Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“කොවිඩ් පැරදවීමට නබි තුමාගේ ඉගැන්වීම් අනුව යමු” අධිකරණ ඇමතිගෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් හා මුස්ලිම්වරුන් අතර පවතින බැඳීම ලොව අන් කිසිදු රටක දක්නට නොලැබෙන සුවිශේෂි ගුණාංගයක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා නබි නායක තුමාගේ උපන්දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

රට මුහුණ දී තිබෙන මෙම අභියෝගාත්මක අවස්ථාවේ එම බැඳීම ශක්තිමත් කරමින් කොවිඩ් අර්බුදයෙන් මිදීමට සියලු දෙනා කටයුතු කළ යුතු යැයි ද එම පණිවිඩයේ දැක්වේ.

ඒ මහතා, එම පණිවිඩයේ මෙසේ ද සඳහන් කර තිබේ.

ලොව පුරා වෙසෙන මුස්ලිම්වරු මහම්මද් නබිතුමාගේ උපන්දිනය මේ රාබි අල් අවුලාල් මාසයේ දී සමරති.

තම ජීවිතය දෙස හැරී බලා ඔවුනොවුන්ට ගෞරව දැක්වීමට හා සෙනෙහස දැක්වීම පිළිබඳව මහම්මත් තුමා ලොවට ලබා දුන් පණිවිඩය පිළිපැදීම ඉස්ලාමීය බැතමත්හු මේ පූජනීය දිනයේ සිදු කරති.

ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් පිළිබඳ ඉතිහාසය හත්වන සියවස දක්වා අතීතයට දිව යයි. ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ මෙන්ම ඉතිහාසයේ ද ඉතා වටිනා ස්ථානයක් මුස්ලිම්වරුන්ට ලැබී තිබේ. මේ රටේ සියලු ජාතීන් සමඟ මුස්ලිම්වරු ද දැඩි සහෝදරත්වයෙන් හා බැඳීමෙන් ජීවත් වුහ.

ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් හා මුස්ලිම්වරුන් අතර පවතින බැඳීම ලොව අන් කිසිඳු රටක දක්නට නොලැබෙන සුවිශේෂි බැඳීමකි.

ජාතීන් හා ආගම් අතර භේද ඇති කරවීමට අන්තවාදී බලවේග මෑතකදී යම් යම් උත්සාහයන් දැරුවද තම උපන් රටට හා අනෙකුත් ශ්‍රී ලාංකිකයන් හා ඇති ආදරණීය බැඳීමට මුල් තැන දෙමින් මුස්ලිම්වරු හැමවිමට ක්‍රියා කළහ.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගත තත්ත්වයට මුහුණ දෙමින් පෙර නොවූ විරූ අභියෝගාත්මක අවස්ථාවකට පත්ව තිබේ.ජාතියක් ලෙස අප සියලු දෙනා මේ අභියෝගයට මුහුණ දෙමින් සිටිමු. නව කොරෝනා වයිරසය අපගේ දෛනික දින චර්යාවට හා පිළිවෙත්වලට අභියෝග කරමින් බොහෝ දෙනා දැඩි ආර්ථික දුෂ්කරතාවලට පත් කරමින් සිටියි. මෙම අභියෝග ජයගැනීමට නබි තුමාගේ ධර්මයේ බොහෝ ඉගැන්වීම් අපට ප්‍රයෝජනයට ගත හැකි වකවානුවක් ලෙස ද මේ කාලය හැදින්විය හැකිය. නබි තුමන් සිය දෙසුම්වල සඳහන් කළ සෙනෙහස, සමාව දීම, සමානාත්මතාවය, සහෝදරත්වය පිළිබඳ ව උපදෙස් අප අනුගමනය කළ යුතු කාලය දැන් එළැඹ තිබේ. සෙසු පුද්ගලයන්ට වඩාත් සෙත සලසමින් උතුම් පුද්ගලයකු බවට පත් වන්නට නබිතුමා ලබා දුන් පණිවිඩය වඩාත් ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු කාලය ලෙස ද මේ කාලය හැදින්විය හැකිය. රටක් ජාතියක් ලෙස අප අභියෝගයට මුහණ දී සිටින අවස්ථාවක එම අභියෝග ජය ගැනීම සඳහා සෙනෙහස හා පරිත්‍යාගය පිළිබඳ මහම්මද් තුමාගේ ඉගැන්වීම වඩාත් යෝග්‍ය වේ. සාමකාමී හා ආශිර්වාදාත්මක මිලාද් උන් නබි දින සැමරුමකට සියලු දෙනාට සුභ පතමි.