Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඔබත් බීවර කෝෂ කනවා ද?

වර්තමානයේ අපි බොහෝ රසායනික ද්‍රව්‍ය පරිභෝජනය කරමින් සිටිමු. එහෙයින් බොහෝ පිරිසක් ඒ සඳහා වඩාත් ස්වාභාවික හා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් සොයමින් සිටිති. ‘කාබනික’, ‘ස්වාභාවික’ හෝ ‘රසායන රහිත’ යනාදී වශයෙන් ලේබල් කර ඇති ආහාර වර්ග මිල දී ගැනීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වති. කිරි, යෝගට් වැනි සැකසූ ආහාර සඳහා ද එය එක ලෙස බලපාන අතර සෑම විට ම වඩාත් ජනප්‍රිය රසයන් බවට පත් වන්නේ වැනිලා සහ ස්ට්‍රෝබෙරි ය. ස්වාභාවික වැනිලා රසකාරක සහ කාබනික ස්ට්‍රෝබෙරි රසකාරක ගැන ඇසෙන විට ඔබේ මනසට නැඟෙන්නේ කුමක්ද? නිස්සාරණය කරන ලද නැවුම් පැළෑටි ද? නැතහොත් බීවරයෙකුගේ වෘෂණ කෝෂ ග්‍රන්ථි ද?

බීවරයින් සතුව ඔවුන්ගේ වකුගඩු හා මුත්‍රාශය අතර, එනම් ශ්‍රෝණිය සහ වලිගයේ පාදම අතර පිහිටා ඇති “කාස්ටර් සැක්ස්” යනුවෙන් හැඳින්වෙන මලු යුගලයක් ඇත. මෙම ග්‍රන්ථිය “කස්ටෝරියම්” නම් වූ කහ පැහැති ශ්‍රාවයක් නිකුත් කරන අතර ඒවා උන්ගේ මුත්‍රා සමඟ එක් වී බීවරයින්ගේ දේශ සීමා භූමිය සලකුණු කිරීම සඳහා සුවඳක් ඇති කරයි. ඇතැම් වාර්තාවලින් කියැවෙන්නේ කැස්ටෝරියම් සුවඳ බීවරයින්ගේ වෘෂණ කෝෂ තුළින් ශ්‍රාවය වන බව යි. එහෙත් එය නිවැරදි නොවේ. පිරිමි සහ ගැහැණු බීවරයින් යන දෙවර්ගය ම කැස්ටෝරියම් නිකුත් කරන බව පෙනේ.

මෙම “කැස්ටෝරියම්” සියවසකට ආසන්න කාලයක් තිස්සේ ‘ස්වාභාවික රසකාරකයක්’ වශයෙන් භාවිත කර ඇත. බීවරයින් අල්ලාගෙන, ඔවුන්ගේ ශරීරයෙන් අදාළ ග්‍රන්ථි කොටස් කපා ගත් පසු ඒවා වියළා පලතුරු සුවඳක් ඇති කුඩු බවට පත් කරනු ලැබේ. පසුව එය තනුක කර බොහෝ ආහාර පාන නිෂ්පාදන, විශේෂයෙන් වැනිලා සහ රාස්බෙරි රසය සඳහාත් ඇතැම් විටෙක ස්ට්‍රෝබෙරි සහ වෙනත් පලතුරු රසයන් සඳහා රසකාරකයක් ලෙසත් භාවිත කරයි. තව ද පුරාණ යුගයේ මිනිසුන් විශ්වාස කළේ එහි අතිවිශාල ඖෂධීය ගුණයක් තිබෙන බව යි. එහෙයින් ඔවුහු ක්‍රීඩාවක් ලෙස බීවරයින් දඩයම් කිරීම සිදු කළ අතර, උන්ගේ මළ සිරුරු වෛද්‍යවරුන් වෙත විකිණූහ. මෙසේ දඩයම් කරද්දී බීවරයින් සිදු කළ අමුතු හැසිරීමක් පිළිබඳ මිත්‍යා මතයක් ද සොයා ගත හැකි වේ. අදාළ බීවරයා තමා මිනිසුන්ට හසු වීමට ආසන්න බව දැන ගත් විට පිටුපසට නැමී උගේ වෘෂණ කෝෂවලට අදාළ ග්‍රන්ථිය කටින් සපා, කඩා, බිම දමා පණ බේරාගෙන දුවන බව එකල සිටියෝ විශ්වාස කළහ. එවිට දඩයක්කරුවා බීවරයා පසුපස පැන්නීම අත්හැර, වෘෂණ කෝෂ යුගළ පමණක් අහුලාගෙන නැවත ආවේ ලු.

