Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ සඳහා ක්‍රීඩා, සෞඛ්‍ය, තරුණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගය ලබා ගෙන අදාළ නව වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

2022 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (03) පෙරවරුවේ සංවිධානය කර තිබූ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

විවිධ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතාවයන් රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින අඩු පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සොයා බලා එම අංශයන්හි පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බව ද පැවසීය.