Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පාස්කු අවනඩුව විසඳීම දෙවියන්වහන්සේටවත් භාර කරමු , වෙන කරන්න දෙයක් නෑ – කාදිනල් උන්වහන්සේ නොසතුටින්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි බැවින් සියලු කතෝලිකයන්ට දැන් සිදුවී ඇත්තේ මේ අවනඩුවට විසදීම දෙවියන්වහන්සේට භාර දීමට පමණක් බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.

ජේසුස් වහන්සේගේ කුරුසියේ දිවි පිදීම සිහිකෙරෙන සමය ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ, කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ ඊයේ (17 වැනිදා) පැවැති අළු බදාදා දේවමෙහෙයට එක වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මෙහිදී පවසා සිටියේ ඊයේ (17 වැනිදා) දිනයේ ආරම්භ වූ චතාරික කාලය පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත්වූ පුද්ගලයන්ට ඉටුවිය යුතු සාධාරණය ඉටුවේවායි යාඥා කිරීමට යොදා ගන්නා ලෙස සියලු කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මෙම ප්‍රහාරය සංවිධානාත්මකව සිදුකළ බවට මේ වන විට ඔප්පු වී ඇතැයිද මෙය පිටුපස මෙරටේ සහ වෙනත් රටවල කණ්ඩායම් සිටින බවද උන්වහන්සේ පැවැසූවා.

මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදීම ජාතික වගකීමක් බවත් වෙනත් ආගම්වල පිරිස් එකට එක්වී මේ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිය යුතු බවත්, සියලු ආගම් අතර සමගිය සහජීවනය රැකගන්නා නව සංස්කෘතියක් මෙරටේ නිර්මාණය කළ යුතු බවද උන්වහන්සේ අළු බදාදා දිනයේදී වැඩිදුරටත් සඳහන් කළා.