Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පවිත්‍රාගේ මුට්ටියෙන් පහල වු පන්සලේ විද්‍යාව

රටේ සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවිය තම වගකීමෙන් ඇබිත්තක් වත් ඉටු නොකොට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ පවා මිලදී නොගෙන ගංගා වලට මුට්ටි කළගෙඩි අතහැරීමට ගොස් මීට දින කිහිපයකට පෙර අජපල් විය.

එලියන්ත වයිට් නම් රාජකීය වෙදැදුරා කුණ්ඩලනිය ශක්තියක් මවා පාමින් මතුරා දුන් බව පැවසෙන කොරෝනාවට එරෙහි කළගෙඩි ගඟේ දැමීමට ගිය උන් ගියේ ද මුව ආවරණ දමාගෙනය.එලියන්ත ගියේ ද එහෙමය.

එයින් කම් නැත නමුත් පවිත්‍රා ගේ මුට්ටි කෙලියෙන් අවසානයේ විද්‍යාව පහළ විය.

වඩාත් වැදගත් වන්නේ වට පිටාවේ විද්‍යාව පහළ වීම නොව පන්සලේ විද්‍යාව පහළ වීමයි.

පවිත්‍රා ගේ මුට්ටි සෙල්ලම දුටු භික්ෂු කුලකයේ හිමි වරු කිහිප නමක පවිත්‍රාට එරෙහිව ටොක්කක් ඇනීමට කටයුතු කළෝය.ආගමේ වැඩ පූජ්‍ය පක්ෂය විසින් සිදුකර ගනු ඇති බවත්, රාජ්‍ය පාලනයට අදාල වැඩ දේශපාලන නායකයින් සිදුකර ගත යුතු බවත් ඒ හිමිවරුන් පෙන්වා දෙන්නට යෙදුණි.

සැබෑ බෞද්ධ දර්ශනය අනුව යන්නන්ට දොහොත් මුදුන් දී සාධුකාර දෙන්නද හිතෙන වචන පෙළක් පන්සලෙන් පිටවිය.

නමුත් පන්සලේ මේ විද්‍යාව පහළ වන්නට පවිත්‍රාට මුට්ටිය ගඟට අත හරින්නට ම සිදුවිය.

නැත්නම් භික්ෂු කුලකයේ බොහෝ දෙනෙකු සිතා සිටින්නේ තමන් රාජ්‍ය පාලකයන්ටත් ඉහළින් කරනම් ගසමින් සිටින අමුතුම පන්නයේ පිරිසක් කියාය.

ඕනෑම ජඩ වැඩක් කොට බුද්ධ චීවරයට මුවා වී ඒවා යටපත් කරගැනීමට පමණක් නොව වන්දනාමානයට පාත්‍ර වෙමින් not out ව සිටීමට  බුදු දහම වනසමින් ⁣තමා තමන් විසින්ම සාදාගත් බඩගෝස්තර දර්ශන ඇදබාන සමහරක් ශ්‍රමණවේශධාරීන් කටයුතු කරමින් සිටින්නේ ආර්ය මහාසංඟරත්නයේ නම කැත කරමිනි.

පවිත්‍රා ගේ මුට්ටියෙන් පන්සලේ විද්‍යාව පහළ වීම නම්  සැබවින්ම ජයග්‍රහණයකි.කොරෝනා කෙසේ වෙතත් සුව වෙමින් යන මෙම බරපතළ රෝගය සම්බන්ධයෙන්  පවිත්‍රාට පින් දිය යුතුය.

ආගම මගින් පෙන්වා දී ඇති මග අනුව යමින් මිනිසුන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කිරීමේ  මූලික කටයුත්තත්, මිනිසුන්ගේ ලෝකෝත්තර ජීවිතය සුවපත් කිරීමේ කටයුත්තේ වගකීමත් පැවරෙන්නේ පූජ්‍ය පක්ෂයටයි.

රාජ්‍ය පාලනය , මිනිසුන්ගේ ලෞකික ජීවිතය සුවපත් කිරීමේ  වගකීම  පැවරී ඇත්තේ  රාජ්‍ය පාලකයන්ටයි.

එම රාජ්‍ය පාලකයා , ඒකාධිපතියෙක් ද ,අධිරාජ්‍යයෙක්ද, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද,කොමියුනිස්ට් නායකයෙක්ද යන්න තීරණය කරන්නේ අදාළ රාජ්‍ය ක්‍රමය විසිනි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් පුරවැසියන්ගේ බහුතර කැමැත්තෙනි.

එවන් වට පිටාවක නිර්මාණය වන පාලනයක හැම මඟුලකටම අයිතිකරුවන් ලෙස අත දැමීම ආගමික සංස්ථාට අයිතියක් නීතියෙන් වත් ,සදාචාරයමය වශයෙන් වත් ආගමික වශයෙන්වත් නැත.

