Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනාට සමාන වූ ආසියානු උණ.

1956 වර්ෂයේ අග භාගයේ දී නැගෙනහිර ආසියාවේ හෙවත් චීනයේ “ගුයිෂෝ” ප්‍රදේශයෙන් ආසියානු උණ රෝගයේ ප්‍රථම ආසාදිතයා හමු විය. මුල් අවස්ථාවේ දී මෙහි රෝග ලක්ෂණ පහළ වූයේ කුඩා දරුවන්, ගර්භනී මාතාවන් හා මහල්ලන් වැනි කාණ්ඩවල සිටින අයගෙන් ස්වල්ප දෙනෙකුට පමණි. පසුව එය ලොව පුරා වේගයෙන් පැතිරිණි.

ආසියානු උණ හෙවත් “එච්2එන්2” වෛරසය ගොඩනැඟුණේ කුරුලු ඉන්ෆ්ලුඑන්සාව සහ මානව ඉන්ෆ්ලුඑන්සාව යන දෙකෙහි රසායනික සංඝටක එකට සුසංයෝග වීමෙනි. 19 වන සියවස අග දී පැතිර ගිය රුසියානු උණ වසංගතය ද මෙම එච්2එන්2 කාණ්ඩයට අයත් වෛරසයක් වූ බව පෙනේ. ආසියානු උණෙහි රෝග ලක්ෂණ කොවිඩ් 19 වසංගතයේ ලක්ෂණවලට බෙහෙවින් සමාන විය. එනම්, උණ, හිසරදය, වියළි කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර අරුචිය, හුස්ම ගැනීමේ අපහසුව ආදිය යි. මෙහි වඩාත් බරපතල ගැටලුව වූයේ රෝගීන් ආහාර ප්‍රතික්ෂ්ප කිරීම යි. එවිට ඔවුන් ක්‍රමයෙන් දුර්වල වූ අතර ප්‍රතිශක්තිය ද හීන විය. මෙවැනි රෝගීන් ඉතා පහසුවෙන් නිව්මෝනියාවට ගොදුරු වූ හෙයින් එය දරා ගත නොහැකි වූවෝ ඉක්මනින් මිය ගියහ. 

චීනයෙන් ඇරඹුණ ද, එය ආසන්නතම රට වූ ඉන්දියාවට පැමිණියේ නැත. දෙවන රෝගියා හමු වූයේ සිංගප්පූරුවෙනි. චීනයේ ආසාදිතයා පිළිබඳ නොදත්තෝ මෙම රෝගය සිංගප්පූරුව පිට දැමීමට ද උත්සාහ කළහ. කෙසේ හෝ මාස කිහිපයක් ඇතුළත වසංගතය තායිවානය, හොංකොං ඇතුළු සම්පූර්ණ නැගෙනහිර ආසියාව ම සිය අණසක යටතට ගත්තේ ය. ජුනි – ජුලි ඇතුළත කාලයේ දී වෛරසය ඉන්දියාවට ඇතුළු වූ පසු සිතාගත නොහැකි තරම් වේගයකින් ලොව පුරා පැතිරිණි. එයට හේතු වූයේ ඉන්දියාවේ වරායයන් හරහා යුරෝපීයයන් ගනුදෙනු කිරීම විය හැකිය. කෙසේ වුවත් යම් ආසාදිතයින් ගණනකට මරණය කැන්දමින් 1956 වර්ෂයේ අවසානය වන විට වසංගතය නිම වන බවක් පෙනෙන්නට තිබිණි. 

