Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වික්ටර් අයිවන් ලවා චෞර රැජින ලියෙව්වේ බැසිල් ද ? Mee Massoo TV කතාවට වික්ටර් උත්තරයක් ලියයි : මාධ්‍ය පාඩමකුත් කියයි 

Mee Massoo TV ප්‍රති උත්තරය සමඟින් වික්ටර් අයිවන් මහතා Whatsapp ඔස්සේ මුදා හැර ඇති සම්පුර්ණ ලිපිය මෙන්න

සියල්ල කතා කිරීමට පෙර මෙම ප්‍රස්තුතය සඳහා හේතු වී ඇති අදාළ සම්මුඛ සාකච්ඡාවට අදාළ අන්තර්ජාල සබැඳිය – https://youtu.be/wprQq0mX4Pg මෙසේ පල කිරීමට අප කටයුතු කර ඇත.

එයට අදාළව වික්ටර් අයිවන් මහතාගේ ප්‍රතිචාරය 

සිංහයා සහ ගවයා –  වික්ටර් අයිවන්

මාධ්‍යවේදී වික්ටර් අයිවන් – චෞර රැජින ග්‍රන්ථයේ කතෘ

මෙය වාර්තාකරණය පිලිබදව ලියන සටහනකි.

මෙම සටහන ලියන්න්ට බලපෑ නිමිත්ත වනුයේ ” මී මැසි පවුර ටී.වී” යන නමින් අලුතෙන් ඇති කොට ගෙන අන්තර් ජාලයේ පවත් වාගෙන යන නාලිකාවක් ( වෙනසක් වෙනුවෙන් පෙනී සිටින) සමාජ ගත කර තිබෙන වීඩියෝ පටයකි.

මෙම වීඩියෝ පටයට ඇතුලත් වන්නේ මෙම නාලිකාව වෙනුවෙන් කල්ප ගුණරත්න හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු යැයි කියා ගන්නා බොරු කාරයෙකු බව බැලූ බැල්මට පෙනෙන පුද්ගලයෙකු සමග කරන දීර්ග සම්මුඛ සාකච්ඡාවකි ” 

මහා කුමන්ත්‍රනයක් හෙළිවෙයි” ” හිටපු ගුවන් හමුදා නිලධාරි කීර්ති රත්නායක සියල්ල පාපොච්චාරණය කරයි. “යන්න එම වීඩියෝවට යොදා තිබුන මාතෘකාව හා කෙටි හැදින් වීම විය.

එහි යටින් එය තවදුරටත් හදුන්වා තිබුනේ “රටක් උඩු යටිකුරු කළ මහා කුමන්ත්‍රනය: හිටපු හමුදා නිලධාරියෙකු සියල්ල පාපොචාරනය කරයි” මී මැසි පවුරේ කල්ප ගුණරත්න තමන් සාකච්ඡාවට ලක් කරන පුද්ගලයාට හා ඔහු කියන කතා වලට ලබාදී තිබෙන ජාතික වැදගත් කමේ ප්‍රමානය එයින් තේරුම් ගත හැකිය.

හමුදා නිලධාරියෙකු යැයි කියාගන්නා මේ පුද්ගලයා එම සාකච්චාවේදී මා ගැනද කතා කර තිබේ.

වීඩියෝ පටයේ පිට කවරයට මගේ ජායාරූපයක් ද යොදන්නට ඇත්තේ මා ගැන ඔහු කියන කතාවලට ලබා දිය යුතු වැදගත්කම ගැන සලකා විය යූතූය.

චෞර රැජින පොත ලියන්නට ඔහු ද කරුනු දුන් බවත් එය මා විසින් ලියන ලද්දේ මහින්ද රාජපක්ෂ බලයට පත් කීරීමේ අරමුනින් බැසිල් රාජපාක්ෂ ගේ වුවමනාව අනුව බවත ඔහු එහි කියා තිබේ.එය එම පොතේ කතාවට අයිතිවාසිකම් ඉදිරිපත් කරන දෙවන පුද්ගලයායමීට දේශකයෙකුගේ පුතෙක් ද පොතේ තිබෙන කතාව මට කියා දුන්නේ ඔහු විසින් බව කියා තිබුනි.

ඔහු එහි කියා තිබෙන අන්දමට සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ඉක්බාල් අතාස්ගේ කටට පිස්තෝලයක් තියා මරන තර්ජනය කළ පුද්ගලයාද ඔහුය.

මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන කල්ප ගුණරත්න කීර්ති රත්නායක අමතා විටින් විට කියන්නේ ඔහු කියන දේවල වගකීම ඔහුම බාරගත යුතු බවත් තමන් බාර ගන්නේ නැති බවත් තමන් කරන්නේ මහජනයාට දැන ගතයුතු කරුනු වාර්තා කිරීමක් පමණක් බවය. 

