Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට ජාතික ආරක්ෂාව සම්බන්ධ කිසිදු අදාල වගකීමක් පවරා තිබුණේ නෑ.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පාස්කු කොමිසමේ දී සාක්ෂි දෙමින් හෙළිකරයි

හිටපු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට හැකියාවක් නොතිබුණු බවත්, ඒ සඳහා අවශ්‍ය බලයක් ඔහු වෙත පවරා නොතිබීම ඊට හේතුව වූ බවත් අනාවරණය වුණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම පසුගිය දා කැඳ වූ අවස්ථාවේ දී යි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත සාක්ෂි ලබාදුන් හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් මෙම කරුණු අනාවරණයක් කළා .ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිතවම දින වකවානු සමගින් තමා වෙත වාර්තා වී තිබූ බවයි. ඒ පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීම සඳහා තමා පියවර ගත් බව ද නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ හෙළි කළා.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාට සෘජුවම තොරතුරු වාර්තා කිරීමට කටයුතු නොකළ බව ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රුවන් විජයවර්ධන මහතා දැනුවත් කළේ ද යන්න පිළිබඳව කොමිසම කරුණු විමසූ අවස්ථාවේදී හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සදහන් කර තිබෙන්නේ රුවන් විජයවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලයක් පවරා නොතිබූ බවයි.

ඒ හේතුවෙන් ඔහු වෙත අදාල තොරතුරු වාර්තා නොකළ බවද හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.