Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගරු මංගල අයියාට තලතා නංගි ලියු ලිපිය – තලතා අතුකෝරල

ගරු මංගල අයියා,

මා ඔබට ගරුකොට සලකන්නේ ඔබ සැබවින්ම ගෞරවාන්විත ආදර්ශමත් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් දේශපාලනඥයෙකු වශයෙන් ජීවිතය ගත කළ නිසායි.

අයියා කියා ආමන්ත්‍රණය කළේ අපේ ඥාතිත්වයෙන් ඔබ මට අයියා වුවත් ඊට එහා ගිය සහෝදර බැඳීමක් අප තුළ තිබුණු නිසායි.

මා හට යම් දේශපාලනය පිළිබඳ අවබෝධයක් ලැබුණේ අපේ ගෙදර තිබුණු දේශපාලන පසුබිම හේතුවෙන්, මා කුඩා අවධියේ සිටයි. ඒත් මගේ දේශපාලනය තුළ අත්දැකීම් ඒ අවස්ථාවේ නොතිබුණත් කිසිම දවසක මම දේශපාලඥයෙකු වශයෙන් ඔබට ඇලූම් කළේ නැහැ.

ආශ්‍රයෙන් හෝ දැනුමෙන් ඔබ පිළිබඳ අවබෝධයක් නොතිබුණත් සමහර අවස්ථාවල ඔබගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට මම කැමති වුණේ නැහැ.

මගේ සහෝදරයාත් ඔබත් දේශපාලන මාවත් දෙකක ගමන් කළ අයයි. 2005 ජනාධිපතිවරණයට පෙර ඔබතුමා හදිසියේම වගේ මගේ අයියාගේ මරණය පිළිබඳ සැකයක් පවතින බවත්, ඒ පිළිබඳව සොයා බැලීමට 2005 ජනාධිපතිවරණයෙන් පසුව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බවත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පැවසුවා.

මම ඊට පිළිතුරු ලබා දුන්නේ ඔබ සමග මහා වෛරයකින්. මගේ අයියාගේ මළ ගෙදරවත් සහභාගි නොවූ ඔබට ඒ පිළිබඳව අවශ්‍යතාවයක් පැන නැගුනේ නම් ඊට අවශ්‍ය කටයුතු කිරීමට අප පවුලට ශක්තිය තිඛෙන බවත්, මළ මිනී මතින් දේශපාලනය නොකරන ලෙසටත් මා පැවසුවා.

ඒ තමයි මගෙයි ඔබගෙයි දේශපාලන ඉතිහාසය. නමුත් 2007 වර්ෂය වන විට ඔබ වගකීම් දරපු ආණ්ඩුවෙන් එළියට ආවේ, ජනාධිපතිවරයාගේ හෝ එම රජයේ වැඩපිළිවෙල අනුමත නොකළ නිසා බව මා අවබෝධ කර ගත්තා.

ඔබ “ම” පාර්ශ්වය ගොඩනගාගෙන එදා අපේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරවීමට මහත් වෙහෙසක් දරමින් කටයුතු කළා.

ගරු මංගල අයියා, 2005 එම ජනාධිපතිවරණයෙන් පසුව ඔබව යම් තරමක් තේරුම් අරගෙන හිටපු මම, ඔබ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ගෙන සහභාගී වුණ මාතර බෝධීන් වහන්සේ අසල තිබුණු පිළිගැනීමේ උත්සවයට සහ ආශිර්වාද පූජාවට සහභාගි වුණා.

පාර්ලිමේන්තුවේ එවකට හිටපු අයගෙන් මට මතක මමත් සාගලත් විතරයි එදා හිටියේ. එදායින් පටන් ගත් අපේ දේශපාලන ඥාතිත්වය සෑහෙන දුරට වර්ධනය වුණා පමණක් නොව ඔබ තුළ තිබුණු අපූරු ගුණාංගයන් පිළිබඳව මහා ගරුත්වයක් මා තුළ ඇති වුණා.

2012 පළාත් සභා මැතිවරණයට අප මුහුණ දුන් අවස්ථාවේ මගේ ඉල්ලීමට ඔබ නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ ජනහමු කිහිපයකට සහභාගි වුණා. දේශපාලන වශයෙන් නොයෙක් ආකාරයේ තෙරපීම් වලට මුහුණ දුන් අපට ඔබ මහා රැකවරණයක් ලබා දුන්නා.

