Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදනයේ පිය සලකුණ – එඩ්වින් ආරියදාස සූරීන් දිවි ගමන නිම කරයි

මෙරට කීර්තිමත් ආචාර්යවරයෙකු, ගත්කතුවරයෙකු, මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකුද වූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අද සිය දිවි ගමන නිම කළා.

මිය යන විට ඒ මහතා 99 වන වියේ පසු වුණා.

එතුමන් සතු දැනුම සහ මතක ශක්තිය හේතුවෙන් “ඇවිදින පුස්තකාලය ” ලෙසින්ද ඇතැම් අය එතුමන් හදුන්වදීමද විශේෂත්වයක්.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා ජනමාධ්‍ය විෂය මෙරට අධ්‍යාපන පද්ධතියට හදුන්වාදීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරනු ලැබුවා.

ඒ 1968 – 69 වසර වලදී දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලය හරහා “පුවත්පත් කලාවේදය” නමින් දෑ අවුරුදු පාඨමාලාවක් හදුන්වා දෙමින්.

එවකට අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ I.M.R.A ඊරියගොල්ල මහතා සමග එක්ව එතුමන් මේ සඳහා පුරෝගාමී වී තිබුණා.

ඉන් අනතුරුව 1971කැරැල්ලෙන් පසු විශ්වවිද්‍යාල සඳහා වෘත්තීය පාඨමාලා හදුන්වාදෙන අවස්ථාවේදී ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සන්නිවේදන විෂය එක කිරීමට පුරෝගාමී වන්නේද එඩ්වින් ආරියදාස මහතායි.

ඒ අනුව 1973 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලය තුළ ‘‘ජනසන්නිවේදන අධ්‍යයන අංශය’’ නිර්මාණය කෙරෙන අතර ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් පත්කරන ලද විද්වත් කමිටුව නියෝජනය කරන්නටද ආරියදාස මහතාට සිදුව තිබෙනවා.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් අතරට මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ආදී වියතුන් රැසක්ද ඇතුලත් වුණා.

එමෙන්ම එහි ආරම්භක කථිකාචාර්ය වරයෙකු ලෙසද ආරියදාස මහතා කටයුතු කර තිබෙනවා.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙබවුවා.

ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.