ඒ ගැන ඔහු කියා තිබෙන ඒ දෙයින් පමණක් වුවත් ජනමාධ්‍ය මූලික නියාය ධර්ම ගැන ඔහුට තිබෙන අවබෝධයේ තරම පෙන්නුම් කරයි. වාර්තාකරණයකදී එය පළ කරන්නට පෙර එහි අඩංගූ කරණුවල සත්‍යතාව නිෂ්චය කිරීම සදහා සියලු සාධාරණ ක්‍රියා මාර්ග ජනමාධ්‍යවේදියා උපයෝගිකර ගත යුතුය.

වාර්තාකරණයේදී අනුගමනය කල යුතු තවත් වැදගත්ම මූල ධර්මයක් වනුයේ චූදිතයාට පිලිතුරු දීමට ඉඩක් නොදී ඔහූගේ ගෞරවයට හෝ චරිතයට හානිකරන දේවල් වාරතා කිරීමෙන් වැලකී සිටීමය.

රත්නායක මා ගැන කියන දේ වාර්තා කරන්නට පෙර ඒ ගැන මට කියන්නට තිබෙන්නේ කුමක් දැයි මගෙන් අසා දැන ගැනීමේ යුතු කමක් හා වගකීමක් ගුණරත්නට තිබුනි.

අනෙක් අතට ජනමාධ්‍ය වේදියෙකුට තිබිය යුතු තියුනු ලෙස කරුනු සලකා බැලීමේ හැකියාව ඔහුට තිබුනේ තමන් සමග කතා කරමින් සිටින්නේ ලුම්පන් පන්නයේ බොරු කාරයෙකු. බව පහසුවෙන් හදුනා ගන්නට හැකි වන්නට ඉඩ තිබුනි.

මේ කීර්ති රත්නායකගේ නියම ස්වභාවය ගැන විමර්ශනයක් සිදු කිරීම මේ පුද්ගලයා කර තිබෙන කතා ආශ්‍රයෙන්ම කළ හැකිය. ඔහු ලියන්නේ ඔහු ගේ නම සමග ගුවන් හමුදාවේ බුද්දි නිලධාරි යන යෙදුමද  යොදා ගනිමිනි. 

එහෙත් ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කල විට ඔහු කියන්නේ තමන් බුද්ධි අංශයට සම්බන්ධ කෙනෙකු නොවන බව කියමින් ඔහු කියන්නේ ඒ යෙදුම යොදාගත්තේ කාගේ හෝ උපදෙස් මත තමන් ලියන දේවලට පිලිගැනීමක් ලබාගෑනීම සදහා බවය.

දැන් අපිට ඔහු ඉක්බාල් අතාස් සිද්ධිය ගැන ඔහු කියන කතාවට යා හැකිය. ඔහූ කියා තිබෙන ආකරයට ඉක්බාල්ගේ කටට පිස්තෝලය තැබූ පුද්ගලයා ඔහුය.

ගුවන් හමුදාවේ පුද්ගලයින් කිහිප දෙනකු ඉක්බාල්ගේ නිවසට කඩා වැදි මරණ තර්ජන එල්ල කරන ලද්දේ 1998 පෙබරවාරි 12 වැනි දාය.

ඒ සිද්ධියෙන් පසු ඉක්බාල් බලන්නට ගිය පළමු ජනමාධ්‍යවේදීන් දෙදෙනා වූයේ රොයිටර් පුවත් සේවයේ වරුණ කරුණාතිලක හා මා ය.

මේ සිද්ධියේදී නිවසේ ඉහල මාලයට පැමින ඉක්බාල්ගේ කටට නොව ඔලුවට පිස්තෝලයක් තබා තර්ජනය කල ගූවන් හමුදා නිලධාරින් දෙදෙනා (එච් එම් රුක්මන් හේරත් හා ඩි.එස් ප්‍රසන්න කන්නන්ගර) උසාවියේ හදුනාගැනීමේ පෙරට්ටුවේදී ඉක්බාල් හා ඔහූගේ බිරිද විසින් හදුනා ගන්නා ලද අතර 2002 වසරේ දී එම දෙදෙනා චෝදනා වලට වරද කරුවන් කොට වසර 9 බැගින් වන සිර දඩුවමක් ලබා දෙන ලදී. 

තමා ඉක්බාල් ගේ කටට පිස්තෝලයක් තබා තර්ජනය කල බවට මේ පුද්ගලයා ගුණරත්නට කියන කතාව තමන් වෙත වැදගත් කමක් අරෝපනය කර ගැනීම සදහා කියන ලද දාර පචයක් බව ඒ අනුව තේරුම් ගත හැකිය.

අපේ ජනමාධ්‍යවේදියාද ඔහු ගේ පචවල පහසු ගොදුරක් බවට පත්වේ.

එම සිද්දියේදී රත්නායක ගේ බොරුව සනාත කිරීම සදහා ඉදිරිපත් කල හැකි ඊලග සාදකය වනුයේ ඉක්බාල්ගේ සිද්දිය 1998 පෙබාරවාරි 12 වනදා සිදුවන විට මේ රත්නායක ගුවන් හමුදාවට එකතුවී තිබෙන්නේද එම වසරෙම වීමය.

