Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජාතික ආරක්ෂාව පවා බරපතල අනතුරක – බුද්ධි අංශ තොරතුරු දුර්වලම අඩියක?

බුද්ධි අංශ ද මැදිහත්ව ලබා දුන් තොරතුරුත් අභියෝගයට ලක් වෙයි

මේ වන විට රට තුළ බුද්ධි අංශ වාර්තා අභියෝගයට ලක්වෙමින් තිබෙනවා.

මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල අනතුරක් වන අතර රටේ බුද්ධි අංශ තොරතුරු සත්‍යතාවය වන්නේ නම් අතිශය තීරණාත්මක තත්වයක්.

ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ලබාගත් බුද්ධි අංශ හරහා තහවුරු කරගන්නා බව පැවසෙන තොරතුරු ද අසත්‍ය ඒවා බව තහවුරු වී තිබීමයි.

පසුගියදා (17) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ කොරෝනා සම්බන්ධ තොරතුරු එක්රැස් කිරීමේ කාර්යයට බුද්ධි අංශ සහාය ලබා ගන්නා බවයි.

ඒ අදාල තත්ත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවකට පැමිණීම වෙනුවෙන් බව ද ඔහු අවධාරණය කළා.

නිවැරදි තොරතුරු නොමැතිව නිවැරදි තීරණ ගත නොහැකි බව පැවසු රණතුංග මහතා ආණ්ඩුව විසින් කොරෝනා දත්ත විකෘති නොකරන බව අවධාරණය කළා.

අමාත්‍යවරයා එම කරුණු මතු කළේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා විසින් රජය විසින් ඉදිරිපත් කරන දත්ත ඉහළ හමුදා නිලධාරියකු සහ තවත් කිහිපදෙනකු විසින් විකෘති කරන බවට සිදු කළ චෝදනාවට ප්‍රතිචාර වශයෙන්.

කෙසේ නමුත් මේ වනවිට ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ රැසක නායකයින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් තහවුරු කර තිබෙන්නේ ආණ්ඩුව විසින් මුදා හරින කොරෝනා දත්ත වාර්තා විකෘති කරන ලද ඒවා බව ඔවුන්ට ද තහවුරු වී ඇති බවයි.

මීට අමතරව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනෙකු ද රජය විසින් මුදා හරින කොරෝනා සංඛ්‍යා දත්ත අභියෝගයට ලක් කර තිබෙන්නේ සාක්ෂි සාධක සහිතව යි.

මින් පැහැදිලි වන්නේ බුද්ධි අංශවල සහයෝගය පවා ලබා ගනිමින් රජය ඉදිරිපත් කරන කොරෝනා සම්බන්ධ දත්ත වාර්තා අසත්‍ය ඒවා බවක් නො වේ ද?

රජයේ ම රෝහල් පද්ධතිය නිසි ලෙස සම්බන්ධීකරණය කරමින් කොරෝනා සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා ගැනීමට පවා බුද්ධි අංශය අසමත් වන්නේ නම් කිසිවකුටත් නොපෙනෙන පරිදි නොදැනෙන පරිදි සැලසුම් සහගතව දියත් කෙරෙන ‍ ත්‍රස්ත කුමන්ත්‍රණ ඇතුළු රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක වන බුද්ධි තොරතුරු ඔවුන් ලබා ගන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් නොවන බව කිව හැක්කේ කාටද?