Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාව කියන්නේ කාමසූත‍්‍රයේ උපත

ඇය අනිල් කපූර්ගේ දයාබර දියණිය යි. සාවරියා චිත‍්‍රපටයෙන් රඟපෑමට බට ඈ, මේ වන විට විලාසිතා ලොව කිරුළු පළන් රැජිණකි. ඇය සෝනම් කපූර්.

සෝනු, ඔයා මුලින් ම ක්ෂේත‍්‍රයට එන්නේ “බ්ලැක්” චිත‍්‍රපටියේ සහාය අධ්‍යක්ෂවරියක් විදිහට. ඇයි රඟපාන්න හිතුණේ?
මම ආසා කළේ නිෂ්පාදනයට. රඟපෑම කියන්නේ තුන් හිතකවත් තිබුණු දෙයක් නෙවෙයි. මට හැමදාම ඕනේ වුණේ ලියන්න. කොහොම හරි අවස්ථාව ලැබුණා. දැන් මම වැඩියෙන් කැමති රඟපාන්න. ඒක හරියට පිස්සුවක් වගේ. මොකද පස්සේ පස්සේ මට හිතුණා අධ්‍යක්ෂවරියක් විදිහට මිනිසුන් මෙහෙයවන්න මට හැකියාවක් නැහැ කියලා.

කටකතා ගැන මොකද හිතන්නෙ?
අනේ මට නම් කවදාවත් කටකතා හැදිලා නැහැ. හැමෝගෙන් ම ප‍්‍රශංසා තමයි ලැබුණේ. ඒ නිසා මට තේරෙන්නේ නැහැ, ඒ ප‍්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා.

තාත්තා එක්ක රඟපාන්න ආසා නැද්ද?
ආසයි. කෙනෙකුගේ දක්ෂතාවය පෙනෙන්නේ එයා අනිත් චරිත එක්ක ගනුදෙනු කරන විදිහෙන්. තාත්තා වගේ ප‍්‍රවීණ නළුවෙක් එක්ක රඟපෑවොත් මගේ දක්ෂතාවයත් තවත් හොඳින් දකින්න පුළුවන් වෙයි කියලා හිතනවා.

ආයෙමත් රන්බීර් කපූර් එක්ක වැඩ කරන්නේ නැද්ද?
අවස්ථා කිහිපයක් ම ආවා. ඒත් මට වැඩ වැඩි නිසා ඒවා මඟ හැරුණා. සමහර විට තව අවුරුදු දෙකකට විතර පස්සේ අපි දෙන්නා එකට දකින්න පුළුවන් වෙයි.

කන්න කැමති කෑමක් එහෙම නැද්ද?
බෙන්ගාලි කෑමවලට තමයි කැමති ම. එයාලාගේ මස්ටඞ් ෆිෂ් එක නියමයි. ඒ විතරක් ද? ඇයි, බැදපු වම්බටුත් එක්ක පූරි…

විවේක වෙලාවට මොකද කරන්නේ?
පොතක් කියවනවා.

නිවාඩුවක් ගත කරනවා නම් කොහේද යන්න කැමති?
ම්..ම්.. රෝමයට. ඒ නගරය ඉතිහාස කතාවලින් පිරිලා. මං දන්නේ නැහැ මේක හරිද වැරදිද කියලා, ඒත් මං ගොඩක් ආසයි එයාලගේ පරණ කාලේ ඇඳුම්වලට. ඒ වගේ ඇඳුමක් ගන්න මම ඕනේ තරම් මුදල් වියදම් කරයි.

ඔයා කැමති ම නළුවයි නිළියයි කවුද කියන්න පුළුවන් ද?
නළුවා මගේ තාත්තා අනිල් කපූර්. නිළියෝ නම් තුන් හතර දෙනෙක් ම ඉන්නවා. නූටාන්, කාජල්, රාණි මුඛර්ජී, මධුරි ඩික්සිත්, ශ‍්‍රී දේවි…

ඔයාට හැමෝ ම කියන්නේ බොලිවුඩයේ “ෆැෂන් ක්වීන්” කියලා නේ. එහෙම ඇහෙද්දී නිකම් හුරු නෑ වගේ දැනෙනවාද?
අනේ නැහැ. අවුරුදු 35 ක ගැහැනියකට ෆැෂන් ක්වීන් කියලා නමක් හම්බ වෙන එක කොයි තරම් ලොකු දෙයක් ද? දැන් බලන්න, මම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා තව ම අවුරුදු 13යි නේ. රඟපාලා තියෙන චිත‍්‍රපට ගණනත් 21ක් විතරයි. එහෙම තියෙද්දී කාගෙන් හරි හොඳ නමක් අහ ගන්න එක මට කවදාවත් අපහසුවක් ගෙන දෙන්නේ නැහැ. මම ස්වභාවයෙන් ම හරි කැමතියි ලස්සනට අඳින්න. මම ඉතින් මම කැමති විදිහට වැඩ කරනවා විතරයි. ඒක කොහොමද හුරු නැති වෙන්නේ?

