Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කඳු නඟින්නිය අතුරුදන්.

පිරෙනීස්හි මසකට වැඩි කාලයක් තිස්සේ අතුරුදහන් වී සිටින එස්තර් ඩිංග්ලි නමැති කඳු නගින්නිය පිළිබඳ තවදුරටත් සොයා බැලීම පළක් නොවනු ඇතැයි ඇය⁣ගේ සහකරු පවසා සිටියි.  

තනි ව කඳු තරණයකට ගොස් තිබූ 37 හැවිරිදි එස්තර්, ඇය සැලසුම් කර තිබූ පරිදි නොවැම්බර් 25 වන දින වන විට ආපසු පැමිණීමට අපොහොසත් වී තිබිණි. ස්පාඤ්ඤ හා ප්‍රංශ සෙවුම් කණ්ඩායම්වලට ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකි වී නොමැත.

ඩෑන් කොල්ගේට් නම් වන ඇගේ සහකරු පවසා සිටින්නේ සිය මිතුරියට සිදු වූයේ කුමක්ද? යන්න හරි හැටි නොදැන සිටීම දැඩි සිත් වේදනාවක් බව යි. ඇය ජීවතුන් අතර සිටිනවා ද? නැතහොත් මිය ⁣ගොසින් ද? ඇයට කිසියම් අනතුරක්ද? යනාදී කිසිවක් තමාට සිතා ගත නොහැකි බව පවසන ඩෑන්, ඇය ගිය ගමනේ සැටියට මේ වන විට ඇය මිය ගොස් වන්නට වැඩි ඉඩකඩක් ඇති බව කියා සිටියි.

එනමුත් එස්තර් යනු පළපුරුදු කඳු නගින්නියක බවත් ඇය තමා ගමන් කරන මාර්ගය පිළිබඳ හොඳින් දැන සිටි බවත් ඔහු පැවසීය.

ප්‍රංශ පොලිසිය පවසා ඇත්තේ ඇය අතුරුදහන් විය හැකි ආකාර තුනක් ඇති බව ය. එක්කෝ හදිසි අනතුරක් විය යුතු ය. නැත්නම් සිය කැමැත්තෙන් අතුරුදහන් ව සිටින්නී ය. එසේත් නැත්නම් වෙනත් අයෙකුගේ බලපෑමකින් යම් කිසිවක් සිදු වී තිබේ. කෙසේ වුවත් පොලිස් කණ්ඩායම් තවදුරටත් ඇය පිළිබඳ සොයා බලමින් සිටිති.