එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණය අවසන්ව මාස හතකටත් වඩා වැඩි කාලයක් ගතවී ඇති මොහොතක කිසිදු නියෝජිතයෙකු පත් කර නොයැවීම සම්බන්ධයෙන් මේ වන විට නැවත වතාවක් සමාජයේ අවදානය යොමුව තිබෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද තමා මෙතෙක් එම ධුරය භාර ගැනීමට තීරණය කර නොමැති බව පැවසු පසුබිමක් තුලයි.
මෙවර මහමැතිවරණයේ දී ඉතා බරපතල සෝදාපාලුවකට ලක් වූ එක්සත් ජාතික පක්ෂයට හිමිවුයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් පමණයි.
මෙවර සමස්ත මැතිවරණ ප්‍රතිඵල අනුව එජාපයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 249 435 ක් පමණයි.
මෙලෙස ජාතික ලැයිස්තුවෙන් හිමිවූ එකම මන්ත්‍රී ධුරය සඳහාද මන්ත්‍රීවරයෙකු පත් නොකරමින් කල් මැරීම දේශපාලන පක්ෂයකට කෙසේ බලපානවාද? ඒ හරහා සිදුවන්නේ කුමක්ද? යන ප්‍රශ්න සම්බන්ධයෙන් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ හිටපු අංශ ප්‍රධානි මහාචාර්ය එම්.ඕ.ඒ ද සොයිසා මහතාගෙන් විමසුවා.
එහිදී ඔහු සඳහන් කළේ ජාතික ලැයිස්තුවෙන් හෝ වෙනත් කුමන හෝ ආකාරයකින් හෝ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කිරීම සඳහා ලද ජනවරමක් මෙලෙස කල් දමමින්, කාලය කා දමමින් නිසි අයුරින් බලාත්මක කිරීමට අපොහොසත් වීම තුළ සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂය සඳහා ඡන්දය ලබා දුන් 2 49 435 වූ ඡන්ද දායකයින්ගේ ජනතා පරමාධිපත්‍ය බලයද නොසලකා හැරීමක් බවයි.
මෙරටට තනි ප්‍රභලතම දේශපාලන පක්ෂය ලෙස දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වූ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබා දුන් ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට නියෝජනයක් නොමැති තත්වයට පත්වීම කණගාටුදායක බව පෙන්වා දුන් මහාචාර්ය සොයිසා මහතා, එක්සත් ජාතික පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගාගෙන තිබු අනන්‍යතාවය ද මේ තත්ත්වය තුල අහිමිව ගොස් ඇති බවද පෙන්වා දුන්නා.
එමෙන්ම අදාළ මන්ත්‍රී ධුරය නිසි ක්‍රමවේදයකට අනුව පත් නොකොට කේවල් කිරීමට යාම තුළ එය තමන්ට ලැබේ යයි බලාපොරොත්තු තබා සිටි ඇතැම් පක්ෂ ප්‍රභලයින් කිහිප දෙනෙකුම මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වී ඇති බවද ඔහු සඳහන් කළා.
මහමැතිවරණයක් සඳහා යම් දේශපාලන පක්ෂයක් මුහුණ දෙන්නේ ජනතා පරමාධිපත්‍ය බලය උරගා බැලීමට බවත්, එහි ප්‍රතිපලය අනුව වහා කටයුතු කිරීමට දේශපාලන පක්ෂයක් බැදී සිටින බවත් පෙන්වා දෙන මහාචාර්ය සොයිසා මහතා සඳහන් කරන්නේ එකසත් ජාතික පක්ෂයේ මෙම කල් මැරීමේ ක්‍රියාව පක්ෂය තව දුරටත් සෝදා පාළුවට පත් කරන බවයි.
අවශ්‍ය කාලීන ගැටළු සඳහා අදාල මොහොතේම විසදුම් ලබාදීම නායකත්වයක ලක්ෂණය විය යුතු බව පෙන්වා දෙන සොයිසා මහතා එසේත් නොමැතිව ඉබේ ප්‍රශ්න විසදෙන තුරු බලා සිටින තැනට දේශපාලන පක්ෂයක් ඇද වැටීම හරහා සිදුවන්නේ තව දුරටත් එම පක්ෂය ජනතාවගෙන් ඈත් වීම බවද සඳහන් කළා.
තව දුරටත් මන්ත්‍රීවරයෙකු පත් නොකොට කල් මැරීමේ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂය මෙරට තුළ ක්‍රියාත්මක සිවිල් සංවිධානයකටත් වඩා පහලට අද වැටීම පමණක් බවයි මහාචාර්ය එම්.ඕ.ඒ ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට