Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කරුණා සහ පිල්ලයාන් ඉන්දීය නි. මහකොමසාරිස්වරයා වෙන වෙනම හමුවෙයි – පළාත් සභා හරහා බලය බෙදීමේ ඉන්දීය මැදිහත්වීම අගයයි

පිල්ලයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා සහ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ ජේකොබ් මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් චන්ද්‍රකාන්තන් මහතා සඳහන් කළේ තමන් සහ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් වරයා හමුවීම සාධාරණ සහ සාමාන්‍ය සිදුවීමක් බවයි.

මෙම සාකච්ඡාවේදී උතුරු නැගෙනහිර තත්වය පිළිබඳවත් නැගෙනහිර පළාත් සභා ඡන්දය පිළිබඳවත් අවධානය යොමු වූ බවද ඔහු සඳහන් කළා.

මෙහිදී ඉන්දියාව විසින් මෙරටට හදුන්වාදුන් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම තමන් ද ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයාට පෙන්වා දුන් බවත් ඒ සඳහා මැදිහත් වීමේ අවශ්‍යතාව තමන් එහිදී ඉස්මතු කල බවත් චන්ද්‍රකාන්තන් මහතා මෙහිදී සඳහන් කළා.

මෙරට තුළ බලය බෙදීම පළාත් සභා ක්‍රමය හරහා සිදුවිය යුතුය යන ස්ථාවරයේ තමන් සහ තම පක්ෂය සිටින බවත් ඔහු සඳහන් කළේ අදාල හමුව පිලිබඳ මාධ්‍යයට වැඩි දුරටත් අදහස් දක්වමින්.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් මහතාද ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් වරයා හමුවී තිබෙනවා.

එහිදී මුරලිදරන් මහතා විසින් අවධරණය කර තිබෙන්නේ උතුරු නැගෙනහිර ජීවත්වන යුද වැන්දඹුවන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ජීවනෝපාය අවස්ථා ඇති කර දීම සහ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ඇතුළුව අධ්‍යාපන අවස්ථා නිර්මාණය වීමේ වැදගත් කමයි.

මෙහිදී ප්‍රතිචාර දක්වා ඇති ඉන්දීය නියෝජ්‍ය මහා කොමසාරිස් වරයා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභාව පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජනතාවගේ මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම ඒ ව්‍යවස්ථානුකුල ලෙස බලය බෙදා හැරීම සුදුසුම මාවත බව ද ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා නැවත වරක් අවධාරණය කර තිබෙනවා.