Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සබ්රි, අධිකරණ ඇමති ද? මුස්ලිම් කටයුතු ඇමති ද? රට ට, හෙට කුමක් වෙයි ද?

සබ්රි රටේ අධිකරණ ඇමති ය. මේ දිනවල Hit එකය. සබ්රිම කියන විදිහට සබ්රි හැදුණේ සිංහල ජන සමාජය සමඟ මුසු වීය. පටු ජාතිවාදය ආගම්වාදය සබ්රිට අදාලම නැත.

පන්සිය පනස් ජාතකය කියවා, ධම්මපදය, සද්ධර්මරත්නාවලිය පෙරලූ සබ්රි හොඳ නරක හොඳින් දන්නා  නිවහල් චින්තනයක් ඇති මුසල්මානුවෙකු ලෙස සමාජයේ පෙනී සිටියේය.

සබ්රි පාර්ලිමේන්තුවට ආවේ ද සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද බලයට පින්සිද්ධ වන්නටය.

කට්ටිය කියන විදිහට ආණ්ඩුව පත් කළේ 69 ලක්ෂයක බහුතර සිංහල බෞද්ධ ඡන්දයකිනි.එබැවින් සබ්රිට ලැබුණු ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධුරය ද බහුතර  සිංහල බෞද්ධ ඡන්දයෙන් ලද එකකි.

අප දන්නා සබ්රි නීතිඥවරයෙකි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන්නට පෙර ඔහුට වැටී තිබූ  නඩු  හබ සියල්ලටම පාහේ පෙනී සිටි නීතිඥයා සබ්රිය.

රජය පැවරූ නඩු වල දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි සබ්රි අද රජයේ අධිකරණ ඇමති ය.

ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුනු මන්ත්‍රී අධිකරණ ඇමතිවරයෙකු බවට පත් කර තිබේ.

ඒ සඳහා බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි.

මේ සිද්ධිය දැක රට්ටුන් කියන්නේ  නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන කියමන සිහිවීමට මීටත් වඩා කදිම නිදසුනක් වර්තමානයේ හමු නොවන බවයි.

එය අතුරු කතාවකි.

ප්‍රධාන කතාව පටන්ගන්නෙ මෙතනිනි.

අධිකරණ ඇමති  සබ්රි , මුස්ලිම් අන්තවාදී කටයුතු ඇමති දැයි ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය අද රැස්වූ භික්ෂූන් කිහිප නමක් උස් හඬින් විමසනු ඇසුණි.

කරන කියන දේ අනුව එහිමියන්ට හිතෙන්නට ඇත්තේ එහෙමය.

එක රටක එක නීතියක්  රැකීමේ වගකීම ඇති අධිකරණ ඇමති දැන් කියන්නේ  මුස්ලිම් දේහයන් වැළලීමට නොහැකි වුවහොත්  මුස්ලිම් තරුණයන් නැගී සිටිය හැකි බවයි.

එසේ වුවහොත් අලි කෙළියක් සිදුවිය හැකි බවටත් නොකියා අනතුරු අඟවන අලි සබ්රි, ඉතා අපක්ෂපාතී සහ ස්වාධීන ලෙස වගකීමෙන් යුක්තවම දැරිය යුතු අධිකරණ අමාත්‍ය ධූරයේ  වගකීම පසෙකින් තබා, ජාතිවාදී මුහුණුවරකින් කටයුතු කිරීම ඉතා අශෝභන කිසිසේත් අධිකරණ අමාත්‍යවරයකුට නොගැලපෙන ක්‍රියාවකි.

මුස්ලිම් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. මහජන සෞඛ්‍යයට ගැටලුවක් නොමැති නම් ඔවුන්ගේ සිරුරු ආදාහනය කිරීම රටේ ආණ්ඩුක්‍රමයට පවා අනුකූල දෙයකි.

එබැවින් සබ්රි කළ යුත්තේ වහා ඒ සඳහා සෞඛ්‍ය නිර්දේශ ලබාගැනීමට අවශ්‍ය බලපෑම රජයට කිරීම විනා හොර පාරේ පැමිණ  බහුජාතික සහ බහු වාර්ගික රටක් තුළ තම ජාතිය වෙනුවෙන් පමණක් පෙනී සිටිමින් ඇඟ හිරිවැටෙන භීෂණයක් මැවීම නොවේ.

“මුස්ලිම් තරුණයන් අන්තවාදයට තල්ලු වුවහොත් බරපතල ගැටලු නිර්මාණය වෙතැයි” රටේ අධිකරණ ඇමතිවරයා පැවසීම ඇඟ හිරිවැටෙන භීෂණයක් නොවන්නේ ද ?

අන්තවාදයට තල්ලු වූ මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු විසින් 2019 වසරේ පාස්කුවේ දියත්කළ විප්ලවයක තරම ශ්‍රී ලාංකිකයන්ට අමතක නැත.

“රටක තිබෙන්නේ , එක නීතියක් බවත් ඊට අවනත වීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සියලූ පුරවැසියන්ට සිදුවන බවත් , එබැවින් ඔබලාට ද රටේ වර්තමානයේ පවතින තත්වය තුළ පනවා ඇති නීති පිළිපැදීමට සිදුවන බවත්” තම ජාතිය නියෝජනය කරන ජනතාවට කියා දෙන්නට මේ අධිකරණ ඇමති සූදානම් බවක් පෙනෙන්නට නැත. 

සබ්රිලාගේ වියත්මග, උගත්කම  ඇතුළු කඩතුරාවන් ඉවත්ව පටු ජාතිවාදී නග්න දේහය මතුවන විට රටේ නීතිය ගැන අධිකරණ පද්ධතිය ගැන පවා පුරවැසියන්ට සාධාරණ  බියක් ඇතිවීම පුදුමයක් නොවේ.

සබ්රිලාගෙන් ජනතාව බලාපොරොත්තු වූයේ සහරාන් පන්නයේ හැසිරීම් මරා දැමූ උගත්, බුද්ධිමත්, විවෘත ලෝකය සමග මිථ්‍යාවේ කඩතුරා බිඳදමමින්, ඉස්ලාම් ආගමෙහි ඇති  අගනාකම් ද සමගින් ජීවත්වන මිනිසුන් විනා රටේ පොදු නීතියටද අභියෝග කරන පුද්ගලයන් නොවේ.

සබ්රි මහතාට  තවත් කල් තිබේ. නැවත තමා කරන කියන දේ සිතා බැලීමට පුළුවන. අපි ඔබ ගැන දකින්නේ රටේ බහුතර පුරවැසියන් දකින අයුරිනි.

කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු සම්බන්ධයෙන් ඉස්ලාම් ආගමට අනුව  අවසන් කටයුතු සිදු කිරීමට කිසිදු කෙනෙකුගෙන් බාධාවක් සිදු නොවිය යුතුය.

නමුත් මළ සිරුරු භූමදානය කිරීම හරහා ජීවත් වන මිනිසුන්ගේ ජිවිතවලට අවදානමක් නොමැති බව තහවුරු විය යුතුය.

එමෙන්ම පිරිසකට විශේෂයක් කොට සලකනවාය යන දුර් මතයද සමාජයෙන් බැහැර විය යුතුය.බැහැර නොවන්නේ නම් බැහැර කළ යුතුය.

එවිට කොරෝනා ආසාදනය වී මියයන සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම අයෙකුගේ සිරුරක් වල දැමූවද, පුළුස්සා දැමුවද, මමි ගත කර තබා ගත්තද අපට කම් නැතැයි යන මතයේ බහුතර සමාජය සිටින බව මී මැස්සාට පසක් වී ඇත.

