Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටපුරා PCR පරීක්ෂණ 20,000ක් සිරවෙයි – බරපතල තත්ත්වයක් ගැන හමුදාපති අනතුරු අඟවයි

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ PCR යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් PCR පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බව වාර්තා වෙයි.

PCR වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් ඇඳිරිනීතිය පැනවීම ඇතුළු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමේ ක්‍රමයද ක්‍රියාත්මක කිරීමට තීන්දු ගැනීමේ බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දී ඇත.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා කොවිඩ් මධ්‍යස්ථාන ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 250ක් වටිනා PCR යන්ත්‍රයක් ඉකුත් මැයි මාසයේ මුල්ලේරියාව රෝහලේ ස්ථාපිත කළද එය මේ වන විට දින හයක් තිස්සේ අක්‍රියව පවතින බව අනාවරණය වේ.

මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම කඩිනම් පියවර ගෙන පැය 48ක් ඇතුළත මීට අවශ්‍ය පියවර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත. මෙම PCR යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට චීන සමාගමේ නියෝජිතයන් මෙරටට ගෙන්වීමට සිදුවන බව හෙළිවී තිබේ. මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද දැනුම් දීමට කොවිඩ් වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

චීනයේ බී.ජී. අයි. නමැති සමාගමකින් ටෙන්ඩර් පටිපාටිවලට පරිභාහිරව ගෙන්වා ඇති මෙම PCR යන්ත්‍රයේ දේශීය නියෝජිතයා ලෙස පුද්ගලයකුගේ නමක් පමණක් සඳහන් කර ඇතැයි රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘අරුණ’ පුවත්පතට පවසා ඇත.

මෙම නියෝජිතයා රසායනාගාර උපකරණ සමාගමක් නොවන බවත්, මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කීපදෙනෙකු කළ මගඩියක ප්‍රතිඵලයක් බවත් හෙතෙම සඳහන් කළේය.

හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ විසින් මෙම යන්ත්‍රයෙන් දිනකට PCR පරීක්ෂණ 4000ක් කිරීමට හැකි බව පෙන්වා දුන්නද දැනට දිනකට පරීක්ෂණ දෙසීයක්වත් කිරීමට නොහැකි බව අනාවරණය වී තිබේ.

මේ අතර දිවුලපිටිය හා කටාන යන ප්‍රදේශවල ඉකුත් 23 වැනිදා කළ PCR පරීක්ෂණ පන්සියයක පමණ ප්‍රතිඵල ඊයේ (28 වැනිදා) වනතුරුත් ලැබී නොතිබූ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ‘අරුණ’ පුවත්පතට පවසා ඇත.

ඊට පෙර කළ PCR පරීක්ෂණ සියයක ප්‍රතිඵල අනුව තිස් දෙනකු වයිරසය ආසාදිතයන් බවට තහවුරු වූ බවත් මෙම තත්ත්වය යටතේ PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

අවසන් වරට කළ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් සැක සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු තීරණයකට පැමිණීමට නොහැකි බවත් එය වයිරසය ව්‍යාප්තියට හේතු විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

© තිස්ස රවීන්ද්‍ර පෙරේරා
උදයජීව ඒකනායක/ නිලන්ත මදුරාවල
‘අරුණ’ පුවත්පත