Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“මහර බන්ධනාගාරයේ PCR කිරීමේ රාජ්‍ය විරෝධී ක්‍රියාවට දඩුවම් ලැබෙන තුරු බලා සිටිමි” මහර ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

මහර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඉන්ද්‍රජිත්  පනාවැන්න  මහතා සිදුකළ විශේෂ හෙළිදරව්වක් හේතුවෙන් මේ වන විට බරපතළ  අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඔහු පුද්ගලික Facebook ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබෙන්නේ “රැඳවියන්ටත් PCR පරීක්ෂණ සිදු කිරීමේ රාජ්‍ය විරෝධී ක්‍රියාවට එරෙහිව දඬුවම් ලැබෙන තුරු බලා සිටිමි” යනුවෙනි.

එමෙන්ම මහර බන්ධනාගාරය තුළ ගැටුම ඇති වීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ  සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරියෙකුගේ  අත්තනෝමතික ක්‍රියාකාරකමක් බවද  ඔහු අනාවරණය කරනවා.

එමෙන්ම අදාළ වරද කාගේ හෝ පිට පැටවීම සඳහා උත්සාහ දරන ආකාරයක් පෙනෙන්නට ඇති බවද වෛද්‍ය ඉන්ද්‍රජිත්  පනාවැන්න මහතා අනාවරණය කරනවා.

PCR පරීක්ෂණ සිදුනොකර බන්ධනාගාර අතර රැදවියන් මාරු කිරීමට යාම ගැටුමට මුලයි.

අත්‍යවශ්‍යම අවස්ථාවක බන්ධනාගාර රැඳවියන් මාරු කරන්නේ නම් අනිවාර්යයෙන්ම ඔවුන් PCR පරීක්ෂණයන්ට ලක් කළ යුතු බවට සඳහන් චක්‍රලේඛය උල්ලංඝණය කරමින් කටයුතු කිරීමට  උසස් නිලධාරියෙකු කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස  මහර බන්ධනාගාරය තුළ කොරෝනා රෝගය ව්‍යාප්ත වූ බව වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් අදාළ උසස් නිලධාරියාමේ වන විට  සිය දේශපාලන බලය සහ මාධ්‍ය යොදා ගනිමින් එම සිද්ධිය යටපත් කිරීමට කටයුතු කරන බව ද  ඔහු  සඳහන් කරනවා. 

මුල් අවස්ථාවේදී PCR පරීක්ෂණ සිදු කිරීමට  යාම හේතුවෙන්  බන්ධනාගාර තුළ ගැටුමක් නිර්මාණය වූ බව පවසමින්  කටයුතු කෙරුණද ,  පසුව එය  බන්ධනාගාරය තුළ  මානසික බෙහෙත් අධි ප්‍රමාණවලින් ගබඩා කිරීම නිසා සිදුවූවක් බව පවසමින් සිද්ධිය වෙනතකට යොමු කිරීමට උත්සහ කරන බවද ඔහු පෙන්වා දෙනවා.

මහර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී  ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා  තම Facebook ගිණුමෙහි  සටහනක් තබමින්  මෙම කරුණු හෙළි කර තිබෙනවා.

 අදාල ෆේස්බුක් සටහන..

“PCR නොකර බන්ධනාගාරයකින් සිරකරුවන් මාරු නොකිරීමට පනවා තිබූ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් , ඉහල බලධාරියා කරන ලද අන්තනෝමතික ක්‍රියාව නිසා මහර බන්ධනාගාරයට කොරෝනා රෝගය බෝවීම සිදුවිය. 

ඔහු ඉන් ගැලවීමට මාධ්‍ය මෙහෙයුමක් හා දේශපාලන බලය යොදවමින් සිටී.

මුලදී වැඩිපුර පරීක්ෂණ කරන ලද හෙයින් සිදුවූ බව කිවූ කැරැල්ල, පසුව මානසික බෙහෙත් අධි ප්‍රමාණ වලින් ගබඩා කිරීම නිසා සිදුවුනි යයි පවසයි.

ඊයේ රාත්‍රී බන්ධ:අධිකාරීවරයා නිදිමතවිය හැකි ඖෂධ වර්ග විමසා සිටි අතර ඊට මානසික රෝගවලට දෙන ඖෂධ වලට අමතරව පිරිටන් හා පෙනගන් අයත් බව පැවසූ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් මාස 04 ක් සදහා, රජය විසින් මානසික වෛද්‍යවරුන්ගේ හා ඕපීඩී වෛද්‍යවරුන්ගේ ඉල්ලිම මත රැදවියන් 3000ක් සදහා ලබා දී තිබූ බෙහෙත් තොග ගැන දත්ත ඉදිරිපත් කර ඇත. 

වෙනදා භාවිතා වන ප්‍රමාණයට වඩා බෙහෙත් ගෙන්වාගෙන නැති අතර මෙම බෙහෙත් පිලිබදව අමාත්‍යාංශය සොයා බැලීම් සිදු කරයි.  

තවද මෙම බෙහෙත් මා පැමිනීමට පෙර අනුමත කරවාගත් ඖෂධ වේ. 

තවද රැදවියන් පෙලඹවීමක් ගැන සාවද්‍ය චෝදනාවක් යොමුකර ඇති අතර , මා රෝගීන් හා ගැටෙන රෝහල තුලින් එවැනි සිදුවීමක් පැන නොනැගී ඇති හෙයින් හා මා බාහිර රෝගී අංශයේ රෝගින් නොබලන බැවින් , ඊට මා සම්බන්ධ නැති බව පැහැදිලිය. 

එනමුදු වරින්වර චෝදනා වෙනස්කරමින් මේ අපරාධයට මා සම්බන්ධ කිරීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීම පිලිකුල් සහගතවේ”

මෙම සටහනට අනුව මහර බන්ධනාගාරය තුළට කොරෝනා පැමිණ ඇත්තේ යම් උසස් නිලධාරියෙකු චක්‍රලේඛ පවා උල්ලංඝනය කරමින් මහර බන්ධනාගාරයට වෙනත් බන්ධනාගාරවල රැදවියන් ඇතුලත් කර ගැනීමෙන් බව පැහැදිලි වේ.

එමෙන්ම වෛද්‍ය  ඉන්ද්‍රජිත් පනාවැන්න මහතාට අනුව වෙනත් චෝදනා එල්ල කරමින් සිද්ධියේ සත්‍ය තත්වය යටපත් කිරීමට උත්සහ දරන බවද පෙනෙන්නට තිබේ.

අදාළ Facebook ගිණුමෙන් උපුටා ගත් ඡායාරූප පහත දක්වා ඇත.