ඔහු ගුවන් හමුදාවේ ලොකු නිලධාරියෙකු සේ පෙනී සිටින්නට උත්සහා කලත් බැලූ බැල්මට පෙනෙන්නේ ඔහු ගුවන් හමුදාවේ සිටි කාලය වසර දෙක තුනක් වත් නැති තරම් බවය.මේ පුද්ගලයාව ගුවන් හමුදාවෙන් ඉවත් කලේ ඇයිද කියන ප්‍රශ්නය ගුණරත්න අපට පැහැදිලි කරන්නේ නැත.යුධ හමුදා පුහුණුවෙන් පසු පතාලයට එකතු වූ අය කොතෙකුත් සිටිති.

මේ රත්නායකද නාමල් කුමාර වැනි චරිතයක් ලෙස සැලකිය හැකිය.

චෞර රැජින පොත ගැන ඔහු කියන්නේ මා එය ලීවේ බැසිල් රාජපක්ෂගේ වුවමනාව මත මහින්ද බලයට පත් කිරීමේ අරමුනින් බවය.

මා එම පොත ප්‍රකාශයට පත් කලේ 2006 සැත්තැම්බර් මාසයේදීය.මහින්ද රාජපක්ෂ බලයට පත්වූයේ 2005 නොවැම්බර් 17 වනදා පැවති ජනාධිපතිවරනයෙනි.

චෞර රැජින පොත හා මහින්ද ගේ බලයට පත්වීම අතර කිසිම සම්බන්දයක් තිබිය නොහැකි බව ඉන් හොදින් පෙනී යයි.

මේ පුද්ගලයාව ප්‍රස්න කරන ගුණරත්න අඩුම තරමින් චෞර රැජින පොත පලවූ යේ කවදාදැයි එම පොතේම එන කරුණු අනුව හෝ සොයා බැලුවේ නම් මේ පුද්ගලයා එහිදී කියන්නේ පචයක් බව පහසුවෙන් තෙරුම් ගත හැකි වන්නට ඉඩ තිබුනි. 

එහෙත් ඔහු ඒ තරමට වත් වග කීම් සහගත වන්නේ නැත.ඒ.එච්. එම් අස්රොෆ්ගේ ගුවන් අනතුරේ තොරතුරු මට ලබා දුන්නේ ඔහු බවද ඔහු කියයි.

එසේම වෙඩි නොවදින BMW වාහන වලට අදාල කතාව මට කියන කටුනායක ගුවන් හමුදා කදවුරේ ප්‍රධානියා ලෙස ක්‍රියා කල ආර්.ඒ ආනන්ද මා හදුනා ගන්නේ ඔහු මගින් බවද ඔහු කියයි.

ගුණරත්න එම පොත කියෙව්වේ නම් ආනන්ද මට හමුවන ආකාරය හා එම සංවාදය සිදුවන අකාරය තේරුම් ගැනීම මගින් මේ පුද්ගලයා පචයෙක් බව පහසුවෙන් හදුනාගැනීමට හැකිවන්නට ඉඩ තිබුනි.

” චෞර රැජින ” මා ලියු එකම පොත නොවේ. ලියන ලද පොත් ලොකු ගණනක් අතරින් එකක් පමණය. මට චන්දිරිකා සමග ගැටුමක් තිබුනේ ඇගේ පාලනයේ අවසාන කාලයේ නොව 1997 පැවති පලාත් පාලන මැතිවරණයත් සමගය.

1999 මුලදී පැවති වයඹ පළාත් සභා ඡන්ද මංකොල්ලයෙන් පසුව මාගේ සමහර ප්‍රසිද්ධ ලේඛනවල මා ඇය හැදින්වූයේ ” ප්‍රාජාතන්ත්‍රවාදි වෙස් මුහුණු පැලදගෙන මහජනයා මුළා කොට බලයට පැමිනි චෞර නායිකාව” වශයෙනි. ඇගේ ධූර කාල දෙක අවසන් වීමෙන් පසු තව දුරටත් ඇය දේසපලන වශයෙන් පරාජය කිරීමක් අවශ්‍ය නොවූ අතර මට ඇය ගැන පොතක් ලිවීම අවශ්‍ය වූයේ මට තිබුන අත්දැකීම අනුව රටේ යහපත පිණිස එසේ කල යුතුයැයි මට සිතුන නිසාය.

මා අගවිනිසුරු සරත් සිල්වා ගැන ලියන ලද පොතද  එවැනි අභියෝගාත්මක පොතකි.

මා 2005 මැතිවරනයේදී මහින්දට හෝ වෙනත් කෙනෙකුට උදව් කලේ නැත. පුවත් කතුවරයෙකුට විවිධ පුද්ගලයන් කතා කල හැකිය.

දුරකතනයෙන් කතා කළ හැකි සේම මා සිටින කාර්යාලයට පැමිණ ද කතා කල හැකිය. මේ රත්නායකද ඒ අකාරයට මා හමුවූවා විය හැකිය.

මේ විඩියෝ පට සිද්ධියේ කීර්ති රත්නායකගේ භූමිකාව ගැන මට ප්‍රශ්නයක්  නැත. මට ප්‍රස්නයක් වී තිබෙන්නේ යහපත් වෙනසක් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක් කරලියට ගෙනා මෙම නාලිකා මෙම නිෂ්චිත ප්‍රශ්නයේ දී රගපෑ භූමිකාව ගැනය.

කිසිම වැඩකට නැති රස්තියාදු කාර හා ලුම්පන් චරිතයට මේ සා විශාල වැදගත් කමක් ලබා දීමට මේ නාලිකාව අවශ්‍ය වුයේ ඇයි දැයි මට හිතා ගත නොහැකිය.

වික්ටර් අයිවන් කෙනෙකුට ඉන්න ඉඩ දෙනවාට වඩා ඔහු නැති භංග කොට කීර්ති රත්නායක වැන්නෙකු ශක්තිමත් කිරීම රටේ යහපතට හේතු වනු ඇතැයි එම නාලිකාව කල්පනා කළේ ඇයි? මට 1789 දී සිදුවූ ප්‍රංශ විප්ලවය සිහියට නැගෙන්නේය.

ජෙකෝබියන් වාදයේ අදුරු සෙවනැලි  ලංකාවෙත් අරක් ගනිමින් තිබෙන්නේද?

ගවයෙකු වුවද සිංහයෙකුට ඇන්ද විය හැකිය.නාලිකාවකටද එසේ කළ හැකිය.එහෙත් ඒ ක්‍රමයට මිනිසුන් රැවටිය හැක්කේ ඉතාමත් කෙටි කාලයකට පමණය. 

සිංහ වෙස් ගත් ගවයා උම්බෑ කියා හඩනගන මොහොතේ සිට ඒ බොරුවද අවසන් වන්නේය.

© වික්ටර් අයිවන්

………………………………..

ඒ මෙරට ‌‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ ප්‍රතිචාරයයි.

මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු ලෙස සහ නිවේදකයෙකු ලෙස අදාළ වැඩසටහනේදී භූමිකාවට පණ පොවන අප වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධ පිළිතුරයි.

‌‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාට අනුව අප අදාළ සම්මුඛ සාකච්ඡාව සිදු කර ඇත්තේ ලුම්පන් පන්නයේ බොරු කාරයෙකු සමඟය.

අයිවන් මහතාගේ අදාළ කරුණට පිළිතුරු සපයමින් ඔහුට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කළ යුතු බව අපගේ අදහසයි.

යම්කිසි පුද්ගලයෙකුට කිසිදු වැදගැම්මකට නැති ලුම්පන් පන්නයේ බොරුකාරයකු යයි  චෝදනා කිරීම  ඔහුට හැකි වුවද  අප  අදාළ සම්මුඛ සාකච්ඡාව සඳහා  කීර්ති රත්නායක මහතා තෝරා ගන්නේ  විශේෂිත හේතු කාරණා කිහිපයක් තිබූ නිසා බව මතක් කර දීමට මෙය අපි අවස්ථාවක් කර ගනිමු.

කීර්ති රත්නායක යනු පසුගිය වසරේ  අගෝස්තු මස  15 වැනි දා  ඉන්දියානු  නිදහස් දිනය දා  මෙරට පිහිටි  ඉන්දීය තානාපති කාර්යාලය   ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බව  පැවසීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්ව, එයට අදාල ප්‍රශ්න කිරීම් වෙනුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස අටකට ආසන්න කාලයක්  රැඳවුම් භාරයේ සිටි පුද්ගලයෙකි.

අනෙක් කරුණ වන්නේ ඔහු ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රවේශවීම අවහිර කොට ඇති  වෙබ් අඩවියක වාර්තාකරුවෙකු ලෙස ආන්දෝලනාත්මක අනාවරණයන් රැසක් සිදුකළ මාධ්‍යවේදියකු වීමයි.

රටේ ජනාධිපතිවරයා, ආරක්ෂක ප්‍රධානීන්, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්  ඇතුළු  බොහෝ දෙනෙකු සම්බන්ධයෙන්  ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති වාර්තා රැසක්  ඔහු විසින් මාධ්‍යවේදියකු ලෙස  වාර්තා කර තිබේ.

ඒ අනුව  වික්ටර් අයිවන් මහතා පවසන ආකාරයෙන්  ඔහු කිසිදු වැදගැම්මකට නැති  ලුම්පන් පන්නයේ රස්තියාදුකාර බොරුකාරයකු ලෙස  හැඳින්විය හැකි ද?

එබැවින් වැදගත් යමක් අවධාරණය කළ යුතුය අපට පුද්ගලිකව කීර්ති රත්නායකගේ හෝ  වික්ටර් අයිවන්ගේ හෝ  සුජාත භාවය පිළිබඳව  ගැටළුවක් නැත.

එය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් ද  අපට නැති බව ද  අවධාරණය කරමු.

