Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැන්ඩෙලාගේ රග්බි දේශපාලනය

1995 ජුනි 24 වන දින ජොහැන්නස්බර්ග්හි, එලිස් පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු රග්බි ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාව 15 – 12ක් වශයෙන් සිය පරම ප්‍රතිවාදී නවසීලන්තය පරාජය කළේය. මෙම තරගය දකුණු අප්‍රිකානු ඉතිහාසයේ දැවැන්ත සංකේතාත්මක අවස්ථාවක් ලෙස පවතී. 1991 දී ජාතිවාදී භේදභින්න වීම අවසන් වීමෙන් පසු එය රටේ ප්‍රථම ප්‍රධාන ක්‍රීඩා ඉසව්ව ලෙස සනිටුහන් විය. ඒ වන විටත් ජාත්‍යන්තර අවධානයට ලක් ව තිබූ අතිවිශිෂ්ට රාජ්‍ය ව්‍යවස්ථාවට අනුව ජනාධිපති, නෙල්සන් මැන්ඩෙලා ලොව වඩාත්ම කටුක අන්දමින් බෙදී ගොස් තිබූ අප්‍රිකානු ජාතීන් අතර එකමුතු බව පෙන්වූයේ “එක් කණ්ඩායමක් එක් රටක්” යන සටන් පාඨය භාවිත කරමිනි. එනමුත් පෙර දී මෙම යථාර්ථය බෙහෙවින් සංකීර්ණ විය.

වර්ණභේදවාදය විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හේතුවෙන් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර සතුරෙකු බවට පත් වී තිබිණි. 1973 දී එක්සත් ජාතීන්ගේ යෝජනාවක් මඟින් වර්ණභේදවාදය “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 1964 සිට 1992 දක්වා කාලය තුළ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ද තහනම් කරන ලද අතර දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම 1987 සහ 91 දී පැවති ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි.

ජනාධිපති මැන්ඩෙලා රග්බි ක්‍රීඩාව දුටුවේ දකුණු අප්‍රිකානුවන් අතර බෙදීම් අවම කිරීමට සහ හවුල් ජාතික අභිමානයක් ඇති කිරීමට උපකාරී වන මාර්ගයක් ලෙස ය. ජාතියේ තරගකාරී යටත්විජිත බලවේග අතර ක්‍රීඩාව යනු එක්සත් කිරීමේ බලවේගයක් විය. 1906 බ්‍රිතාන්‍ය දූපත්වල සාමාජිකයන් විසින් සිදු කෙරුණු සංචාරයේ දී ඉංග්‍රීසීන් සහ අප්‍රිකානුවන් අතර පැවති බෝයර් යුද්ධයේ (1899 – 1902) කටුකත්වය අමතක කරලීම සඳහා දෙපාර්ශවයේම ක්‍රීඩකයින් සාඩම්බරයෙන් ඉදිරිපත් කර තිබූ අතර, බ්‍රිතාන්‍ය ගාල් කඳවුරක සිරගත කර සිටි එක් ක්‍රීඩකයෙකු ද කණ්ඩායමට ඇතුළත් විය. එනමුත් සුදු ජාතිකයින්ගේ එම වර්ණභේදවාදී ක්‍රමයට අභියෝග කිරීම හේතුවෙන් වසර 27ක් සිරගතව සිටීමට නෙල්සන් මැන්ඩෙලා හට සිදු විය. නිදහස් වී පැමිණි පසු ඔහු පළමුවෙන් සිදු කළේ මිනිසුන්ගේ සිත් තුළ පුළුල් ලෙස පැතිර ගිය වේදනාව හා බෙදීම් පිළිබඳ ගැටලුවට පිළියම් යෙදීම ය.