ඔයාගේ ඇඳුම් ආයිත්තම් ටික නම් නියමයි. කොහෙන්ද ඕවා ගන්නේ? පිටරටින් ද?
(සිනා) අපොයි නෑ. මම වැඩියෙන් කැමති ඉන්දියන් ඩිසයින්ස්වලට. දැනට දවස් දෙක තුනකට කලිනුත් මම ඇඳුම් ගන්න ගියා, ඉන්දියන් ෂොප් එකකට. දන්නවානේ ඉතින් ගැහැනුන්ට ෂොපින් කිව්වා ම… ෂොපින් කර කර ලෝකේ වටේ යන්නත් මම අකමැතියි නැහැ. කොතැන ගියත් ඇඳුම් කඩයක් හොයාගෙන, මගේ විලාසිතාවලට ගැලපෙන ඇඳුමක් තියෙනවා නම් ඒකත් අරගෙන ම තමයි මම සාමාන්‍යයෙන් නවතින්නේ.

ඇත්තද පිටරට විලාසිතා ඉන්දියානු විලාසිතාවලට වැඩිය ලස්සනයි කියන්නේ?
මොන පිස්සුද? ඔය මොනවා කිව්වත් පිටරට විලාසිතාවලිනුත් වැඩි හරියක් නිර්මාණය කරන්නේ ඉන්දියන් ඩිසයින්ස් දිහා බලලා. ඒ වගේ ම අපි ඉන්දියානු විලාසිතා වෙන රටවලට විකිණුවාම ලැබන ලාබය සමහර වෙලාවට සීයට දෙසීයයි.

ඔය තරම් විලාසිතා ගැන සැලකිලිමත් වෙන ඔයාට කවදාවත් වැරදිලා නැද්ද?
මොකද නැත්තේ? මගේ අතින් ලොකු ම වැරැද්ද සිද්ධ වුණේ සාවරියා චිත‍්‍රපටයේ රඟපාන කාලේ දී ම යි. මම චිත‍්‍රපටියේ ප‍්‍රචාරක වැඩකට බැලරිනා සපත්තු දැම්මා. ඒ මදිවට ඒවා රත්තරන් පාට. දැන් ඒකේ ෆොටෝස් දැක්ක ම මට මං ගැන ම ලැජ්ජයි. වෙන කවුරු හරි ඔහොම එකක් දාගෙන ඉන්නවා දැක්කා නම් එහෙම, මම එයා දිහා බල බල හොඳට ම හිනා වෙයි. ඇත්ත ම තත්ත්වය තමයි, එදා මට අඩි උස සපත්තු දාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මගේ වළලූකර උළුක්කු වෙලා හිටියේ. අපරාදේ. මොකද රන්බීර් කපූර් තමයි මට අඩි උස සපත්තු දාගෙන රඟපාන්න පුළුවන් එක ම නළුවා. අඩි උස දැම්මා ම ගොඩක් අය මට වඩා කොට වෙනවා නේ. ඉතින් මම ඒවා දාන්න හදනකොට අධ්‍යක්ෂවරයා හැමදාම කෑ ගහනවා එපා, එපා කියලා. ඇත්තනේ, කෙල්ල කොල්ලට වඩා උස වුණා ම චිත‍්‍රපටියකට ඒක හරි නැහැ නේ. ඉතින් කොයි තරම් අකැමැති වුනත් මට ෆ්ලැට් සපත්තු ජෝඩු 5ක් විතර මිළට ගන්න වුණා. අර වෙලාවේ කරන්න දෙයක් නැති කමට ඒවායින් එකක් දාගෙන හිටියා වුණත්, ඒක මගේ ඇඳුමට කොහෙත් ම ගැලපුණේ නැහැ.

හිතන්නකො හදිසියේවත් ඔයා ඉන්නේ 8 ඉඳන් 5 වෙනකල් වැඩ කරන තැනක කියලා. එහෙම නම් ඔයා කොහොම විලාසිතාවක් අනුගමනය කරයි ද?
එහෙනම් මම ටෙක්සාස් ස්කර්ට්(ඔෆිස් ස්කර්ට්) හරි එහෙමත් නැත්නම් පළල් කකුල් තියෙන ජීන්ස් එකක් හරි අඳියි. මොකද ඒ වගේ ඇඳුමක් ඇඳගෙන වැඩ කරන්න හරි පහසුයි. ඒකට, දිගට ම බොත්තම් අල්ලපු බ්ලවුස් එකක් දවසින් දවස පාට මාරු කර කර අඳින්න පුළුවන් නම් හරි. දන්නවනේ පොල්කා ඩොට් තියන බ්ලවුස් එක? ඒකත් ලස්සනයි. රස්නේ පැත්තක නම් ජැකට් එකක් ඇඳගෙන ඉන්න එක හරි අමාරුයි නේ නේද? ඕනෙ ම නම් වේස්ට්කෝට් එකක් ඇන්දට කමක් නැහැ. මිනිස්සු ඔයා තේරුම් ගන්නේ අඳින විදිහෙන්. නිළ ඇඳුමක් තියෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. සාමාන්‍යය ඔෆිස් එකක දී නම් කිසි බාධාවක් නැති ව විලාසිතා කරන්න පුළුවන් නේ. ඔයා විශ්වාස කරනවා ද? සමහර වෙලාවට මුහුණේ තියෙන කැළලකට වුණත් පුළුවන් කෙනෙකුට වැදගත් පෙනුමක් ලබා දෙන්න.

