

අතීත අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ කටු චිකිත්සාව මොළයේ ක්‍රියාකාරිත්වය සහ ආතතිය දුරු කිරීම සඳහා උපකාරී වන බව යි. නියුරෝට්‍රෝමා ජර්නලයේ පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ කටු චිකිත්සාව මඟින් කම්පන සහගත මොළයේ තුවාලවලින් දිවි ගලවා ගත් පුද්ගලයින්ගේ මතක ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකි බව යි. සාක්ෂි මත පදනම් වූ “ජර්නල් ඔෆ් නියුරොට්‍රෝමා” වෛද්‍ය සඟරාව විසින් පසුගිය වසරේ දී අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ කටු චිකිත්සාව පිළිකා රෝගයෙන් පෙළෙන අයගේ තෙහෙට්ටුව අඩු කරන බවයි.

5. චිකන් නූඩ්ල්ස් සහ මැට්සෝ බෝල් සුප්

කුකුළු මස්වලින් සාදන ලද නූඩ්ල්ස් සුප් සහ මැට්සෝ බෝල් සුප්වලට (මේ දෙවර්ගය ම “යුදෙව් පෙනිසිලින්” ලෙස හැඳින්වේ.) දරුණු සීතල හෝ උණ සුව කිරීම සඳහා හොඳ පිළිගැනීමක් ඇත. උණුසුම් සුප් හොද්ද සහ අමුද්‍රව්‍යවල සංයෝජනය මඟින් හොඳ රසයක් සහ සුවඳක් ලැබේ. එනමුත් සුප් මඟින් කිසියම් රෝගයක් සුව කළ හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැත.

කෙසේ වෙතත්, සුප්වලින් පිට වන වාෂ්ප මඟින් අසනීප වූ විට ඔබේ ශරීරයේ එකතු වන සෙම තත්ත්වය බිඳ දැමිය හැකි බව වෛද්‍ය වයිස් පවසයි.

“යුදෙව් පෙනිසිලින් කිසිවක් සුව නොකරනු ඇත, නමුත් එය ඔබට වඩාත් හොඳ හැඟීමක් ලබා දෙනු ඇත.”

සමහර පර්යේෂණවලට අනුව චිකන් නූඩ්ල්ස් සුප් ඖෂධයක් ලෙස වඩා හොඳින් ක්‍රියා කරයි. චෙස්ට් සඟරාව විසින් 2000 වසරේ දී සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූයේ එළවලු සහිත චිකන් නූඩ්ල්ස් සුප් මඟින් දැවිල්ල ඇති කරන සුදු රුධිරාණුවල ක්‍රියාකාරිත්වය අඩු වී යන බව යි. මෙම අඩු වීම සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණවලට දායක වේ. එබැවින් ඍජුව ම නැතත් වක්‍රාකාරයෙන් රෝගීන්ගේ අපහසුතාවන් අඩු කිරීම සඳහා සුප් වර්ග උපකාරී වන බව පෙනේ. අප ද කලක පටන් රෝගියෙකු බැලීමට යාමේ දී එළවලුවලින් හෝ සුප් කෝප්පයක් සාදා ගෙන යාමට උත්සාහ දරන්නේ එබැවින් විය හැකි ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.