Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සංචරණ සීමා ඉවත්කළ රටවල් වලට අද සිදුව ඇති දේ – බී.බී.සී ය වාර්තා කරයි

Israelis ditched face masks in June
ඡායාරූප ශීර්ෂ වැකිය,මුඛ ආවරණ පැළඳීම අනවශ්‍ය බව ඊශ්‍රායලය පසුගිය ජුනි මාසයේ නිවේදනය කළේය

කොරෝනා වසංගතය විසින් ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත බිලිගැනීම හේතුවෙන් වරින්වර විවිධ සීමාවන් පැනවූ බොහෝ රටවල් පසුව සමාජ දුරස්ථභාවය, සංචරණ සීමා සහ මුඛ ආවරණ පැළඳීම ඇතුළු සියලු සීමාවන් ඉවත් කළහ.

එහෙත් ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය මතුවීමත් සමඟ එසේ ඉවත්කරනු ලැබූ පියවර යළි හඳුන්වාදීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ.

පහත දැක්වෙන්නේ එවැනි රටවල හතරක මතු වූ තත්වය ගැන සංක්ෂිප්ත වාර්තාවකි.

ඊශ්‍රායලය

එන්නත්කරණ ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටි ඊශ්‍රායලය, එන්නත්කරණය සාර්ථකවීමත් සමඟ පසුගිය පෙබරවාරි මාසයේ ක්‍රමයෙන් සීමාවන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

ජුනි මාසය වනවිට ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමත් සමඟ මුඛ ආවරණ පැළඳීම පවා අත්හළ ඊශ්‍රායල වැසියෝ, සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ සමාන්‍ය දිවි පෙවෙත යළි ආරම්භ කළහ.

Israel reopened bars and restaurants in March
ඡායාරූප ශීර්ෂ වැකිය,පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලයේ තැබෑරුම් සහ ආපනශාලා විවෘත කිරීමට අවසර ලැබිණ

එහෙත් එවක් පටන් රටේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළයාමට පටන්ගත්තේය. මාස හතරක් තුළ වැඩිම ආසාදිතයන් පිරිස පසුගිය අඟහරුවාදා වාර්තා වූ නමුත් බලධාරීන් පවසන්නේ, රෝහල්ගත්කෙරෙන සහ අසාධ්‍ය තත්වයට පත්වන පිරිස සාපේක්ෂව ඉතා අඩු බවය.

කෙසේ වුවත් ආසාදිතයන් ඉහළයාම හමුවේ ඇතැම් සීමා යළි පැනවීමට අගමැති නෆ්ටාලි බෙනට්ගේ නව ආණ්ඩුව පියවර ගෙන තිබේ.

ජනතාව කොවිඩ් රෝගය සමඟ ජීවත්වීමට හුරුවිය යුතු බව පවසන ආණ්ඩුව, ගොඩනැගිලි තුළ පවා මුඛ ආවරණ පැළඳීය යුතු බවත් දැන් නිර්දේශ කරයි.

නෙදර්ලන්තය

රටවැසියන් වැඩි, වැඩියෙන් එන්නත ලබාගැනීමත්, ආසාදිතයන් සංඛ්‍යාව පහළ යාමත් හමුවේ, නෙදර්ලන්තය ජුනි මාසය අගභාගයේ බොහෝ සීමා ඉවත් කළේය.

සියලුම ස්ථානවලට පාහේ මුඛ ආවරණ පැළඳීම ද අවශ්‍ය නොවන බව තීරණය කළ ආණ්ඩුව, යළි සුපුරුදු ජීවන රටාව අරඹන මෙන් තරුණ පරපුර ද දිරිමත් කළේය.

The Netherlands has been forced to backtrack on its easing
ඡායාරූප ශීර්ෂ වැකිය,සීමා ඉවත්කිරීමේ පියවර ආපසු හැරවීමට නෙදර්ලන්තයට බල කෙරිණ

එහෙත් ඒ සමඟම ආසාදිතයන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගිය නමුත් රෝහල්ගත කිරීමේ වර්ධනයක් දක්නට නොලැබිණ.

විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගෙන් එල්ල වූ කර්කශ විවේචන හමුවේ, මුලින් නිවේදනය කළ සියලු පියවර ආපසු හැරවීමට අගමැති මාර්ක් රටී ගේ ආණ්ඩුවට සිදුවිය.

ඒ අනුව සීමා ඉවත්කිරීමෙන් සති කිහිපයකට පසුව, පසුගිය සිකුරාදා සිට නෙදර්ලන්තයේ බොහෝ සීමා යළි පනවනු ලැබ තිබේ.

