Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජපක්ෂ පවුලේ ඡායාරූපයක් ගැන ප්‍රශ්න කිරීමට පාඨලීගේ මාධ්‍ය ලේකම් ට CID යෙන් කැඳවීමක්

පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් මහරගම නගර සභාවේ   නාගරික මන්ත්‍රී   ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

 ඒ ඔහු විසින්  සිය ෆේස්බුක් පිටුවෙහි  පළ කර ඇති  රාජපක්ෂ පවුලේ ඡායාරූපයක් පිළිබඳ  ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

මහින්ද රාජපක්ෂ , ශිරන්ති රාජපක්ෂ ,  ගෝඨාභය රාජපක්ෂ සහ එම මහත්මිය  ඇතුළු ප්‍රභූන් පිරිසක්  භික්ෂූන් වහන්සේ සිටගෙන සිටියදී   දාන ශාලාවක් වැනි ස්ථානයක අසුන් ගෙන  ආහාර අනුභව කිරීමට සැරසෙන  ඡායාරූපයක්  ඔහු ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබෙනවා.

එම ඡායාරූපය සහ ඔහු සටහන් කර තිබූ කරුණු පහතින්..

රටක් විදිහට අපි තාම පරක්කු නෑ කියලයි මට හිතෙන්නෙ…

අප සිංහල බෞද්ධ ගිහි පින්වතුන් සැදැහැ සිතින් පිළියෙල කර ගත් දානය බුදුන් ප්‍රධාන භික්ඛු මහා සංඝරත්නය වෙත සිතේ උපදවාගත් මහා සීලය පෙරටුව සග සතුකොට පූජා කරන විට

ඉමං භික්ඛං
සපරික්ඛාරං
බුද්ධ පමුඛස්ස සකලස්ස
භික්ඛු සංඝස්ස
දෙම

ලෙසින් ප්‍රකාශ කොට පිළිගන්වනු ලබනවා…

මේකට කොහොමෙයි කියන හොද…

එම ඡායාරූපය සහ ඔහු සටහන් කර තිබූ කරුණු
කෙසේ වෙතත් මෙම ඡායාරූපය ව්‍යාජ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට  සඳහන් කරමින්   ඔහු පළ කළ පෝස්ටුවට ම ඇතැමුන් ප්‍රතිචාර දක්වා තිබුණා.

එම ඡායාරූප

කෙසේ වෙතත් අද දිනයෙහි නැවතත් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබන ධනුෂ්ක රාමනායක මහතා පවසන්නේ ජනාධිපති, අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ සිද්ධස්ථානයක දාන ශාලාවේ සුවපහසු අසුන් වල වාඩි වී සිටින, ගරුතර මහා සංඝරත්නය සිටගෙන සිටින ජායාරූපයක් සමාජජාල මාධ්‍ය මත පළ කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශණයක් සඳහා කටඋත්තර ලබාදීමට හෙට දිනයේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බවයි.

එමෙන්ම සමාජජාල පරිශීලනය කරන අවස්ථාවකදී මෙම ජායාරූපය ඔහු විසින් දුටු බවත් , එහි ස්වරූපය අනුව ව්‍යාජ ජායාරූපයක් යැයි හැඟි නොයන නිසා එය සිය ගිණුමේ සහ පිටුවේ පළ කළ බවත් පවසන රාමනායක මහතා  එය කිසිසේත්ම ඔහුගේ හෝ ඔහුගේ අනුදැනුම මත ව්‍යාජ ලෙස සකස් කරන ලද ජායාරූපයක් නොවන බව ද සදහන් කර තිබෙනවා.

එමෙන්ම අදාළ ජායාරූපය ඔහු  විසින් පළ කරනු ලැබූයේ, සිංහල – බෞද්ධ ජනසමාජය විසින් අති ගෞරවනීයව වන්දනාමාන කරන භික්ෂු සංස්ථාවට සහ ආගමික පදනමට හානි වන ආකාරයෙන් රටේ රාජ්‍ය නායකයා සහ අගමැතිවරයා හැසිරීම ඉතා නුසුදුසු බවට හැඟී ගිය නිසා බැවින් යයි සදහන් කරන රාමනායක මහතා ,  ඒ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ රටක ජීවත්වන පුරවැසියෙකු සතු අයිතිය භාවිත කරමින් තමා කටයුතු කර ඇති බව ද පවසනවා.