එබැවින් මොහොමඩ්ලා පමණක් නොව පියදාසලා , නඩේෂන් ලා  සියල්ල එකතු වී මේ මොහොතේ කළ යුතුව ඇත්තේ  රටේ ජනතාවගේ මනසෙහි එක එක කඳ පණුවන්ට ඉහඳ රෝපණය කරන්නට ඉඩ නොදී ජාතීන් අතර සමගිය ආරක්ෂා කර ගනිමින් එකාවන්ව මේ ව්‍යසනයට මුහුණ දීම සඳහා ශක්තිමත් වීමයි.

සබ්රි මහතාගෙන් අපට ඉල්ලීමට ඇත්තේ අධිකරණ අමාත්‍ය ධූරයේ වගකීම දරන ඔබ මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරයේ වගකීම සිදු කරන්නට යාම සුදුසු නොවන බවයි.

තවත් දෙයක් ලියන්නට තිබේ,

රටේ බහුතර ජනතාවට මිනී වලලනවාට වඩා වැඩ තිබේ.කුසට අහරක් නොමැතිව මල මිනී සේ ජීවත්වන වන දරු පවුල් නඩත්තු කරගැනීමට නොහැකිව එදා වේල හරි හම්බකරගත් පවුල් වල මිනිස්සුන් අද ⁣මැරි මැරී ජීවත් වෙති. පුද්ගලික ආයතන බොහෝමයක් වැසී යාමට ඔන්න මෙන්නය. ආණ්ඩුව ⁣ට ලවක් දෙවක් නොමැතිව කඩේ යන මාධ්‍ය හොරණෑ වල සහ ලොන්ඩරිවලින් මවා පාන ෆැන්ටසිය පොළවේ නැත.

ගෙවල් දොරවල් යාන වාහන,ඉඩකඩම් සින්න වෙලාය.දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්ය.හම්බවෙන්නේ පඩියෙන් සොච්චමක් වූවාට ගෙදර කෑම කන කටවල් ගණනත්, බඩවල් ගණනත් අඩු වී නැත.

රට ලෝකයට ණය වෙලාය.අපි නන්නත්තාර වෙලාය.

කොරෝනා හැම තැනමය. එකිනෙකා දවසින් දවස මැරී වැටෙයි.

නමුත් අද රටේ ඇති ලොකුම ප්‍රශ්නය මිනී වැලලීමය, නැතිනම් වලලන තුරු කූල් කර තැබීමය.

රටකට ගිය කළ ගැන ඇත්තේ කනගාටුවකි.

ඊටත් වඩා බරපතලම තත්වයට සහෝදර මුස්ලිම් ජනතාව මුහුණ දෙන සංවේදී තත්වයයි. ඔවුන්ගේ ආගමික අයිතිය එක එකාගේ කකුල්වලට මාරු කරන පා පන්දුවක් වී තිබේ.

බහුතර සමාජයේ වෛරයට,සමච්චලයට ඔවුන්ගේ ආගමික අයිතිය ලක්කර තිබේ.

මේ සියල්ලට විසඳුම් ලබා දිය යුතු පාලකයෝ  නාට්‍ය ජවනිකා නිර්මාණය කරමින් රටේ බරපතල ප්‍රශ්න අමතක කර දමමින් සිටී.

⁣සබ්රිලාද එහිම නළුවන් දැයි සිතේ.

කෙසේ වෙතත් අවසන් වශයෙන් ලියා තබන්නේ මෙය ජවුසන් නැටීමට කාලයක් හෝ අවස්ථාවක් නොවන බවයි.

අවශ්‍ය දේට අදාළ ලෙස වහා විසඳුම් ගත යුතුය.

කෙස් ගහේ වරදක් මහා ව්‍යසනයක ආරම්භයක් විය හැක.

ආණ්ඩුවට කීමට ඇත්තේ ආ මඟ කෙටී යා යුතු මඟ දුරයි, නුවනින් අවදියෙන් යා යුතුව ඇති බව පමණි.

© මී මැස්සා