යම් පුද්ගලයෙකු ඔහු පවසන කරුණ පිළිබඳ වගකීම දරමින් යම් ප්‍රකාශයක් සිදු කරයි නම් ඒ සම්බන්ධ වගකීම දරන්නේ ඔහු මිස අප නොවන බව වික්ටර් අයිවන් මහතාට නොතේරීම පුදුමයකි.

අනෙක් කරුණ වන්නේ අදාළ සම්මුඛ සාකච්ඡාව පළ කිරීමට පෙර  අප විසින්   කීර්ති රත්නායක මහතා  පළකරන  කරුණු පිළිබඳ වික්ටර් අයිවන් මහතාගේ   ප්‍රතිචාරය නොවිමසීම සම්බන්ධයෙන් ඔහු සිදුකර ඇති චෝදනාවයි.

මෙලෙස සම්මුඛ  සාකච්ඡාවක් සම්බන්ධයෙන් වික්ටර් අයිවන් මහතා ඉදිරිපත් කරන  සහ කියා දීමට  උත්සාහ දරන  ජනමාධ්‍යයක මූලික න්‍යාය ධර්ම  පිළිබඳ මෙම කොටස  නැවත   ඔබගේ අවධානය සඳහා උපුටා දක්වමු.

“ මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන කල්ප ගුණරත්න කීර්ති රත්නායක අමතා විටින් විට කියන්නේ ඔහු කියන දේවල වගකීම ඔහුම බාරගත යුතු බවත් තමන් බාර ගන්නේ නැති බවත් තමන් කරන්නේ මහජනයාට දැන ගතයුතු කරුනු වාර්තා කිරීමක් පමණක් බවය.

ඔහු කියා තිබෙන ඒ දෙයින් පමනක් වුවත් ජනමාධ්‍ය මූලික නියාය ධර්ම ගැන ඔහුට තිබෙන අවබෝදයේ තරම පෙන්නුම් කරයි. වාර්තාකරණයකදී එය පළ කරන්නට පෙර එහි අඩංගූ කරණුවල සත්‍යතාව නිෂ්චය කිරීම සදහා සියලු සාධාරණ ක්‍රියා මාර්ග ජනමාද්‍ය වේදියා උපයෝගිකර ගත යුතුය.

වාර්තා කරණයේදී අනුගමනය කල යුතු තවත් වැදගත්ම මූල ධර්මයක් වනුයේ චූදිතයාට පිලිතුරු දීමට ඉඩක් නොදී ඔහූගේ ගෞරවයට හෝ චරිතයට හානිකරන දේවල් වාර්තා කිරීමෙන් වැලකී සිටීමය.

රත්නායක මා ගැන කියන දේ වාර්තා කරන්නට පෙර ඒ ගැන මට කියන්නට තිබෙන්නේ කුමක් දැයි මගෙන් අසා දැන ගැනීමේ යුතු කමක් හා වගකීමක් ගුණරත්නට තිබුණි ”

‌‌ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සහ ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය යනු  කරුණු දෙකක් බව  අමතක වී ඇති දැයි සිතේ.

යම්කිසි  මාධ්‍යයක් හරහා අනාවරණය කරන කරුණු ඔස්සේ  යම්කිසි පුද්ගලයකුගේ  ගෞරවයට හෝ කීර්ති නාමය අගතියක් සිදු වන්නේ නම්  වික්ටර් අයිවන් මහතා පවසන අයුරින්  චූදිතයන්ට පිළිතුරු ලබා දීමේ අයිතිය  වික්ටර් අයිවන් මහතා විසින්ම රචිත ආන්දෝලාත්මක කෘතිවලදී  ඊට   ප්‍රස්තුත පුද්ගලයන්ට  ලබාදුන්නාද යන්න  ඔහු රටට හෙළි කළ යුතුය.

නිදසුනක් ලෙස මෙරට හිටපු ජනාධිපතිවරියක සහ කාන්තාවක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින්   වික්ටර් අයිවන් මහතා රචනා කළ  චෞර රැජිණ   කෘතිය ප්‍රකාශයට පත් කිරීමට පෙර අදාල කෘතියෙහි චූදිතයා බවට පත්ව සිටි හිටපු ජනාධිපති  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අමතා  වික්ටර් අයිවන් මහතා විසින්  චුදිතයින්ට ඇති පිළිතුරු ලබා දීමේ අයිතිය  අනුව කටයුතු කළේද යන්න ප්‍රශ්නයකි.

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා ට ඒ අවස්ථාව ලබාදුන්නාදැයි අප නොදනිමු.

අදාළ පොත් වල අන්තර්ගත වන්නේ ඔහු විසින්ම අනාවරණය කරන තම පුද්ගලික ප්‍රකාශයන් සහ හෙළිදරව් කිරීම් ලෙස වගකීම දරමින් ප්‍රකාශිත කරුණුය.

මාධ්‍යවේදියෙකු ලෙස කරුණු හෙළිකරනු විනා තමන්ට තොරතුරු ලද මුලාශ්‍රය හෙළි කිරීමෙන් වැළකීමට ඔහුට හැකිය.