රග්බි සහ වර්ණභේදවාදය අතර ඓතිහාසික සම්බන්ධතාවය

දකුණු අප්‍රිකාවේ වාර්ගික බෙදීම දිගු කලක් පැවතුණු බව සැබවි. එහෙත් සුළුතරයක් වූ සුදු ජාතිකයින්ගෙන් සමන්විත වූ අප්‍රිකානු ජාතික පක්ෂයේ (African National Party) දේශපාලන උන්නතියෙන් පසු, 1948 දී නිළ වර්ණභේදවාදය ඇති විය. තමන් තෝරාගත් ජනතාවක් ලෙස දුටු ලන්දේසි, ජර්මානු සහ ප්‍රංශ මුතුන්මිත්තන්ගෙන් පැවත ආ අප්‍රිකානු ජාතිකයෝ, සුදු ජාතිකයින්ට වාසිදායක රජයක් හැඩ ගැස්වීම සඳහා කටයුතු කළහ. ඒ අනුව වර්ණභේදවාදය යටතේ ජාතික දේශපාලනයේ සියලු භූමිකාවලින් බැහැර කෙරුණු, නුපුහුණු, ශ්‍රමය සම්බන්ධ රැකියාවල නිරත වූ කළු ජාතිකයින්ගෙන් බහුතරයක් දුප්පත්කමේ වාතාවරණය යටතේ, ඔවුනට ම වෙන් කරන ලද නගරවලට ගෙන යන ලදී. 1953 දී රග්බි තණතීරුව ඇතුළුව දකුණු අප්‍රිකාවේ සියලුම පොදු ප්‍රදේශ නිළ වශයෙන්

වෙන් කරමින් වෙනම ම පහසුකම් යටතේ බෙදීමේ පනත සම්මත විය.

සිය පළමු වසර 90 තුළම සුදු ජාතික ක්‍රීඩකයින් ලැයිස්තුවක් ඉදිරිපත් කළ රග්බි කණ්ඩායම සමඟ අප්‍රිකානු ජාතික පක්ෂය ගැඹුරු සබඳතා පැවැත්වීය. පක්ෂය විසින් රග්බි කණ්ඩායම ලබන ජයග්‍රහණ තමන්ගේ යැයි පිළිගත් අතර ඇතැම් විට ක්‍රීඩකයෝ පක්ෂ තනතුරු සඳහා උල්පතක් ලෙස ද භාවිත කෙරෙන ලදහ.

සයිමන් පින්ස්කි විසින් දකුණු අප්‍රිකානු ඉතිහාසය පිළිබඳ අන්තර්ජාලයේ පළ කළ ලිපියක සඳහන් කෙරුණේ, ජාතික පක්ෂයේ ස්ප්‍රින්ග්බොක් මුවාගේ සංකේතය යනු අප්‍රිකානු ජනතාවගේ වටිනාකම් හා ලක්ෂණ නියෝජනය කිරීමක් බව යි. “කළු ජාතික ක්‍රීඩකයින්ට පූජනීය ජර්සිය පැළඳීමට ඉඩ දීම සුදු පාක්ෂිකයන්ගේ සිත් තුළ මෙම සාරධර්මය ඛාදනයට හේතුවක් විය.”

සත්‍යය, ප්‍රතිසන්ධානය සහ රග්බි.

1995 දී, සිරෙන් එළියට විත් වසර පහකට පසු සහ ජාතියේ ප්‍රථම කළු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් වසරකට පසු මැන්ඩෙලා වර්ණ භේදවාදය හා සම්බන්ධ අපරාධ විමර්ශනය කිරීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීය. කොමිසමේ බලාපොරොත්තුව වූයේ යුගයේ සාහසිකකම් පිළිබඳ සත්‍යය සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීම, වාර්ගිකව බෙදුණු ජාතිය සුවපත් කිරීමට හේතු වනු ඇති බවයි.

වර්ණභේදවාදී තන්ත්‍රයේ ඕනෑම සංකේතයක් විනාශ කිරීමට කළු දකුණු අප්‍රිකානුවන්ට අවශ්‍ය විය. ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේ වර්ණභේදවාදී ජාතික පක්ෂයේ ද 1906 සිට රග්බි කණ්ඩායමේ ද සලකුණ වූ ස්ප්‍රින්ග්බොක් මුවාගේ ක්‍රීඩා ලාංඡනය යි. 1994 දී පැවති පළමු නිදහස් මැතිවරණයෙන් පසු රග්බි කණ්ඩායම හැර ඉතිරි දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම් සියල්ලම ඔවුන්ගේ ලාංඡනය ලෙස රටේ ජාතික පුෂ්පය වූ ප්‍රෝටියා නමැති මල තෝරා ගත්හ. එහෙත් රග්බි ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වූ රටක, කොල පැහැති සහ රන්වන් පැහැයෙන් යුත් ස්ප්‍රින්ග්බොක් මුවාගේ සංකේතය අතහැර දැමීමට බොහෝ සුදු අප්‍රිකානුවෝ කැමති නොවූහ.

