Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

උලෙළ ද ? උළෙල ද? සිංහල, බෞද්ධ නායකයා සිටි උත්සවයේ සිංහල බස නසයි

සිංහල ජාතිය සහ බුදු දහම දිවිහිමියෙන් සුරකින බව විශේෂයෙන් අවධාරණය කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ මෙරට 73 වන නිදහස් සැමරුම් උත්සවයේදී සිදුවූ අක්ෂර දෝෂයක් පිළිබද මේ වන විට සමාජ මාධ්‍ය ජලාවල විශාල කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ අදාළ උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අසුන්ගෙන සිටි පීඨිකාව පිටුපසින් සටහන් කර තිබු ” 73 වන නිදහස් උළෙල” යන සටහන පිළිබඳවයි.

එහි සඳහන් “උළෙල” යන්න සිංහල අක්ෂර වින්‍යාසයට අනුව නිවැරදි වන්නේ නැහැ.

මෙවැනි වචන සම්බන්ධයෙන් පැවති විවිධ මත පිළිබඳ අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය මගින් “සිංහලයේ අක්ෂර වින්‍යාසය අත්පොත” නමින් ග්‍රන්ථයක් එලි දක්වන්නේ මහාචාර්ය විමල් බලගල්ලේ,මහාචාර්ය ඒ.වී සුරවීර,ආචාර්ය කේ ජයතිලක,ගුණසේන විතාන,මහාචාර්ය රත්නසිරි අරංගල ,අනඳපිය කුඩාතිහි ,සිරිසේන විතානගේ,ශ්‍රීනාත් ගනේවත්ත,කරුණාරත්න අමරසිංහ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් සම්පාදක මණ්ඩලයක් හරහා සම්පාදිත ග්‍රන්ථයක් ලෙසයි.

එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් එළිදක්වා තිබෙනවා.

එයට අනුව අද මෙරට 73 වන නිදහස් උත්සවයේදී රාජ්‍ය නායකයා පිටුපස ප්‍රදර්ශනය වූ පුවරුවේ සිංහල බස නසා තිබුණේ අක්ෂර දෝෂයක් හේතුවෙන්.

ඒ අනුව එය “උළෙල” ලෙස නොව “උලෙළ” ලෙසින් නිවැරදි විය යුතුව තිබුණා.

සිංහල රාජ්‍ය භාෂාව සේ ව්‍යවස්ථාපිතව පිළිගැනෙන රටක, ජාතික නිදහස් උත්සවයක, සිංහල ජාතික නායකයෙකු ලෙස අවධාරණය කරමින් නිතර කටයුතු කරන ජනාධිපතිවරයෙකු බලයේ සිටින මොහොතක මෙවැනි අතපසු වීමක් සිදු වේ නම් එය කණගාටුවක්.

එමෙන්ම එහි සෝදුපත් බැලීම ජනාධිපතිවරයාගේ කාර්යයක්ද නොවේ.

මේ සම්බන්ධයෙන් වගකීම් විරහිත ලෙස කටයුතු කරන නිලධාරීන් නිසා රාජ්‍ය නායකයන් පවා මේ අයුරින් අපහසුතාවන්ට මුහුණ දීම කිසිසේත් අනුමත කළ හැක්කද නොවේ.

ඇතැම් විට මෙරට සිදුවන දේ අනුව, හෙට උදැසන සිංහල විෂයට සම්බන්ධ වියතුන් පිරිසක් පැමිණ උලෙළ යන්න උළෙල ලෙස ලීවද වරදක් නැතැයි කිවහොත් අප පුදුම විය යුතුද නැත.

නමුත් අපි තර්කය ගොඩනගා තිබෙන්නේ මෙරට සිංහල විෂයේ ප්‍රමාණික වියතුන් රැසකගේ පොදු එකඟත්වය මත පිහිටා සිටිමින් බව වගකීමෙන් යුතුව ලියා තබමු.