ඒ කෙසේ වෙතත් එහිදී තමන් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් වගකීම දැරීමටත් තමන් විසින් ප්‍රකාශයට පත් කරන කරුණු වෙනුවෙන් පෙනී සිට ඒවා තහවුරු කිරීමටත් මාධ්‍යවේදියාට සිදු වේ.

නමුත් සම්මුඛ සාකච්ඡාවක් යනු වෙනම ආකෘතියකි. 

එහිදී තොරතුරු මූලය නිවේදකයා ඉදිරිපිට සියල්ලන්ටම පෙනෙන්නට අසුන් ගෙන සිටි.  

කරුණු අනාවරණය කරන්නේ තොරතුරු මුලයයි.

නිදසුනක් ලෙස සුර්යයා වටා නොව පෘතුවිය වටා සෙසු ග්‍රහලෝක භ්‍රමණය වන්නේ යැයි අදාළ සම්පත් දායකයා පවසනවා නම් නිවේදකයාට තමන් දන්නා කරුණු කියමින් ඔහු සමඟ තර්ක කිරීම හෝ නොකිරීම හෝ තෝරා ගත හැක.

නැති නම් අදාළ පුද්ගලයා වගකීම දරමින් දිගින් දිගටම පවසන එකී කරුණ සමාජයට නිදහස් වන්නට ඉඩ දී විද්‍යාත්මක කරුණු ඔස්සේ එම ප්‍රකාශය සමාජය ඉදිරියේ වැරදි හෝ නිවැරදි හෝ වීමට අවකාශය සැලසිය හැකිය.

ඇතැම් විටක නිවේදකයාගේ තර්කයට වඩා සම්පත් දායකයාගේ ඉදිරිපත් කිරීම ප්‍රබල විය හැක.

එනයින් මාධ්‍ය මගින් නඩු අසා විසදුම් ලබා දෙන ක්‍රමයක් නිවැරදි සහ ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍යකරණයක් තුළ තිබිය නොහැකි බව අපගේ විශ්වාසයි.

එහිදී අපගේ සම්පත් දායකයාගේ අදහස් ප්‍රකාශනයේ ඇති අයිතියට ගරු කිරීමට අපට යුතුකමක් තිබේ.

එමෙන්ම ඒ හරහා තවත් පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතියටද අප ගරු කළ යුතුය.

ඉහත සිදුවීමේදී  වික්ටර් අයිවන් මහතා කළ යුතු වන්නේ අදාළ අන්තර්ජාල අවකාශයම භාවිත කොට එයට පිළිතුරු දීම හෝ අදාළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීම පමණක් බව අපගේ විශ්වාසයයි.

එවැනි ඕනෑම කටයුත්තකදී ඒ සඳහා අපි ද අපගේ උපරීම දායකත්වය ලබා දෙන බව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේදී සම්මුඛ සාකච්ඡාව සඳහා සම්බන්ධ වන සම්පත්දායකයා ප්‍රකාශ කරන කරුණු සම්බන්ධයෙන් වන වගකීම  ඔහු විසින් දැරිය යුතු බව  විශේෂයෙන් මතක් කළ යුත්තක් නොවේ. නමුත් එය අප විසින් අදාළ වැඩසටහෙන්දී එය නැවත නැවත මතක් කරන්නේ මෙම හෙළිකරන කරුණු යම් යම් පුද්ගලයින්ට ඉතා සංවේදී ලෙස බලපාන බැවිනි.

අනෙක් කරුණ වන්නේ  මෙම සාකච්ඡාව අවසානයේදී මෙන්ම ආරම්භයේ දී ද  මතු වන කරුණු සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අදාල නම් සඳහන් පාර්ශවයන් වෙත මාධ්‍ය අවකාශය වෙන් කර දෙන බව  අප පැහැදිලිව අවධාරණය කර තිබේ.

ඒ අනුව  අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධ කරුණු පිළිබඳ ප්‍රතිචාර දැක්වීම සඳහා අප විසින් සාධාරණ සහ යුක්ති ගරුක ලෙස  අවස්ථාව සලසා දී ඇත.

අදාළ ඕනෑම පුද්ගලයෙකුට අදටත් දැනටත් එම අවස්ථාව තිබේ.

සාමාන්‍යයෙන් ගවේෂණශීලී වාර්තාකරණයක දී මෙන් නොව සජීවීව පටිගත කෙරෙන  සම්මුඛ සාකච්ඡාවක් තුළ නම් සඳහන් වන පුද්ගලයන්ට  ප්‍රතිචාර දැක්වීම සඳහා  අදාළ සම්මුඛ සාකච්ඡාව තුළ දී අවස්ථාවක් නොලැබෙන බව වික්ටර් මහතාට අවබෝධ නොවීම  කනගාටුදායක කරුණකි.

වික්ටර් අයිවන් මහතාගේ පිළිතුරු ලිපියෙහි වැඩි ඉඩක් වෙන් කොට ඇත්තේ ඉක්බාල් අතාස් මහතාට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කළ බව පැවසෙන සිදුවීම පිළිබඳ කතා කිරීමටය.

