Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔබේ තුවාලයටත් ඉහඳ පණු ප්‍රතිකාරය ලබා දුන්නා ද?

පණුවන් ඔබේ සිරුරේ එහා මෙහා යමින් දඟලනවාට ඔබ කැමති ද? තුවාලයක් තුළ පණුවන් සෑදී තිබීම යනු කෙතරම් අප්‍රසන්න දර්ශනයක්දැයි ඔබ දනියි. එහෙත් එම පණුවන් ම ඔබේ ආසාදනවලට ප්‍රතිකාරයක් වන්නේ නම් එය කෙතරම් ජුගුප්සාජනක අදහසක් ද? 

සාමාන්‍යයෙන් තුවාලයක් තුළ ඉහඳ පණුවන් සිටිත් නම් එම තුවාලය සුව කරනවා බොරු ය. එනමුත් 1930 -1940 දශකවල විසූ වෛද්‍යවරුන් සොයා ගෙන තිබුණේ බාහිර පරිසරයක බෝ කරන ලද ඖෂධීය වශයෙන් වැදගත් ඉහඳ පණුවන්, රෝගියෙකුගේ බාහිර ආසාදනයක් තුළට ඇතුළු කිරීමෙන් එම තුවාලය පහසුවෙන් සුව කළ හැකි බව යි. මේ සඳහා ඔවුන් යොදා ගෙන තිබුණේ “මෙතිසිලින් රෙසිස්ටන්ට් ස්ටැෆිලොකොකස් අවුරියස්” හෙවත් “MRSA superbugs” යන නමින් හැඳින්වෙන ඉහඳ පණුවන් වර්ගය යි. මෙම පණුවෝ රෝගියාගේ තුවාලය තුළට ඇතුළු වී, එහි වැඩීගෙන එමින් පවතින ආසාදිත පටක සියල්ල කා දමති. තව ද, අහිතකර බැක්ටීරියා වර්ග තිබේ නම් ඒවා ද ඉවත් කරති. පුදුමය වන්නේ මොවුන් නීරෝගී සෛල කිසිවකට හානි සිදු නොකිරීම යි.

එහෙත් තම සිරුර මත පණුවන් දැකීමට බොහෝ රෝගීහු අකැමැති වූහ. ඊට රෝගියාට දොස් කිව නොහැකි ය. තව ද, පසු කලෙක දී සොයා ගන්නා ලද පෙනිසිලින් ඖෂධය භාවිතයෙන් ද මෙම පණු ක්‍රියාවලිය ම සිදු කළ හැකි බව විශ්වාස කෙරිණි. එබැවින් ක්‍රම ක්‍රමයෙන් ඉහඳ පණු ප්‍රතිකර්මය වෙද ලොවින් තුරන් කර දැමිණි. එනමුත් වර්තමානයේ දී කූඩැල්ලන් වැනි කුඩා සතුන් යොදා ගනිමින් යම් යම් රෝගී තත්ත්වයන් සමනය කෙරෙන හෙයින් ඉහඳ පණු ප්‍රතිකාරය ද නැවත එළි බැස ඇති බව පෙනේ.

උස යාමට යකඩ පොලු.

බොහෝ විට ආසියාතික කාන්තාවන්ට මෙන් ම පුරුෂයින්ට ද පවතින එක් සිත් තැවුලක් වන්නේ තමා සැලකිය යුතු තරමට උස් නොවීම යි. පිරිමින් සිතන්නේ කාන්තාවන්ගේ වැඩි ආකර්ෂණය හිමි වනුයේ උස පුරුෂයින්ට බව යි. එසේ ම කාන්තාවන් සිතන්නේ සැලකිය යුතු තරම් උස් වූ පුරුෂයින් උස කාන්තාවන් හට වැඩි ආකර්ෂණයක් දක්වන බව යි. කෙසේ වුවත් මෙම “උස” යන සාධකය වැඩි කර ගැනීම පිණිස නොයෙකුත් ව්‍යායාම තිබේ. එහෙත් වයස අවුරුදු 25න් පමණ පසු උස වැඩි වීමක් සිදු වන්නේ ඉතා ස්වල්ප වශයෙනි. එහෙයින් ඇතැම්හු මෙම කරුණ සඳහා ලබා ගත හැකි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ පවා සොයා බැලීමට උත්සුක වෙති. 

එවැන්නන්ගේ හිත සුව පිණිස ලෝහ පොලු හා පතුරු ආධාරයෙන් ශරීරයේ අස්ථිවලත් විශේෂයෙන් පාදවලත් දිග අඟලකින් පමණ වැඩි කිරීමේ ක්‍රමයක් බටහිර ලෝකයේ වෛද්‍යවරුන් සතු වෙයි. මෙය “ඩිස්ට්‍රැක්ෂන් ඔස්ටියෝජෙනසිස්” (distraction osteogenesis) නම් වේ. මෙම යකඩ පතුරු ක්‍රමය ලොවට හඳුන්වා දී තිබෙන්නේ 1950 දශකයේ දී පමණ විසූ සෝවියට් වෛද්‍යවරයෙකු වූ “ගැව්රිල් ඉලිසාරොව්” විසිනි. මෙතුවක් විශේෂයෙන් අඩිය සකස් කරන ලද උස සපත්තු පැලඳීමත් “චිවහුවා” වර්ගයේ බල්ලන් සමඟ දිවීමේ ව්‍යායාමත් කරමින් උස වැඩි කර ගැනීමට වෙහෙස වූ පුද්ගලයින් මෙම සොයා ගැනීම තුළින් දැඩි මානසික සහනයකට පත්වූ බව නොකිව මනා ය.

මෙහි දී සිදු කෙරෙනුයේ කෘත්‍රිම ව සවි කරන ලද ලෝහ ආධාරක මඟින් අභ්‍යන්තර අස්ථිය ඇදීමකට ලක් කිරීම යි. පළමු ව අදාළ අස්ථිය මදක් බිඳ දමා, දෙවනු ව එම ආධාරක පාදවලට සවි කොට අවශ්‍ය තරම් දින ගණනක් තැබූ විට ස්වාභාවික ව ම අදාළ අස්ථි ඇතුළත සෛලවලින් පිරෙන බවට විශ්වාස කෙරෙයි. එහෙත් මෙමඟින් අඩි ගණනක් දක්වා අස්ථි දිගු කර ගැනීමේ හැකියාවක් නොමැත. එසේ ම එය ඉතා වේදනාකාරී ය. ලෝහ දඬු සවි කොට තිබියෙ දී ඇවිදීම ද අතිශයින් අපහසු ය. තව ද, අස්ථි වර්ධනය හා දිගු කිරීමේ මෙම චක්‍රය අපේක්ෂිත දිග ළඟා වන තෙක් නැවත නැවතත් සිදු කෙරේ. මෙම ක්‍රියා පටිපාටිය සාමාන්‍යයෙන් භාවිතා කරනුයේ උපතින් ඇති වන අස්ථි ආබාධ නිවැරදි කිරීමට ය. එහෙත් උසට අඟලක්වත් එකතු කර ගැනීමේ ආශාවෙන් පෙළෙන්නෝ ද වේදනාව නොතකා යකඩ පොලු ප්‍රතිකාරයේ යෙදෙන බව පෙනේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.