Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයෙන් ප්‍රසිද්ධ මුල්‍ය සමාගම් 3කට දඩ

කළු සල්ලි සුදු කිරීම සහ එවැනි අයථා ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පසුගිය වසරේදී මෙරට ප්‍රසිද්ධ මුල්‍ය සමාගම් තුනකට දඩ නියම කර ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා.

එහි දැක්වෙන්නේ”2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලබන බවයි.

මූල්‍ය ආයතන හෝ නම් කරන ලද මූල්‍ය නො වන ව්‍යාපාර විසින් සිදු කරන අදාළ අනුකූල නො වන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කිරීමේ හැකියාව ශ්‍රී ලංකා මහ බැංකුව සතුයි.

ඒ අනුව, රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2020 ජූනි 01 සිට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රුපියල් මිලියන 2.3ක දඩ මුදලක් පනවා තිබෙනවා.

මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතන වෙත පනවනු ලෑබූ දණ්ඩන, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් මෙරට අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රසිද්ධ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව 2020 ජුනි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මූල්‍ය බුද්ධි ඒකකය විසින් රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය සමාගමට පසුගිය වසරේ ඔක්තෝම්බර් 15 වැනි දින රුපියල් ලක්ෂ 03 ක් , සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් සමාගමට නොවැම්බර් 04 වැනි දින රුපියල් ලක්ෂ 10ක් සහ සියපත ෆිනෑන්ස් සමාගමට නොවැම්බර් 25 වැනි දින රුපියල් ලක්ෂ 10ක් ද බැගින් මෙලෙස දඩ නියම කර තිබෙන බව සදහන්.