එමෙන්ම අදාළ සිද්ධිය පිළිබඳ කීර්ති රත්නායක මහතා පවසන සිදුවීම සහ වික්ටර් අයිවන් මහතා පවසන සිදුවීම අතර ද යම් පරස්පරයක් ඇති බවද පෙනෙන්නට තිබේ.

කීර්ති රත්නායක පවසන්නේ 2006 වසරේ ඉක්බාල් අතාස් මහතාට සහ ඔහුගේ ඉංග්‍රීසි ලිපි සිංහල බසට පරිවර්තනය කළ ඩබ්ලිව්. ජී  ගුණරත්න මහතාට සිදුකළ තර්ජනයක් පිළිබඳවය.

එමෙන්ම චෞර රැජින කෘතිය ලියවෙන කාළය පිළිබද මෙම සම්මුඛ සාකච්ඡාවේදී කියවෙන්නේ නැත.

කීර්ති රත්නායක මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය රාජපක්ෂලා අතට පත් කර ගැනීමේ උපකරණයක් ලෙස මෙම පොත යොදා ගත් බවයි.

කෙසේ වුවද චෞර රැජින බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාවට වික්ටර් අයිවන් මහතා විසින් සිදු කළ කොන්ත්‍රාත්තුවක් ලෙස ඇඟවෙන චෝදනාවට ඔහුගෙන් සාර්ථක පිළිතුරක් ලැබී නැති බව අපගේ විශ්වාසයයි.

අපගේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ සම්පත් දායකයා රස්තියාදුකාර , ලුම්පන් ,පචයෙකු බව එකවරම පැවසීමට තරම් වික්ටර් අයිවන් මහතා කළබල වන්නේ ඇයිද යන්න අපට ද ගැටළුවකි.

ඇතැම් විට කීර්ති රත්නායක නම්  මෙම පුද්ගලයා පිළිබද අපත් නොදන්නා රටත් නොදන්නා කරුණු වික්ටර් අයිවන් මහතා දන්නවා විය හැක.

නමුත් ඔහු ඒ පිළිබද හෙළි කිරීමක් නොකරම වික්ටර් අයිවන් මහතා විසින් කීර්ති රත්නායක මහතා ලුම්පන් රස්තියාදු කාරයෙකු බව පිළිගන්නැයි අපට යෝජනා කරන්නේ ඇයි?

එමෙන්ම අදාළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් යොදා ඇති  සිරස්තලය පිළිබඳව ද වික්ටර් අයිවන් මහතා ප්‍රශ්න කර තිබේ.

මහා හෙළිදරව්වක් ලෙස අප එය දක්වා තිබෙන්නේ ඒ හරහා පාස්කු ප්‍රහාරකයන් සම්බන්ධයෙන්  මෙන්ම මෙරට දේශපාලනය උඩුයටිකුරු කළ සිදුවීම් කිහිපයක් පිළිබඳව  අදාල සම්පත් දායකයා විසින්  හෙළි කළ කරුණු  එම සම්මුඛ සාකච්ඡාවේ ඇතුළත් වීම හේතුවෙනි.

වික්ටර් අයිවන් මහතා සම්බන්ධයෙන් ගත් කල ද  එය  මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වකි.

කීර්ති රත්නායක මහතා පවසන අයුරින් වික්ටර් අයිවන් මහතා වැනි මාධ්‍යවේදියෙකු සත්‍ය ලෙසම මෙරට හිටපු ජනාධිපතිවරයක සහ කාන්තාවකට යම් දේශපාලන ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් චෞර රැජිණ කෘතිය රචනා කොට ඇත්තේ  බැසිල් රාජපක්ෂ මහතාගේ වුවමනාවට නම්  එය  මහා හෙළිදරව්වක් නොවන්නේද ?

ඊට අමතරව මේ සම්බන්ධයෙන් වික්ටර් අයිවන් මහතාගේ ප්‍රතිචාර දැක්වීම  පුදුම සහගත එකකි ඔහු විසින්  කීර්ති රත්නායක මහතා විසින්  හෙළි කළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන්  ප්‍රතිචාර දැක්වීම සඳහා ලියන ඉහත පිළිතුරු ලිපිය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් නොකොට Whatsapp ඔස්සේ  සමාජගත කිරීමට කටයුතු කර තිබුණි.

පුද්ගලයින් කිහිප දෙනෙකු විසින්  එය අප වෙතද  යොමු කිරීමෙන් අනතුරුව සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගැනීම සඳහා පුද්ගලිකවම අප වික්ටර් අයිවන් මහතා වෙත දුරකථන ඇමතුමක් ලබාදීමට කටයුතු කළ අතර ඔහු සඳහන් කළේ එලෙස තම හිතවතුන් කිහිපදෙනෙකු අතර හුවමාරු කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධ තම ප්‍රතිචාරය බවයි. එමෙන්ම එය තවත් සුළු වෙලාවකින් ඔහුගේ Facebook පිටුවේ පල කරන බවද ඔහු අපට පැවසුවේ පසුගියදා (20) සවස් වරුවේය.