මැන්ඩෙලා විශාල ඉලක්කයක් පසුපස හඹා යයි

වර්ණවාදයක් නොමැති රටක් සඳහා සුදු අප්‍රිකානුවන් තුළ තිබූ මෙම ප්‍රතිරෝධය තේරුම් ගත් මැන්ඩෙලා, කළු මෙන් ම සුදු සමෙන් ද සමන්විත සම්පූර්ණ ජාතිය ම එක ස්ථානයකට ගෙන ඒම සඳහාත්, ඔවුන් ආසා කළ ස්ප්‍රින්ග්බොක් ලාංඡනය රග්බි ක්‍රීඩාවේ සංකේතයක් ලෙස තබා ගැනීමට ඉඩ දීම සඳහාත් සහන උපාය මාර්ගයක් සෙවීය. මැන්ඩෙලා පළමුවෙන් ම කළේ අප්‍රිකානු සුදු ජාතිකයන් කතා කළ භාෂාව ඉගෙන ගැනීමට පටන් ගැනීම යි. ඔහුට අවශ්‍ය වූයේ සුදු අප්‍රිකානුවන්ගේ ලෝක දෘෂ්ටිය තේරුම් ගැනීමට ය. කවදා හෝ ඔවුන් සමඟ සටන් කිරීමට හෝ සාකච්ඡා කිරීමට සිදු වන බව ඔහු දැන සිටි අතර කෙසේ හෝ තමාගේ ඉරණම ඔවුන්ගේ ඉරණම සමඟ බැඳ තබා ගැනීමට මැන්ඩෙලා උත්සාහ කළේ ය. 1994 ජනාධිපතිධූර සමාරම්භක කතාවේදී ඔහු “දේදුනු ජාතියක් සමඟ සාමයෙන් සාමූහිකව” යන දැක්ම ප්‍රකාශයට පත් කළේ එබැවිනි.

ඒ අනුව ආරම්භයේ දී ම, කළු සහ සුදු ජනගහණය අතර සාමය ඇති කර ගැනීමට ස්ප්රින්ග්බොක්ස් කණ්ඩායමට හැකි වන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමට තමා හමුවන ලෙස ඔහු රග්බි කණ්ඩායමේ නායක, ෆ්‍රැන්කෝස් පියනාර්ට ආරාධනා කළේය. පියනාර් හැදී වැඩුණේ මැන්ඩෙලාගේ නම “ත්‍රස්තවාදියා, දුෂ්ඨ මිනිසා” යනාදී අදහස් සමඟ සම්බන්ධ වූ සුදු අප්‍රිකානු ප්‍රජාවක ය. එනමුත් එයින් නොසැලුණු මැන්ඩෙලා, කළු ජාතිකයින්ට පැවසුවේ, “සුදු ජාතික ළමයින් සමඟ සිටින්න කියා මම ඔබෙන් ඉල්ලන්නේ ඔවුන් අපේ කාරුණිකභාවය පිළිබඳ දැන ගත යුතු නිසා ය” යනුවෙනි.

කළු කණ්ඩායම් මැන්ඩෙලා විවේචනය කරති

කෙසේ වුවත් මැන්ඩෙලාගේ සම්මුති සංඥා, දැඩි ජාතිවාදී වර්ණභේදවාදී පාලනයකට නතු වී සිටි කළු දකුණු අප්‍රිකානුවන් විසින් පිළිගනු නොලැබිණි. මන්ද ඔවුනට තවමත් එම පාලන තන්ත්‍රයේ හිංසනය මතක තිබූ බැවිනි. 1976 සොවෙටෝ උද්ඝෝෂණවල දී පමණක් පොලිසිය විසින් කළු ජාතිකයින් සිය ගණනක් ඝාතනය කරනු ලැබ තිබූ අතර දහස් ගණන් තුවාල ලබා තිබුණි.

