Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනමාධ්‍යය සමඟ හැංගිමුත්තන් කරන එම්මානුවෙල්.

ප්‍රංශයේ ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්රොන් මාධ්‍යවේදීන් සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කරන බව පෙනේ. 2017 වසරේ ජනාධිපති ධූරයට පත් වන තුරු නම් මාධ්‍යය ඉදිරියට පැමිණීමට කිසිදු පැකිළීමක් නොදැක්වූව ද, ඉන් පසු එම්මානුවෙල් ජනමාධ්‍යය තුළ දැක ගත හැකි වූයේ ඉතා කලාතුරකිනි. මුල සිට ම මේ පිළිබඳ යම් යම් කසුකුසු තැනින් තැන අසන්නට ලැබුණ ද, අද වන විට එම තත්ත්වය වඩාත් බරපතල වී තිබේ. කොවිඩ් 19 වසංගතය හේතුවක් කරගෙන ඇති ජනාධිපතිවරයා, සිය ආරක්ෂාව තකා කිසිදු මාධ්‍යවේදියෙකු ජනාධිපති මන්දිරයට ඇතුළත් කර නොගන්නා බවට නිවේදනයක් නිකුත් කර තිබේ. 

මේ වන විට ප්‍රංශයේ කොවිඩ් 19 ආසාදිතයින් ගණන 173,850කට ආසන්න වී ඇති අතර මරණ ගණන 30,150ක් පමණ වෙයි. මේ පිළිබඳ රටෙහි නායකයා වශයෙන් එම්මානුවෙල් මැක්රොන් වග කිව යුතු වුව ද, ඒ පිළිබඳ කිසිදු නිදහසට කරුණු දැක්වීමක් සිදු කිරීමට ඔහු සූදානම් නැත. ඔහු පවසනුයේ කිසියම් මාධ්‍යවේදියෙකුට ඇසීමට ප්‍රශ්න තිබේ නම්, ඔහු විදේශ කටයුතු ඇමතිවරයා හමු වීම හෝ නැතහොත් මුඛ ආවරණ නිෂ්පාදනය කරන කම්හලකට ගොස් ප්‍රශ්න කිරීම වඩාත් සුදුසු වන බව යි. එහෙත් ජනාධිපතිවරයා වශයෙන් ඔහු දිය යුතු පිළිතුරු කර්මාන්ත ශාලාවකින් ලබා ගන්නේ කෙසේ ද යන්න එම්මානුවෙල් අදටත් පැහැදිලි කර දී නොමැත. 

ජනමාධ්‍යවේදීන් “ජනතාවගේ සතුරා” ලෙස හංවඩු ගැසූ ඩොනල්ඩ් ට්‍රම්ප්, වසංගතය අතරතුර වාර්තාකරුවන් සමඟ නිතර කතා කළේය. එක්සත් රාජධානියේ අගමැතිවරයා වන බොරිස් ජොන්සන් COVID-19න් දරුණු ලෙස රෝගාතුර වීමට පෙර සහ පසු මාධ්‍යය වෙත පිළිතුරු ඉදිරිපත් කර තිබේ.  වෛරසය පැතිරීම මැඬපැවැත්වීමේ අභියෝග පිළිබඳව පුවත්පත් සාකච්ඡාවල දී කළ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සඳහා ජර්මනියේ ඇන්ජෙලා මර්කල් ජාත්‍යන්තර ප්‍රශංසාව පවා දිනා ගත්තාය. එවන් තත්ත්වයක් යටතේ දී තරුණ නායකයෙකු වන එම්මානුවෙල් මෙතරම් බිය වී සිටින්නේ මන්ද යන්න පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යය දැඩි කළකිරීමකින් පසු වන බව පෙනේ.