එතකොට ජිම් යද්දී?
එහෙටත් ඉතින් ටිකක් වර්ණවත් ව යන්න බැරි කමක් නැහැ නේ. මොන වැඩේ කළත්, තමා තමන්ගේ අභිමානය ඉහළින් තියා ගන්න දැන ගන්න ඕනේ. මම හිතන විදිහට ජිම් එකක දී නම් ටිකක් ඇඟ ඇරලා අඳින එක හොඳයි. නැත්නම් ඔයා කොහොමද දැන ගන්නේ ව්‍යායාමය ඇඟට දැනෙන විදිහ? අනික හරි දාඩියයි නේ…

නොගැලපෙන විලාසිතා ගැන මොකද හිතන්නේ?
අනේ මන්දා ඇයි ගැහැනු ඒ වගේ කාරණා ගැන ඔය තරම් කරදර වෙන්නේ කියලා. මම නම් අතට අහු වෙන එකක් අල්මාරියෙන් ගන්නවා, අඳිනවා. ඔය තරම් කලබල වෙන්න දෙයක් නැහැ. ඉන්දියාව කියන්නේ කාමසූත‍්‍රයේ උපත සිද්ධ වුණු රට නේ.(සිනා)

මොකක්ද ඔයා පාවිච්චි කරන සුවඳ විලවුන් වර්ගය?
මයිකල්. මම කැමති ඒකේ ජැස්මින් සෙන්ට් එකට. මොකද සමන්පිච්ච මල් සුවඳ හැම තිස්සෙ ම මට ඉන්දියාව මතක් කරවනවා.

එතකොට එක එක වෙලාවට පාවිච්චි කරන්නේ එක එක සෙන්ට් වර්ග ද?
එහෙ වෙන්න එපැයි. රැයකට වගේ තීව‍්‍ර සුවඳක් හරි යන්නේ නැහැ. දවල්ට නම් හොඳයි. දවල්ට සුවඳ ඉක්මනට වාෂ්ප වෙන හින්දා, සැරින් සැරේ චුට්ට චුට්ට දා ගත්තත් කමක් නැහැ. රෑ නම්, ගොඩක් වෙලා සුවඳ රැඳිලා තියෙන, ටිකක් මෘදු විලවුන් වර්ගයක් පාවිච්චි කරනවා නම් තමයි හොඳ.

සෝනු, ඔයාත් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිළට ගන්න ඇබ්බැහි වුණු කෙනෙක් ද?
ඔව් කිව්වොත් හරි. ඇත්තට ම ඒ වැඬේ හරි පහසුයි නේ, නැද්ද? ඇඳ උඩ වාඩි වෙලා වුණත් ෂොපින් කරන්න පුළුවන්. හැබැයි මම අනුමත කරන්නේ නැහැ, තමන්ගේ සයිස් එක දන්නේ නැති අයටත් ඒක හොඳයි කියලා. මොකද එහෙම නම් අනිවාර්යයෙන් ම ෂොප් එකට ගිහින්, ඇඳලා බලලා ගන්න එකයි සුදුසු ම. ඇඳුම ඇඟේ සයිස් එකට නැත්නම් හරි කැතයි. ඒත් කාලයත් එක්ක ලොකු සටනක යෙදෙන, මම වගේ කෙනෙකුට නම් අන්තර්ජාලය තමයි පහසු ම තැන. හැබැයි ඉතින් මමත් එහෙම ගෙන්න ගත්තු ඇඳුම් ඇඳලා බලලා, ආයේ දීලා යවපු අවස්ථාත් නැතුවා නෙවෙයි.

ඔයා ගොඩක් මේක්අප් කරනවා නේද?
ගොඩක් නෙවෙයි. ලොකු උත්සවයක දී විතරයි හෙවි මේක්අප් එකක් දාන්නේ. අනිත් වෙලාවට මුහුණේ නැවුම්බව වගේ ම තරුණ පෙණුමත් රැකෙන්න ඕනේ නිසා විතරක් පොඩි එකක් දානවා. ඒ වගේ ම මේකත් කියන්න ඕනේ, හැම තිස්සෙම මේක්අප් කරන එක මුහුණේ හමට නම් පොඞ්ඩක් වත් සුදුසු නැහැ.

එහෙනම් ඉතින් ඒවා ඉවත් කරන හැටිත් කියන්නකෝ…
ලෝරීල්ලාගේ තියෙනවා හොඳ මේක්අප් රිමූවර් එකක්. ඒක ඇත්තට ම ඇස්වලටයි තියෙන්නේ. ඒත් මම නම් මුළු මුහුණේ ම ගානවා. සිනිදු තැනක් වෙනුවෙන් හදලා තියෙන නිසා හානියක් නැහැ.

ශ්‍රීනි ලංකා ජයකොඩි