Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“සංඝරත්නය” පෙරට දමා මිනිසුන්ගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම හරිද?

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට පෙරේදා (28 වැනිදා) රාත්‍රි පැවැති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව පරිසර ඇමැති මහින්ද අමරවීර පැවසුවේය.

ඒ පරිසර අමාත්‍යාංශයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ය.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ පළාත් සභා මැතිවරණය පිළිබඳව මහා සංඝරත්නය දක්වන විරෝධතා සැලකිල්ලට ගෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කල් දැමීමට පක්ෂ නායකයන් තීරණය කළ බවද ඇමැතිවරයා කීවේය.

මෙය අපුරු පුවතකි. කොරෝනා අවදානම නොතකා 2019 වසරේ මහමැතිවරණය පැවැත්වූ ආණ්ඩුව දැන් කියන්නේ කොරෝනා අවදානම නිසා ඡන්ද පැවැත්වීම අපහසු බවය.

අනික් අපුරු කතාව මහා සංඝරත්නයේ විරෝධය නිසා ඡන්ද කල් දැමු බවය.

එහිදී යොදා ගන්නා මහා සංඝරත්නය යන වචනයම වැරදිය.

මහා සංඝරත්නය යනු බුද්ධ ,ධම්ම, සංඝ යන තුනුරුවනට අයත් විශාල කුලකයක් වන අතර එහෙන් මෙහෙන් එක් එක් දේශපාලන පක්ෂවලට ගැති, එක් එක් දේශපාලකයන්ගෙන් ලැබ සත්කාර ලබා ගන්නා, බුදුන් වහන්සේ දෙසු මග අමතක කොට අනුන්ගේ කොන්ත්‍රාත් ඉටු කරන සුළු සුළු භික්ෂු කණ්ඩායම් මහාසංඝරත්නය යන පොදු වචනයෙන් හැදින්වීමම බරපතලම වරදකි.

අනෙක් බරපතල කටයුත්ත වන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහා සංඝරත්නය පෙරට දමා උල්ලංඝනය කිරීමයි.

රටක ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කිරීමට මහාසංඝරත්නය තිය බුදුන්ටවත් නොහැකිය.

බුදුරජාණන්වහන්සේ ලොව පහලවූ ශ්‍රේෂ්ටතම ප්‍රජාතන්ත්‍රවාදීයාය, මහාසම්මතය ගරු කළ උන්වහන්සේ රාජ්‍ය නීතිය ගරුකළ කෙනෙකි.

යම් කිසි ලෙසකින් රටේ ආණ්ඩුක්‍රමය උල්ලඝනය කල යුතු යැයි යම් පිරිසක් රජයට බලපෑම් කරන්නේ නම් එයද වරදකි.

පළාත් පාලන ක්‍රමය සැබවින්ම ක්‍රියාත්මක තලයේදී සුදු අලියෙක් බව සමාජය හොදින් දන්නා කරුණකි.

නමුත් පළාත් සභා ක්‍රමය මෙරටට හදුන්වාදුන්නේ ඇයි ද යන්න පිලිබඳ අවබෝධය ඔය කයිවාරු ගසන කාට කාටත් අවශ්‍යය.

පළාත් සභා ක්‍රමය බලාත්මක කල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගොස් 13 + ලබා දෙන බවට උදම් ඇනූ ජනාධිපතිවරුන් ද වත්මන් ආණ්ඩුව තුළ අගමැතිකම් කරන බව කාට අමතක උනත් මී මැස්සාට නම් මතකය.

පළාත් සභා ක්‍රමය ඔය තරමටම අවුලක් නම් සුදු අලියෙක් නම් 13+ දෙන්නම් කිව්වේ ඇයිද යන්න සොයා බැලිය යුතුය.

මේ සියලු ජවනිකා අවසානයේ ජාතික වශයෙන් නොව ජාත්‍යන්තර වශයෙන් බරපතල අර්බුදයක් අපේ කර මත වැටෙන බව නම් සැකයක් නැත.

ඒ අනුව වහා සිදු කල යුත්තේ ඒ සඳහා විකල්පයක් හදුන්වාදීමට ව්‍යවස්ථාදායකය මැදිහත් විය යුතුය. නමුත් ඒ සියල්ලට පෙර ජනතාවගේ ජනතා පරමාධිපත්‍ය අයිතියට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය.

එසේ නොමැතිව අරයා කිව්වා, මෙයා කිව්වා, ජාත්‍යන්තරය කිව්වා, මහා සංඝයා කිව්වා කියා රටේ ආණ්ඩුක්‍රමය ට, නීතියට ,මැතිවරණ ක්‍රමයට පයින් ගැසීමට කිසිවෙකුට අයිතියක් නැත.

මේ යන විදියට ගිය හොත් ඉදිරියේදී ජනාධිපතිවරණ , මහමැතිවරණ පවා නොපවත්වනු ඇත.

මහා සංඝරත්නයේ account එකට දමා ඒකාධිපති පාලනයක් රට තුල නිර්මාණය කිරීමේ භයානක පෙර නිමිත්තක ආරම්භක සලකුණ මෙය විය හැක.

© මී මැස්සා