සිය “වැරදි තීන්දුව” ගැන අගමැති මාර්ක් රටී (Mark Rutty) සමාව ඉල්ලා සිටි අතර, අලුතෙන් පනවන ලද සීමාවන් අගෝස්තු 13 වෙනි දින දක්වා බලපැවැත්වෙන බව ආණ්ඩුවේ නිල වෙබ් අඩවිය පවසයි.

දකුණු කොරියාව

කොවිඩ්-19 රෝගය පාලනය කිරීම සම්බන්ධ ආදර්ශමත් රටක් ලෙසින් දකුණු කොරියාව ලොව පුරා ප්‍රසාදයට පත්විය.

ඒ අනුව සීමාවන් ඉවත්කරමින් සුපුරුදු ජනජීවිතයට පිවිසුණ පළමු නැගෙනහිර ආසියානු රටක් බවට පත්වෙමින් දකුණු කොරියාව, එන්නත් ලබාගත් පුද්ගලයන්ට මුඛ ආවරණවලින් තොරව නිදහසේ හැසිරීමට සහ කුඩා පිරිසකට මුණගැසීමට පසුගිය ජුනි මාසයේ අවසර දුන් අතර, ආපනශාලා විවෘත කිරීමේ වේලාවන් ද ලිහිල් කළේය.

South Koreans have been asked to wear masks again
ඡායාරූප ශීර්ෂ වැකිය,යළි මුඛ ආවරණ පළඳින මෙන් දකුණු කොරියාවේ ආණ්ඩුව ජනතාවට උපදෙස් දුන්නේය

එහෙත් විශේෂයෙන්ම රටෙන් වැඩි පිරිසක් එන්නත ලබා නොමැති තත්වය තුළ, ආණ්ඩුව නිසි කලට පෙරාතුව සීමා ලිහිල් කරන බවට විශේෂඥයෝ අනතුරු ඇඟවූහ.

දැන් දකුණු කොරියාව එරටට බලපෑ දරුණුම කොවිඩ් වසංගතයට මුහුණ දී සිටී.

ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙසින් ඉහළයාමත් සමඟ රට පුරාම බොහෝ සීමාවන් යළි පැනවීමට ආණ්ඩුවට සිදුවිය.

ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරයාමත්, එන්නත ලබාදීමේ වේගය අඩාල වීමත් හමුවේ, වසංගතයට මුහුණදීමේ ආණ්ඩුවේ හැකියාව පිළිබඳ ජනතා විශ්වාසය දැඩිව බිඳ වැටී තිබේ.

ඔස්ට්‍රේලියාව

ලොව පුරා බොහෝ රටවල දැඩි සීමා පැනවෙද්දී, පසුගිය වසරේ වැඩි කාලයක් ඕස්ට්‍රේලියානු වාසීන් ගතකළේ එවැනි සීමාවලින් තොරවය.

නිරන්තරයෙන් කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ දින පැවති බැවින් මුඛ ආවරණ පවා අත්‍යවශ්‍ය නොවීය.

කිසියම් ප්‍රදේශයක කොරෝනාවෛරසය පැතිරෙන බව වාර්තා වූ වහාම බලධාරීහු එම ප්‍රදේශය ලොක්ඩවුන් කළහ. උදාහරණයක් ලෙස, එක් ආසාදිතයෙක් වාර්තාවීමත් සමඟ පසුගිය ජනවාරි මාසයේ පර්ත් නගරය දින පහකට වසා දැමිණ.

එහෙත් පසුගිය ජුනි මාසයේ ඩෙල්ටා ප්‍රභේදය සිඩ්නි පළාතේ පැතිරයාමත් සමඟ, රටේ විශාලම නගරය යළිත් ලොක්ඩවුන් කිරීමට ආණ්ඩුවට සිදුවිය. එය ජුලි මාසය අග දක්වාවත් පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.

ලොක්ඩවුන් කාලය තුළ පවා වෛරසය වේගයෙන් පැතිරයාම හේතුවෙන් පැනවූ සීමා තවත් දැඩි කිරීමට ආණ්ඩුවට සිදුවිය.

විශේෂයෙන්ම රටේ ජනගහනයෙන් 90% කට වැඩි පිරිසකට එන්නත නොලැබීම හමුවේ, සාමාන්‍ය ජනජීවිතය යළි ඇරඹීමට තවත් කලක් ගතවනු ඇති බව බලධාරීහු පවසති.

© බී.බී.සී සිංහල වෙබ් අඩවියේ පළවූ ලිපියක උපුටා ගැනීමකි

About The Author