ඉස්සරහට ගත් අඩිය ආපස්සට ගන්නට ඔබ කවදාවත් සූදානම් වුණේ නැහැ. ඒ මම ඔබගේ දැක්ක මහා දැවැන්ත පෞරුෂත්වයේ ගුණයක් වුණා. යහපාලන රජය බලයට පත් වී ඔබ විදේශ කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් සිටියදී මා දැරූ විදේශ රැකියා සම්බන්ධ වගකීමට මහත් ශක්තියක් වුණා.

ඒ හැම එකක්ම කෙටියෙන් ලිවීමට අවශ්‍ය වුණත් විශේෂ අවස්ථා දෙකක් පමණක් මෙහි ලියන්නේ ඒ සඳහා කෘතවේදීත්වය ඔබ වෙත තැබීමට මුළු රටම අවදි කරවන්නයි.

එක අවස්ථාවක, 2015 දෙසැම්බර් මස අප රටේ කාන්තාවක සෞදි ආරාබියාවේදී ගල් ගසා මරා දැමීමට කර තිබූ තීන්දුව ආපසු හරවා ඒ කාන්තාවට නිදහස ලබාදී ආපසු ගෙන්වා ගැනීමට ඔබගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය තුලින් අවශ්‍ය කටයුතු කළා.

ඔබතුමාට මා ඒ සම්බන්ධව කරුණු කියද්දී එතරම් ගණනකට නොගත්තා සේ සිටියත් ඊළග පැය 24 තුළ ඔබේ ක්‍රියාත්මක වීම මට කිසිම දවසක අමතක කළ නොහැකියි.

ඒ තීන්දුව නැවත වෙනස් කොට එම අධිකරණයෙන් ප්‍රකාශයට පත් කළේ 2016 වර්ෂයේදීයි. ඔබට තිබුණු සතුට මා ඔබ වෙත පළ කළේ ඉතා හැගීම් බරවය. ඒ කාන්තාවට ආපසු අපේ රටට පැමිණ හොඳින් ජීවත්වීමේ වරම ඔබ ලබා දුන්නා.​

ඔබ විදේශ අමාත්‍යවරයා වශයෙන් මාව කොරියාවට ගෙනගොස් කොරියානු රජයේ වගකිව යුතු අය මුණ ගැසී, කොරියානු රැකීරක්ෂා ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළේ කොරියානු රජයේ ද සහයෝගීතාව උපරිමයෙන් ලබාගෙනයි.

ඔබගේ විශිෂ්ට ගනයේ රාජතාන්ත්‍රික භාවය තුළින් මහගු සේවයක් සහ අප රට ලෝකයේ කීර්තිමත් රටක් ලෙස බබළවන්නට දක්ෂ විදේශ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළා.

ඒ සම්බන්ධව සටහනක් මාගේ මුහුණු පොතෙත්, මාගේ හිටපු මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂගේ මුහුණු පොතෙත් ඊයේ පෙරේදා පළවී තිබුණු බව මම දැක්කා.

ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලය තුළ රටේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලබා දී අපේ රට වෙනස් කිරීමට මහත් කැපවීමකින් කටයුතු කළත්, සමහර අදුරදර්ශී අවස්ථාවාදීන් ඔබව විවේචනය කළා.

ඒත් රටක් වශයෙන් ලැබිය හැකි හොඳම මුදල් ඇමතිවරයෙක් ලැබූ යුගය ඔබේ යුගය යැයි මට හිතෙනවා.

රටේ යමක් කමක් නැති පුද්ගලයින්ට පටවා තිබුණු බදු බර හැම පුරවැසියෙකුගේම වගකීමක් ලෙස ඛෙදී යන ආකාරයෙන් යමකු ලබන ආදායම් මට්ටම මත බදු සංශෝධන ගෙන එන්නට ඔබ යෝජනා කළා.

මම තවත් ඔබ සමග සමීප වන්නට කාරණාවක් වුණෙත් එම තත්ත්වයයි. අපේ සමහර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වගකීම් ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරනවාට වඩා ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඔඛෙන් උදව් ලබා ගත්ත අවස්ථා අනන්තයි, අප්‍රමාණයි.

නමුත් ඔබතුමා ඒ කිසිවෙක් ඛෙදා වෙන් කළේ නැහැ. හැම කෙනෙකුටම අවශ්‍ය උපරිම සහයෝගය ලබා දුන්නා. ඒ අතරතුර මම අධිකරණ අමාත්‍යංශය භාරව කටයුතු කළ කාලයේ ඔබගේ සහයෝගය උපරිම වශයෙන් ලබා දුන්නා.