නමුත් ආගම දේශපාලන සමඟ අමට්ටා උට්ටලං කෙළි නටපු ඈයන් විසින් ජන විඥානය පුස්සක් කොට නිර්මාණය කළ පාලන ක්‍රමය තුළ දැන් හොටු පෙරන්නට යන භික්ෂු කුලකය නියෝජනය කරන ඇතැම් හිමිවරු පිළිඹිබු කරන්නේ තම ආගමික සංස්ථාවේ නියමිත කාර්යභාරය ,වගවීම වගකීම යන සියල්ල අමතක කොට වෙනත් කොන්ත්‍රාත් ඉටු කිරීමට යාමේ ආදීනවයි.

බුද්ධ දර්ශනයේ ඉගැන්වෙන විද්‍යාව පවා මරා දමා තම පටු ලාභ අපේක්ෂාවන් අරමුණු කරගනිමින් හැසිරුණු බොහෝ දෙනෙකුට දැන් සිදුව ඇත්තේ උඩ බල බලා  කෙල ගසා ගැනීමට පමණි.

” සීසර්ගේ දේ සීසර්ට දීපල්ලා – දෙවියන්ගේ  දේ දෙවියන්ට දීපල්ලා ” යනුවෙන් කියමනක් තිබේ. 

මින් කියැවෙන්නේ රාජ්‍ය පාලනය රාජ්‍ය පාලකයන්ට සිදු කිරීමට ඉඩ ලබාදිය යුතු බවයි. ආගමික සංස්ථාවේ කටයුතු  ආගමික නායකයින් විසින් ඉටු කළ යුතු බවයි. මේ කොටස් දෙක එකට එක් කිරීමට යාමෙන් සිදුවන්නේ අනර්ථයකි.

ආගමික නායකයින්  සිදු කළ යුත්තේ රාජ්‍ය පාලකයන් දැහැමි මිනිසුන් කිරීමට  කටයුතු කිරීම විනා.රැවටිලිකාර රාජ්‍ය පාලකයන් සමඟ එක්ව ඔවුන්ට රටේ ජනතාව රැවටවීමට උඩගෙඩි ලබාදී පසුව හොටු පෙරා හැඬීම නොවේ.

ආගමික නායකයන්ට  හොඳ නරක නිවැරදිව දැකීමටත් විවේචනය කිරීමටත් ශක්තිය තිබිය යුතුය.

ඔවුන් දේශපාලන සංස්ථාවෙන් ඈත් වී ආගමික සංස්ථාව ශක්තිමත් කරමින්  කටයුතු කළ යුතුය.

දානය , ප්‍රිය වචනය ,සමානාත්මතාව ,අර්ථ චරියාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය මානව හිමිකම් , අයිතවාසිකම් පිළිබඳව රටේ ජනතාව දැනුවත් කළ යුතුය.දේශපාලන භේදයකින් තොරව මිත්‍යාදෘෂ්ටිකත්වයෙන් ජනතාව මුදා ගනිමින්  යථාර්ථය සමඟ ගනුදෙනු කිරීමේ  බලය  ජනතාවට ලබාදීමේ වගකීම  පූජ්‍ය පක්ෂය දැරිය යුතුය.

එසේ නොමැතිව එක් එක් දේශපාලන පක්ෂවල සහ එක් එක් පුද්ගලයන්ගේ කොන්ත්‍රාත්තු  ඉටුකිරීමට  පූජ්‍ය පක්ෂය කටයුතු කිරීමත් ඉන් ඉක්බිතිව තමාට වරදාන වරප්‍රසාද තනතුරු තානාන්තර ලැබේයැයි බලාපොරොත්තුව සිට ඒවා නොලැබුණු විට නිර්දය විවේචන වලට යාමත් තුළ පිළිබිඹු වන්නේ දේශපාලන සංස්ථාව මෙන්ම ආගමික සංස්ථාවේ ද සිදුව ඇති බරපතළ බිඳවැටීමයි.

පවිත්‍රාගේ මුට්ටි අත්හැරීමෙන් පසු ඉරි ගසා වෙන් කර ගැනීමට උත්සාහ කරන දේශපාලන සංස්ථාවේ කාර්යය භාරයත්, ආගමික සංස්ථාවට අනන්‍ය වූ කාර්යභාරයත් අඛණ්ඩව පවත්වාගෙන යා හැකි නම් භික්ෂුව පක්ෂ දේශපාලනයෙන් වියුක්ත වෙමින් තමන්ට අදාල ආගමික සංස්ථාවේ කටයුතු පිළිබඳ පූර්ණ අවධානයෙන් යුක්තව කටයුතු කරන්නේ නම් දුර්දාන්ත පාලකයන් ,දූෂිත පාලකයන්, මං පහරන්නන් , හොරුන්  , ස්ත්‍රී දූෂකයන් ,ළමා  අපචාර කරුවන් මෙම සමාජය තුළ බිහි  නොවණු ඇත. රටටම ඒ ඒ ආගම්වල යහපත් හරයන්ගෙන් පොහොසත්ව සාදු සමාජයක් නිර්මාණය වනු ඇත.