නමුත් මේ ලිපිය පල කරන මේ මොහොත දක්වාම ඔහු එය ප්‍රසිද්ධ කර නැත.

අප විසින් ඔහු ඇමතු අවස්ථවේ නැවත වතාවක් ඔහුට අදාළ කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට ඇති අයිතිය  තහවුරු කිරීම සඳහා කීර්ති රත්නායක මහතාට ලබාදුන් ආකාරයෙන්ම  වැඩසටහනක් ලබා දීමට  අප සූදානම් බව දැනුම් දුන් අතර වික්ටර් අයිවන් මහතාගේ ප්‍රතිචාරය වූයේ  කවුරුන් කුමක් සිතාගත්ත ද තමාට එවැනි අවකාශයක් භාවිත කරමින්  අදාළ කරුණු  සම්බන්ධයෙන් පිළිතුර දීමේ උවමනාවක් නැති බවයි.

ඉතා සුහදශීලි ලෙස සිනාමුසුව අප හා අදහස් හුවමාරු කරගත් වික්ටර් අයිවන් මහතා තමා විසින් විවිධ පුද්ගලයන් සහ සිදුවීම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කෘති සහ ලිපි රැසක් රචනා කර ඇති බවද  අපට සිහිපත් කළේය.

තමන් විවාදාත්මක එම කරුණු හෙළිකරනු ලැබුවේ කකුල් වෙව්ලමින් නොවන බවද ඔහු සඳහන් කළේය.

විධායක බලයේ සිටි ජනාධිපතිවරුන් පවා විවේචනය කරමින්  වාර්තාකරණයේ යෙදීමට  මාධ්‍යවේදියකු ලෙස  ඒ මහතාට  ඇති  හැකියාව පිළිබඳව  අප සිහිපත් කළ විට ඔහුගේ ප්‍රතිචාරය වුයේ මෙවැන්නක්.

වික්ටර් අයිවන් –  ඔයගොල්ලන්ටත් ඔය චාන්ස් එක එයි, එකේ රස භුක්ති විඳින්න පුළුවන්.

අප – මොකක්ද ඔබතුමා එකෙන් අදහස් කරන්නේ?

වික්ටර් අයිවන් – අදහස කියන්නේ ඔහොම යනකොට ඔයාලටත් ඕකේ රස බුක්ති විඳින්න හම්බවෙයි, බලයේ රස. ඒ කියන්නේ ඒකනේ පෙන්නන්නේ ඇත්තටම.

අප – මට තේරුනේ නෑ. රස භුක්ති විඳින්න ලැබෙනවා කියන්නේ ?

වික්ටර් අයිවන් – ඒ කියන්නේ බලයේ රස, බලයේ. දැන් ඔය කිට්ටුවෙමින් නේ තියෙන්නේ විවිධ බල කණ්ඩායම් එක්ක, බල කණ්ඩායමක් තමයි පාතාල ලෝකෙත් ඇත්තටම.

ඉතින් කමක් නෑ මම මෙතනින් නවතින්නම්. 

ඔබතුමාගේ වැඩේ කරගෙන යන්න. මගේ විවේචනය මම කළා… යනුවෙන් පැවසීය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මේ කියන්නට උත්සහ දරන්නේ කුමක්දැයි කියා අප නිවැරදිව ම දන්නේ නැත.

නමුත් මෙරට මාධ්‍යකරණය තුළ මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවන යමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් හෝ උපදේශයක් ලෙස හෝ මෙය අවබෝධ කර ගැනීම අපට අපහසු නැත.

අපි ඉහත දෙබස් කිහිපයෙහි යටි පෙළ කියවීම මෙය කියවන ඔබට ද භාර කරමු.

ඒ කෙසේ වෙතත් ඉහත දක්වා ඇති වික්ටර් අයිවන් මහතාගේ ප්‍රතිචාර ලිපියෙහි  කියවෙන කරුණු මෙන්ම සම්මුඛ සාකච්ඡාවේ අනාවරණය කෙරෙන කරුණු සහ සම්පත්දායකයින්ගේ සමාජ මට්ටම , හැසිරීම  ඇතුළු සියල්ල තම තමාගේ සංජානන හැකියාවන් අනුව කියවා අවබෝධ කර ගැනීම ඔබ අතේය.

අපි කාටවත් චරිත සහතික ලියන්නට යන්නේද නැත.

දේශපාලන පක්ෂ , සළු තිර , පාට කණ්ණාඩි වලින් ද අපට පලක් නැත.

‌‌ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ පිළිතුරු ලිපිය අවසානයේ ඔහු විසින් රචිත වාක්‍ය කොටස අපි ද මෙහි උපුටා පළ කරමින් අපගේ ප්‍රතිචාර දැක්වීමද අවසන් කරන්නෙමු.

“ සිංහ වෙස් ගත් ගවයා උම්බෑ කියා හඩනගන මොහොතේ සිට ඒ බොරුවද අවසන් වන්නේය ”

© කල්ප ගුණරත්න – Mee Massoo TV