රසායනික ද්‍රව්‍ය අනිවාර්යයෙන් ම ඔබේ ශරීරයට හොඳ නැත. ස්වාභාවික ආහාර ද්‍රව්‍ය සෑම විටම පෙනෙනා තරම් ම යහපත් නොවන බව මෙයින් ඔබට වටහා ගත හැකි ය. කෙසේ වෙතත්, ඔබට වැනිලා හෝ බෙරී බීම රස විඳීමට ඇති හොඳම ක්‍රමය නම්, තමා විසින් ම වෙළඳසැලෙන් මිල දී ගන්නා නැවුම් බෙරි සමඟ ඒවා මිශ්‍ර කිරීමයි. ඊළඟ වතාවේ ඔබ ස්වාභාවික වැනිලා රසය, ස්ට්‍රෝබෙරි රසය හෝ ස්වාභාවික රාස්බෙරි රසය වැඩි කරන කිසියම් ආහාරයක් දුටු විට, බීවරයෙකුගේ මුහුණ සිහියට නඟා ගන්න.

ළදරුවන්ට වේදනාව නොදැනේ ලු.

කිසියම් මොහොතක ඔබ අලුත ඉපදුණු කුඩා දරුවෙකුගේ අත හෝ කකුල තදින් මිරිකනවා ද? කිසිසේත් ම නැත. ඒ තබා ඇතැම් අලුත් තාත්තලා සිය ලෙයින් උපන් කිරිකැටියා අතට ගැනීමට පවා මැළි වන්නේ දරුවාට රිදෙතැයි සිතා ය. එහෙත් එතරම් කුඩා ළදරුවන්ටත් වේදනාව දැනෙන බවත්, දරුවා සම්බන්ධයෙන් කිසිවක් කිරීමේ දී දරුවාගේ වේදනාව පිළිබඳ ද සැලකිල්ලක් දැක් විය යුතු බවත් ඇතැම් රටවල වෛද්‍යවරුන් වටහා ගත්තේ දැනට වසර පණහකට පමණ පෙර බව ඔබට විශ්වාස කළ හැකි ද? එතුවක් එම වෛද්‍යවරුන් කුඩා ළදරුවන් සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීමේදීත්, ශල්‍යකර්ම ආදිය සිදු කිරීමේ දී මෙන් ම තුවාලයකට මැහුම් යෙදීමේ දී පවා අදාළ රෝගී ළදරුවාගේ ශාරීරික වේදනාව පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නොතිබිණි. එවන් විටෙක දරුවා සිහි නැති කිරීමට තබා අවම වශයෙන් අදාළ ස්ථානය හිරි වැට්ටවීමටවත් එම වෛද්‍යවරුන් උත්සාහ කර තිබුණේ නැත.

ඔවුන් මෙලෙස අතිඅමානුෂික අන්දමින් හැසිරීමට හේතුව වී තිබු‌ණේ නොදැනුවත්කම හා මිත්‍යා විශ්වාස යි. ඔවුන්ට අනුව වයස අවුරුද්දකට පමණ අඩු ළදරුවන්ගේ මොළය වේදනාව දැනීම සඳහා හැඩ ගැසී තිබුණේ නැත. එනම්, ඔවුන්ගේ මොළයේ වේදනාව දැනෙන ස්නායු වැඩෙන්නට පටන් ගන්නේ අවුරුද්දක් පමණ ගත වූ පසු ය. එහෙයින් කිසියම් ප්‍රතිකාරයක් සිදු කරන අවස්ථාවක දී ළදරුවා වේදනාවෙන් හඬා වැටුණ විට වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ එම දරුවා අතිශයින් මුරණ්ඩු දරුවෙකු බව යි. ඔහු හඬනුයේ වේදනාව නිසා නොව ඉපදුණු දා පටන් හිතුවක්කාරයෙකු වී ඇති නිසා බව යි. පසු කාලයක දී වත් වෛද්‍යවරුන් හට මෙවැනි මිත්‍යා මතවලින් මිදීමට ඉඩ ලැබීම ළදරුවන් ලද භාග්‍යයකි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.