Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වට්ස්ඇප් ඉන්දියාවට නඩු දමයි

වට්ස්ඇප් සමාගම විසින් හානිකර හැසිරීම් (spam) යනුවෙන් හඳුන්වමින් පසුගිය මාසය තුළ ඉන්දියානු පරිශීලකයින්ගේ ගිණුම් මිලියන 2ක් අවහිර (block) කරනු ලැබ තිබේ. මෙය එරට දැඩි නව තොරතුරු තාක්ෂණ නීති යටතේ ගන්නා ලද පළමු පියවර යි.

මැයි මාසයේ සිට බලාත්මක වූ නව නීතිරීති යටතේ, සමාජ මාධ්‍ය සමාගම් විසින් ඉන්දියානු පරිශීලකයින්ගෙන් තමන් හට කොපමණ පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත් ද යන්න සහ ඔවුන් ඒ සඳහා ගත් ක්‍රියාමාර්ග විස්තර කෙරෙන අනුකූලතා වාර්තාවක් සෑම මසකම ප්‍රකාශයට පත් කළ යුතුය. මෙම නීතිය අනුව අන්තර්ජාතික තාක්‍ෂණ සමාගම්වලට දේශීය වශයෙන් විධායකයින් බඳවා ගත යුතු අතර, ඒ අනුව අන්තර්ගතය නියාමනය කිරීමට සහ නීතිමය පැමිණිලිවලට ප්‍රතිචාර වශයෙන් කඩිනම් පියවර ගැනීමට අදාළ සමාගම්වලට හැකි වේ.

ෆේස්බුක් හරහා බලගැන්වෙන සුප්‍රසිද්ධ පණිවුඩකරණ මෘදුකාංගයක් වන වට්ස්ඇප් සමාගම පැවසුවේ මැයි 15 සිට ජුනි 15 දක්වා කාලය තුළ ඔවුන් විසින් අවහිර කර ඇති ගිණුම් මිලියන 2න් 95%කට වැඩි ප්‍රමාණයක් “ස්වයංක්‍රීය හෝ තොග පණිවුඩ අනවසරයෙන් භාවිත කිරීම හේතුවෙන්” තහනම් කර ඇති බවයි. එනම් එක ම පණිවුඩය බොහෝ දෙනෙකු වෙත යවන විට එය ස්පෑම් පණිවුඩයක් ලෙසින් අර්ථ ගැන්වෙන බව යි.

“2019 සිට මෙම සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති නිසා අපගේ පද්ධති කිසියම් ගැටලු කිහිපයකට මුහුණ පා තිබේ.” යනුවෙන් සමාගම බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.  “මතක තබා ගන්න, කිසිදු පරිශීලක වාර්තාවක් මත විශ්වාසය නොතබා අපි මෙම ගිණුම්වලින් බහුතරයක් කල්තියාම තහනම් කරමු.”

2018 දී, වට්ස්ඇප් සේවාව තීරණය කර තිබුණේ ඉන්දියාව තුළ ප්‍රචණ්ඩත්වයේ ප්‍රවණතාවයක් ඇති හෙයින් එරට වැසියන්ට පණිවිඩ යැවීමේ හැකියාව සීමා කිරීමට යි. කෙසේ වුවත් අදාළ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් ඔවුන් විසින් මසකට ලොව පුරා බිලියන 2ක පරිශීලකයන්ගේ ගිණුම්වලින් මිලියන 8ක් පමණ අවහිර කරන බව යි. ඔවුන් හට ඉන්දියාවේ පමණක් මිලියන 400කට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින අතර ඉන්දියාව ඔවුන්ගේ විශාලතම වෙළඳපොළ වේ. 

වට්ස්ඇප් යෙදවුම ඉන්දියාවේ නව නීතිරීතිවල සමහර අංශවලට අනුකූල වුව ද එක් අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ඉන්දීය රජයට නඩු පවරා ඇත.  ඉන්දියානු බලධාරීන්ට අවශ්‍ය වන්නේ සමාගම් විසින් පණිවුඩවල පළමු ආරම්භකයා සොයා ගැනීමයි.  එවැනි ඉල්ලීම් කරනු ලබන්නේ බරපතල අපරාධ සම්බන්ධයෙන් පමණක් බව රජය පවසා ඇත. එනමුත් වට්ස්ඇප් සමාගම පවසන්නේ සිය පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු කිසිවෙකුටත් හෙළි කිරීමට තමන් සූදානම් නැති බව යි. ඔවුන්නඩු පවරා ඇත්තේ ද ඉන්දියානු රජය මෙවැනි තොරතුරු ඉල්ලා තම සමාගම වෙත බලපෑම් කිරීම අයුතු බව පවසමිනි.