එහෙයින් 1994 මැතිවරණයෙන් පසු, මැන්ඩෙලාගේ පාලක පක්ෂය වූ අප්‍රිකානු ජාතික කොංග්‍රසය ද කලින් පැවති වර්ණභේදවාදී පාලන තන්ත්‍රයට බෙහෙවින් සමාන බව විශ්වාස කළ සටන්කාමී කළු කණ්ඩායම්, මැන්ඩෙලා ද විවේචනයට ලක් කළහ. මැන්ඩෙලා වඩාත්ම දැඩි විවේචනයට ලක් කළ තැනැත්තිය වූයේ එවකට ඔහුගේ ම බිරිඳ වූ විනී මැන්ඩෙලා ය. ජනාධිපතිවරයා කළු දකුණු අප්‍රිකානුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට වඩා සුදු ජාතිකයින් සතුටු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ඇය විශ්වාස කළා ය. මැන්ඩෙලා සහ ඒ.එන්.සී.ය (African National Congress) මෙම විවේචකයන්ට සවන් දෙන අතර ම, තමන් ශක්තිමත් සබඳතාවක් ගොඩ නඟා ගැනීමට කැමති බව සුළුතර සුදු ජාතිකයින්ට සහතික කර දීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළහ. ඔවුහු කළු ජාතික අප්‍රිකානුවන් වෙත කරනු ආයාචනා බොහෝ විට සකස් වූයේ රට වෙනුවෙන් තමන්ගේ සිතෙහි තිබෙන විශාල අරමුණු සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම පිළිබඳ දෘෂ්ටියෙනි.

1995 රග්බි ලෝක කුසලාන අවසන් තරඟය.

1995 රග්බි ලෝක කුසලානය ආරම්භ වීමට ස්වල්ප වේලාවකට පෙර ස්ප්‍රින්ග්බොක් පුහුණු කඳවුරට ගිය අවස්ථාවේ දී මැන්ඩෙලා පැවසුවේ “අපි මේ තරුණයන් අපේ ම පිරිමි දරුවන් ලෙසත් අප බබළවන තාරකා ලෙසත් හදාවඩාගෙන තිබෙනවා. එබැවින් දකුණු අප්‍රිකානු දේශය ඔබ පිටුපසින්ම සිටිමින් ඔබට ශක්තියක් වනු ඇත. මම අද තරම් අපේ දරුවන් පිළිබඳ අන් කවර දිනකවත් ආඩම්බර වී නොමැති අතර එම අභිමානය අපි සැම දෙනා විසින් ම බෙදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” යනුවෙනි

ඉහත වචන ස්වල්පය මෙන් ම පසුගිය කාලය තුළ දී මැන්ඩෙලා ගත් ක්‍රියාමාර්ග ද සුදු ජාතිකයින්ගේ සිත ඔහු වෙත නම්මා ගැනීමට හේතු වී තිබූ බව පෙනිණි. නවසීලන්තයට එරෙහිව කෙරුණු ලෝක කුසලාන අවසන් මහා තරඟය ආරම්භ වීමට පෙර, ස්ප්‍රින්ග්බොක්ස් කණ්ඩායම වෙනුවෙන් රටේ නව ජාතික ගීය ප්‍රචාරය වද්දී එලිස් උද්‍යානයේ සිටි 63,000ක පමණ සුදු ජාතිකයින් ප්‍රමාණයක් එය මහත් හඬින් ගායනා කළහ. එය “ඩයි ස්ටෙම්” එනම්, කලින් විරෝධතාවයට භාජනය වූ වර්ණභේදවාදී යුගයේ ගීතය සහ වර්ණභේද විරෝධී ව්‍යාපාරයේ පැරැණි පෑන් – අප්‍රිකානු විමුක්ති ගීතිකාව වන “එන්කෝසි සිකෙල්ල් අයිෆ්‍රිකා” යන ගීත දෙකෙහි වචන ඒකාබද්ධ කොට සකසා තිබිණි. මැන්ඩෙලා ස්ප්‍රින්ග්බොක් කණ්ඩායමේ වර්ණය වූ කොල පැහැති ජැකට්ටුවක් හැඳගෙන ක්‍රීඩාංගණය තුළ පෙනී සිටි විට, පුදුමයකට මෙන් බොහෝ සුදු අප්‍රිකානුවෝ “නෙල්සන්, නෙල්සන්, නෙල්සන්!” යනුවෙන් ඔල්වරසන් දුන්හ.

තරගය ආරම්භ වීමට සති කිහිපයකට පෙර සිට මැන්ඩෙලා මෙම ක්‍රීඩා දිනය ඓතිහාසික මෙන් ම සංකේතාත්මක වශයෙන් මුළු ජාතියේ ම සමගිය පෙන්නුම් කරන දිනයක් ලෙස එළිදැක්වීමට පසුබිම සකස් කළේ ය. ටිකෙන් ටික තරගය 9 – 9ක් ලෙස සම විය. එනමුත් අමතර වේලාවට මිනිත්තු 7ක් ඉතිරිව තිබිය දී ජොයෙල් ස්ට්රාන්ස්කි ගෝලයක් වාර්තා කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 15 – 12ක් වශයෙන් ජයග්‍රහණය කරවීය. 

