Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටම තව තවත් අඳුරු වෙයි : කරුවල බෙදන්නට මණ්ඩලේට අනුමැතිය

තෙලුත් නෑ : ගල් අඟුරුත් නෑ : තිබුණට ගන්න ඩොලරුත් නෑ

හොඳටම කරපු ඒවායේ ප්‍රතිඵල පෙරහරේ

හෙට (10) දිනයේ සිට දිනපතා පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි.

විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී පී.ඩබ්ලිව්. හෙන්දාහේවා මහතා එම තීරණය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා මහතා වෙත දන්වා එය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබෙනවා.

පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා පැයක විදුලි කප්පාදුවක් සහ සවස 6 සිට රාත්‍රී 9 දක්වා උපරිම පැය වලදී විනාඩි 45ක විදුලි කප්පාදු දෙකක් සිදු කිරීමට ඔවුන් අවසර ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉල්ලුම සැපයුම අතර හිඟය මඟහරවා ගැනීමට නම් අවම වශයෙන් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි කළ යුතු බවට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පද්ධති පාලන) ආර් අලහකෝන් විසින් සති දෙකකට පමණ පෙර ලංවිම සාමාන්‍යාධිකාරීවරයාට දන්වා තිබූ බවද වාර්තාවේ දැක්වෙනවා.

පූර්ව දැනුම්දීමකින් පසු නිශ්චිත වේලාවක යම් ප්‍රදේශයකට විදුලිය විසන්ධි කරන විට එය සැලසුම්කල විදුලි කප්පාදුවක් වන අතර නියමිත නොවන විදුලි කප්පාදුවලින් අදහස් වන්නේ ඉල්ලුමට සරිලන පරිදි සැපයුමට නොහැකි වූ විට, පද්ධතිය ස්වයංක්‍රීයව බිඳ වැටීමක් බවයි පැවසෙන්නේ.

‘අපිට ඒක නවත්වන්න බැහැ.දැන් රටේ වෙන්නේ ඒකයි.ඒකයි අපි කලින්ම කිව්වේ පවතින යථාර්ථය තුළ නිල වශයෙන් නියමිත විදුලිය විසන්ධි කරන්න වෙනවා කියලා.ඒත් බලධාරීන් පියවර ගත්තේ නැහැ” යයි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇති බවද සඳහන්.

අද වන විට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් ජල විදුලියෙන් ද සියයට 30ක් ගල් අඟුරු බලයෙන්ද සියයට 22ක් තෙල්වලින්ද තවත් සියයට 8ක් සූර්ය හා සුළං බලයෙන්ද සපුරනු ලබයි. වර්ෂාව නොමැති බැවින් ජල පෝෂක ප්‍රදේශවල කුඩා ජල විදුලි බලාගාර කිසිවක් ක්‍රියාත්මක නොවන බවද වාර්තා වනවා.

ලංවිම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) රු. බිලියන 90 ක මුදලක් ගෙවා නැති අතර, ඩොලර්වලින් ණය පියවන්නේ නැත්නම් ඉන්ධන සැපයීමට නොහැකි බව බලශක්ති අමාත්‍යාංශය සති තුනකට පෙර ලංවිමට දන්වා තිබුණා.

මේ අතර විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය විසින් ලබා දෙමින් ඇති බවයි.

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි බලය සැපයීමට සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් හෙතෙම සඳහන් කරනවා.

ඒ කෙසේ වෙතත් ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන ණය කරමින් පැවති රජයන් පවතින රජයන් විසින් සිදුකළ ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට බලශක්ති නිෂ්පාදනය සම්බන්ධ රජයේ ප්‍රධානතම ආයතන කිහිපයම පවතින්නේ බරපතළ ණය අර්බුදයක් තුලයි.

ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

දහවල් කාලයේදී පැය දෙකක පමණ කාලයක් සහ අධික විදුලිය ඉල්ලුමක් පවතින පස්වරු 6.00 ත් 9.00 ත් අතර කාලයේදී පැය බාගයක් පමණ කාලයකුත් ආදී වශයෙන් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවනු ඇතැයි ඔහු සදහන් කළේය.