මාගෙන් එම ක්ෂේත්‍රයට විය යුතු වූ සේවාවක් සඳහා මාගේ ඉල්ලීම් වලට ඔබ අවශ්‍ය උපරිම සහයෝගය ලබා දුන්නා.

දශක ගණනාවකින් උගත් විනිශ්චයකාරවරුන්ගේ වැටුප් සංශෝධනයක් නොකළ අවස්ථාවන් වල දී එතුමන්ලාගේ සාධාරණ ඉල්ලීම් සලකා බලා වැටුප් සංශෝධනය 2018 ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ඔබ නිහතමානිව අදහස් කළේ ඒ සමගම රටේ අධිකරණ කි්‍රයාවලිය ස්වාධීනව විය යුතු බව සහ එහි ප්‍රධානියා ස්වාධීන විය යුතු බවයි.

යහපාලන රජය කාලයේ ඒ සඳහා අවශ්‍ය පියවර ගත් නිසා අද අධිකරණයේ ඉහළ සිට පහළ දක්වා විනිශ්චයකාරවරුන්ට තම තනතුරෙහි ගෞරවය, අභිමානය රැක ගැනීමට හැකි වෙලා තිඛෙනවා.

එදා අළුත්කඩේ අවුරුදු 200 කට වඩා පැරණි ගොඩනැගිලි කඩා වැටෙනකොට උපරිමාධිකරණ සංකීර්ණයේ අළුත්වැඩියාව ප්‍රමාද වෙනකොට ඔබතුමා අධිකරණ 40 න් යුතු වූ අධිකරණ සංකීරණයත්, අධිකරණ අමාත්‍යාංශ්‍යයත්, විනිශ්චයකාර පුුහුණු මධ්‍යස්ථානයත්, වාහන 300 ක් නැවැත්විය හැකි වාහනාංගනයත් කුළුණු 3 ක ආකාරයෙන් ගොඩ නැගීමට අවශ්‍ය සියළුම කටයුතු කර, එය අපේ රටේ ජනතාවට බරක් නොවන ආකාරයෙන් ඉදි කිරීමට මාව දිරිමත් කළා.

ඒ සඳහා පසුගිය දිනක වර්තමාන අග්‍රාමාත්‍යවරයා මුල්ගල තැබුවේ ඔබ ආරම්භ කළ ක්‍රියාවලිය නිසායි.

රත්නපුර අධිකරණ සංකීර්ණය 1985 ‌ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ධුර කාලය තුළ ගොඩනැගුවත් මේ වනවිට අවුරුදු 35 ක් ගත වූ සංකීරණය වෙනුවෙන් රු. ලක්ෂ 25000 ක් වටිනා අධිකරණ සංකීර්ණයක් ලබා දී රත්නපුර දිස්ත්‍රික්කයට වටිනාම ගොඩනැගිල්ල ලබා දුන්නා.

ගරු මංගල අයියා, ඔබගේ තිබුණු කැපවීම, දුර දක්නා නුවණ, සෘජු භාවය, ප්‍රතිපත්තිගරුක භාවය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානාත්මතාව වැනි ගුණාංග නිසා ඔබගේ තීන්දු තීරණ තුළින් නිවැරදි දිශානතියකට අප රටට ජාතියට ගමන් කිරීමට තිබුණු ඉඩ ඉතා වැඩි වුනා.

මනුෂ්‍ය නිදහස අගය කළ ඔබ බෞද්ධ දර්ශනය තුළ පදනම් වූ සමාජයක සියළු ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ ආගම, දේශපාලනය තුළ ජීවත් වීමේ නිදහස ලබා දෙන්න උත්සාහ ගත්තා. මුදල් අමාත්‍යවරයා ලෙස ඔබ ක්‍රියාත්මක කළ ගම්පෙරළිය වැඩ සටහන තුළින් දිවයිනේ සියළුම මැතිවරණ බල ප්‍රදේශයකටම රු. ලක්ෂ 3000 ක් වෙන් කරනකොට ඔබ අපට උපදෙස් දුන්නේ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කරන්නට විහාරස්ථානයන්හි පැවැත්මට අවශ්‍ය මුදල් වෙන් කිරීමට ප්‍රමුඛස්ථානය ලබා දෙන ලෙසයි.

මනුෂ්‍යත්වයේ නොමැකෙන සටහනක් තබමින්, අප අතරින් ඔබ වෙන්ව ගියත්, අපේ හදවත් තුළ සදාකාලිකව “මංගල” ජීවත් වන බව සහතිකයි.

මීට,

තලතා නංගී.