මාර්ටින් මෙරෙඩිත් මැන්ඩෙලාගේ චරිතාපදානයෙහි ලියූ පරිදි, “මුළු දකුණු අප්‍රිකාව ම ජයග්‍රහණය සැමරුවේය. සුදු ජාතිකයින් පමණක් නොව කළු ජාතිකයින් ද මහත් හඬින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.” කළු ජාතිකයින් තම සුදු ජාතිකයින්ගේ උත්සාහය ගැන මෙතරම් ආඩම්බරයක් පෙන්වූ අන් කිසිදු දිනයක් නොතිබිණි. මැන්ඩෙලාගේ ආභාසය රට එක්සේසත් කරවීය.

සංකේතාත්මක එකමුතුවේ මොහොතක්, සංකීර්ණ උරුමයක් සමඟ

“අවසන් විසිල් නාදයේ දී මේ රට සදහටම වෙනස් විය.” යනුවෙන් වසර ගණනාවකට පසු මැන්ඩෙලා මිය යන අවස්ථාවේ දී කණ්ඩායම් නායක පියනාර් පැවසීය. පශ්චාත් – වර්ණභේදවාදී ලෝකයක් තුළ සමාජයේ පහළම මට්ටම්වල දුක් විඳිමින් සිටි බොහෝ කළු දකුණු අප්‍රිකානුවන්ට මෙය දැඩි කාවැද්දීමක් වූ අතර, එයින් පෙන්නුම් කළේ ජාතියේ තුවාල සුව කිරීම සඳහා ක්‍රීඩාව භාවිත කිරීමට මැන්ඩෙලා ගත් දක්ෂ උත්සාහය යි.

වසර ගණනාවක් තිස්සේ බොහෝ කළු දකුණු අප්‍රිකානුවන්ට, ස්ප්‍රින්ග්බොක්ස් කණ්ඩායම විසින් නියෝජනය කෙරුණේ කුරිරු වර්ණභේදවාදී පාලනයක් පමණි. 1995 තරගවල දී පවා කණ්ඩායමට සිටියේ එක් කළු ජාතික ක්‍රීඩකයෙකු පමණි. 2019 දී පළමු කළු ජාතික කණ්ඩායම් නායක, සියා කොලිසි සමඟ එංගලන්තයට එරෙහිව ලෝක කුසලානය ජයග්‍රහණය කරන විට ද ඒ තුළ සිටියේ කළු ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණි. “1995 දී මැන්ඩෙලාගේ අභිනය ජාතියේ වාර්ගික සංහිඳියාවේ සංකේතයක් ලෙස ප්‍රශංසාවට ලක් වුව ද, රග්බි ක්‍රීඩාව පරිවර්තනය කිරීමට අපොහොසත් වීම දේශපාලන නමුත් ආර්ථික නිදහස ලබා ගත් කළු ජාතිකයින් අතර කලකිරීමට හේතු වනු ඇත.” යනුවෙන් 2015 දී මාධ්‍යවේදී ඩේවිඩ් ස්මිත් විසින් “ගාඩියන් තීරුව”ට ලිවීය.  

මැන්ඩෙලා විසින් රග්බි ක්‍රීඩාව භාවිත කරමින් පැරැණි තුවාල සුව කිරීමට වෙර දරන නව ජාතියක් ඇති කර ගැනීමට ගත් උත්සාහය දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා වශයෙන් ඔහු ලබා ගත් ජයග්‍රහණයන්ගෙන් එකක් වූ අතර එය ක්‍රීඩාවේ බලය යහපතට යොදවා ගත හැකි අවස්ථාවකට උදාහරණයක් ද විය. 2000 වසරේ දී “ලෝරස් වර්ල්ඩ්” ක්‍රීඩා සම්මාන උළෙලේ දී මැන්ඩෙලා පැවසුවේ “ලෝකය වෙනස් කිරීමේ බලය ක්‍රීඩාවට ඇත. කලක සිට බලාපොරොත්තු සුන්වීමක් පමණක් වූ ක්‍රීඩාවක් තුළින් බලාපොරොත්තු ඇති කිරීම ද කළ හැකිය.” යනුවෙනි.

 ශ්‍රීනි ලංකා ජයකොඩි