සිංහල ජන වහර එහෙමත් නැත්නම් සංස්කෘතිය කියලා කියන්නේ රහස් හැංගිච්ච තැනක් නේ. ඒක ඇතුළෙ තියෙන්නේ මහා අමුතු දේවල්. ඒ වගේ ම අපේ ජනශ්‍රැතිය දැනුම් ගබඩාවක්. ඉස්සර කාලේ අපේ ආච්චිලා සීයලා ගැන කල්පනා කරලා බැලුවාම එයාලා හුඟක් දේවල් කියලා තියෙන්නේ වහෙන් ඔරෝ භාෂාවෙන් බව තමයි පේන්නේ.
අපි පුංචි කාලේ අම්මාගේ එහෙමත් නැත්නම් ආච්චිගේ උකුළේ නැළවුණේ දරු නැළවිලි කවි අහලා නේ. දැනටත් පිටිසර ගමේ අම්මලා විතරක් නෙවෙයි, කොළඹ හතේ අම්මා කෙනෙක් වුණත් තමන්ගේ දරුවා වෙනුවෙන් කවියක් කියන්න පැකිළෙන්නේ නැහැ. හැබැයි ඒ නැළවිලි කවි අතරේ තියෙන සමහර කවි පද අපි හිතනවාට වඩා දුර යන බව ඔයාලා දන්නවාද? මේ කවිය අහලා තියෙනවා ද?
“ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරමේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා…”
ආනේ… හරිම අහිංසක සිතිවිල්ලක්! එහෙම නේද? දන්නවා ද ඔය කවිය මුල් කාලේ කියලා තියෙන්නෙ ඇයි කියලා?
සුදු ජාතිකයෝ ඇවිල්ලා කසාද කොලයක් දෙන්න කලින් අපේ ගැහැනු පිරිමි දීග කෑවේ බොහොම නිදහසේ නේ. කැමති වුණාද, ගත්තා, ගියා. කොහේ හරි පැලකුත් අටව ගත්තා, යස අගේට ළමයි රොත්තකුත් හදාගෙන ජීවත් වුණා. ඒ වගේ ම තමයි අනියම් සම්බන්ධකම්වල ප්‍රමාණය. ඒ කාලෙත් අසම්මත පෙම් කතාවල අඩුවක් තිබුණේ නෑ.
ඉතින් දවසක් ඔන්න ඔහොම වෙන මනුස්සයෙක් එක්ක සම්බන්ධයක් තිබුණු ගැහැනු කෙනෙක්, රෑ තමන්ගේ බබා නළව නළවා ඉන්නවා ලු. ඔය කියන දවසේ මේ ගැහැනු කෙනාගේ මහත්තයා ගෙදර ලු. හැබැයි වෙනදා පුරුද්දට අර හොර මනුස්සයත් දිය පාරක් උඩින් එහෙම හෙමින් හෙමින් පැනගෙන ගේ ළඟට ඇවිල්ලා ජනේලේ හූරනවා ලු.
දැන් ඉතින් ඇතුළට ගන්නත් බෑ . යන්න කියලා කියා ගන්න විදිහකුත් නෑ. මනුස්සයාට ඇහුණොත් සැක හිතනවා නේ. ඒ පාර බබා නළවන ගමන් ම “ඔන්න බබෝ ඇතින්නියා…” කවිය කිව්වා ලු. මෙතන බබා තමයි තමන්ගේ සැමියා. ඇතින්නියා එහෙමත් නැත්නම් ඇතා තමයි අනියම් පුරුෂයා. බලන්නකෝ ඉතින් තමන්ගේ මිනිහා බබා කරලා කොහෙවත් ඉන්න මනුස්සයෙක් ඇතා වගේ ලොක්කෙක් කරලා මේ ගෑනු මනුස්සයා කර ගන්න පව…
දිය පාර උඩින් ගලින් ගලට අඩිය තිය තියා ආව හොර සැමියා, ගෙයි එළියේ පිලේ නිදාගෙන ඉන්න ඇත්ත සැමියා දැකලා දුවන එක ම යි හොඳ. මොකද, එයා ඇහැරුණොත් හොර එළි වෙනවා නේ.
ඉතින් ගැහැනු කෙනා එළියට එනකල් අර ජනේලේ හූර හූරා හිටපු අනියම් සැමියා මේ කවිය අහලා, ඒකේ ව්‍යංග්‍යර්ථයත් තේරුම් අරගෙන, වෙන දවසක එන බලාපොරොත්තුවෙන් හෙමිහිට ලිස්සලා ගියා ලු.
ඒක නම් අපූරු අහිංසකකමක් තමා.
මේ කතාව නම් සමහර විට අහලත් ඇති…
“රෝස මලේ නටුවෙ කටූ
වන බමරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පැණි උරමී…”
මේ කවිය අපි ළමයින්ට කියලා දෙනවා නේ. මොන්ටිසෝරි යන කාලේ එහෙම හොඳට පාඩම් කරපු එකක් තමා මේ කවිය. හැබැයි ඇත්ත තේරුම දැන ගත්තොත් නම් ඉස්කෝලවල ඕක උගන්නන එකත් තහනම් කරයි.
රෝස මල කියන්නේ කෙල්ලෙක්. නටුවෙ කටූ කියලා කිව්වේ එයා කන්‍යාවක් නිසා කිසිසේත්ම පිරිමියෙකුට ළං වෙන්න වුවමනාවක් නෑ කියන එක. “කටු” කියන වචනේ අදහස පැහැදිලි කරද්දී, තමා හැදුණ වැඩුණ සංස්කෘතිය, දෙමාපියන්ගේ බලපෑම වගේ ඕන තේරුමක් ගන්න පුළුවන්. කසාද බැඳපු ගැහැනු කෙනෙක් මේක කියනවා කියලා හිතුවොත්, “කටු” කියන්නේ පතිවත. ඉතින් ගැහැනු කෙනා තමා පිරිමියෙකුට කියන්නේ තමන්ගේ ළඟටවත් එන්න එපා කියලා.
තුන් වෙනි පේළියේ කතා කරන්නේ කොල්ලා එහෙම නැත්නම් පිරිමියා. එයා කියනවා “නෑ මම බරපතල ප්‍රශ්න ඇති කරන්න හදන්නේ නැහැ. යම් ප්‍රමාණයකට විතරක් ළං වෙන්න උත්සාහ කරන්නම්” කියලා. ඒ ළං වීමෙන් කාන්තාවට වැඩි හානියක් වෙන්නේ නෑ . හැබැයි පිරිමියාට අවශ්‍ය කාරණාවත් ඉෂ්ට වෙනවා. ඔයිටත් වඩා පැහැදිලි කරන්න අවශ්‍ය නෑ නේ?
හම්මෝ… ආයෙ නම් පොඩි ළමයෙක් ඒ කවිය කියනවා ඇහුණොත්, දූවලා ගිහිල්ලා කට වහන්න හිතෙයි නේද?
ශ්‍රීනි ලංකා ජයකොඩි
අත නොහැර කියවන තැන
හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්
පුංචි තිරයේ හැඩ මවන ගම්පහ පුංචි මන්ත්‍රී නෝනා (PHOTO)
මම කවුද?