එනමුත් යක්ෂයා නිදා ගත්තා විනා මිය ගොස් නොතිබිණි. මෙයට හේතු වූයේ ජනතාවගේ අධිවිශ්වාසය හා නොසැලකිලිමත්බව යැයි නිගමනය කළ හැකි ය. වසංගතය නිම වී වසරකට පසු, එනම් 1958 මුල් භාගයේ දී ආසියානු උණ නැවත හිස ඔසවන්නට පටන් ගත්තේ ය. එයින් වඩාත් බැට කෑවේ වසංගතයේ ආරම්භකයා නොව, පැත්තක සිටි ඇමරිකා එක්සත් ජනපදය යි. දෙවනුව පහර වැදුණේ එංගලන්තයට යි. දෙවන රැල්ල පිළිබඳ සැලකීමේ දී වැඩි ම ආසාදිතයින් පිරිසක් හමු වී ඇත්තේ වයස අවුරුදු 5 – 39 අතර පිරිසෙනි. එහෙත් රෝග වාහකයින් වූයේ වයස 5 -14 අතර පාසල් දරුවන් ය. ඉතිරි පිරිස දරුවන් හා එක් ව කටයුතු කළ මාපියවරුන්, ගුරුවරුන්, පාසල් හා බස් රථ සේවක පිරිස යනාදී අය යි. එම ප්‍රතිශතය 49%ක් විය. ඉතිරි 51% න් වැඩි ප්‍රමාණයක් සමූහ වශයෙන් විසූ සෙබලුන් හා පා පන්දු කණ්ඩායම් ආදී සමූහවලින් සමන්විත විය. ගණනය කිරීම්වලට අනුව ආසියානු උණ වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන එකහමාරකට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් තිබේ. ස්ටර්ලිං පවුම් කෝටියකට වැඩි මුදලක් රෝගය පාලය කිරීම වෙනුවෙන් වැය කර තිබිණි. එහෙත් හදිසියේ බොහෝ රටවල් වසා දැමීමට සිදු වීම හේතුවෙන් ලොවට ම ආර්ථික කඩා වැටීමකට මුහුණ දීමට සිදු වූ බව පෙනී යයි. 

පුරාණ අවධියේ දී මෙන් නොව මේ කාලය වන විට වෛද්‍ය ක්‍රම පිළිබඳ බටහිර මෙන් ම සාම්ප්‍රදායික වෛද්‍යවරුන් විසින් ද යම් ප්‍රගතියක් ලබාගෙන තිබිණි. කෙටියෙන් කියතොත් ලන්ඩන් නුවර පිහිටා තිබූ “ලෝක ඉන්ෆ්ලුඑන්සා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය” හරහා ගෝලීය වශයෙන් වසංගතය පිළිබඳ දැනුවත් වීමටත්, ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමටත් හැකි ව තිබියෙදීත් වෛද්‍යවරු අසරණ වූහ. ඔවුන් කෙතරම් උත්සාහ කළ ද වෛරසය මැඬ පැවැත්වීම පිණිස කළ හැකි දේ ඉතා අල්ප විය. එච්2එන්2 වසංගතය මෙතරම් ගැටලු සහගත ඇයිදැයි ඇසූ විට එම වෛද්‍යවරුන් දුන් පිළිතුර වූයේ,

“රෝගයේ අසාමාන්‍ය ආසාදනය ගැන අප මවිතයට පත් වූයෙමු. ආරම්භයේ දී ආසාදිතයින් හදිසියේම අධික ලෙස රෝගාතුර වූ අතර එහි රෝග ලක්‍ෂණ අනුව පර්යේෂණ කර බැලූ විට දක්නට ලැබුණු ප්‍රෝටීන විද්‍යාවේ ස්වභාවය ගැන ද අපට නිගමනය කිරීමට අසීරු විය.” යන්නයි.

කොවිඩ් 19 වසංගතයේ දී මෙන් මෙහි දී ද ප්‍රතිශක්තියෙන් අනූන පිරිස බේරුණු අතර, දුර්වලයෝ මිය ගියහ. එබැවින් කලින් කලට පැමිණෙන මෙවැනි වසංගතවලින් සිදු වන්නේ අප දන්නා පරිණාමික ක්‍රියාවලියේ එක් කොටසක් වන “උචිතෝන්නතිය”දැයි සැක සිතේ. එනම්, බාධක මැඬලමින් ඉදිරියට ගොස් ජීවත් වීමට හැකියාවක් ඇති පුද්ගලයින් ඉතිරි කොට, අනෙකුත් ජීවිත ලොවෙන් ඉවත් කර දැමීම ය. ඇසෙන විටත් සිරුර ම කිළිපොලා ගිය ද සත්‍යය එය යි. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.