Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් සින්ඩ්‍රෝමය.

ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් සින්ඩ්‍රෝමය හෙවත් ඒ.ඩබ්ලිව්.එස්. (A.W.S.) යනු දුර්ලභ රෝගයකි. මෙහිදී සිදු වන්නේ දෑස් ඉදිරියේ තිබෙන වස්තුවල නියම ප්‍රමාණය ඔබේ මොළයට වටහා ගත නොහැකි වීම යි. එහෙයින් ඔබට එම වස්තූන් දිස්වනුයේ සැබෑ ප්‍රමාණයට වඩා විශාල ව හෝ කුඩාවට ය. එහෙයින් ම අවට තිබෙන ගෘහභාණ්ඩ තිබෙන ස්ථාන පවා මාරු වී පෙනීමට හැකි ය. මන්දයත් ඒවායේ ලොකු කුඩා බව අනුව ඒවා තබා තිබෙන දුර පිළිබඳ අවබෝධය ද වෙනස් වන බැවිනි. බැලූ බැල්මට මෙය තරමක් භයානක තත්ත්වයකි.

මෙම සින්ඩ්‍රෝමය හරහා දර්ශනය, ස්පර්ශය සහ ශ්‍රවණය ඇතුළු විවිධ සංවේදීතාවන්ට බලපෑම් කළ හැකි ය. ඔබට කාලය පිළිබඳ හැඟීම ද අහිමි විය හැකි බව පෙනේ.

AWS රෝගය මූලික වශයෙන් බලපාන්නේ ළමයින්ට සහ තරුණ වැඩිහිටියන්ට ය. බොහෝ අය වයස්ගත වන විට මෙවැනි අක්‍රමවත් හැඟීම් ඇති වීම සාමාන්‍ය වන නමුත්, අදාළ රෝගයට ගොදුරු වූවන් හට තරුණ වියේ දී ම එම ව්‍යාකූල තත්ත්වය අත්විඳිය හැකි වේ.

ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් සින්ඩ්‍රෝමය “ටොඩ්ස් සින්ඩ්‍රෝමය” යනුවෙන් ද හැඳින්වේ. එයට හේතුව වන්නේ 1950 ගණන්වල දී බ්‍රිතාන්‍ය මනෝචිකිත්සකයෙකු වන වෛද්‍ය ජෝන් ටොඩ් විසින් අදාළ රෝගය හඳුනා ගැනීම යි. ලුවී කැරොල්ගේ නවකතාවක් වන “ඇලිස් – ඇඩ්වෙන්චර්ස් ඉන් වොන්ඩර්ලන්ඩ්” නමැති කෘතියෙහි ඇලිස් ලිඩෙල් නම් වන ප්‍රධාන චරිතය අත්විඳින ලද කථාංගවලට මෙම සින්ඩ්‍රෝමයේ රෝග ලක්ෂණ සමාන වන බව ඔහු සඳහන් කළේය.

රෝගය හඳුනා ගන්නේ කෙසේ ද?

AWS රෝගයට ගොදුරු වූවන්ගේ අත්දැකීම් එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වේ. එක ම පුද්ගලයාට වුවත් විවිධ අවස්ථාවල දී අත්දැකීමට ලැබෙන තත්ත්වය විවිධ විය හැකි ය. සාමාන්‍යයෙන් මෙම තත්ත්වය මිනිත්තු කිහිපයක් යනතුරු පවතී. සමහර අවස්ථාවල දී එය පැය භාගයක් දක්වා පැවතිය හැකිය. අදාළ කාලය තුළ, රෝගියා හට පහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් අත්විඳීමට සිදු වේ.

ඉරුවාරදය

AWS රෝගයෙන් පෙළෙන පුද්ගලයින් හට ඉරුවාරදය ඇතිවීමේ ඉඩකඩ වැඩි ය. සමහර පර්යේෂකයන් සහ වෛද්‍යවරුන් විශ්වාස කරන්නේ AWS යනු සැබවින් ම රෝගයක් නොව ප්‍රබන්ධයක් බව යි. මෙය ඉරුවාරදය පිළිබඳ මුල් සංවේදක ඇඟවීමක් බව යි. තවත් සමහරුන් විශ්වාස කරන්නේ AWS යනු ඉරුවාරදයේ ම දුර්ලභ උපප්‍රභේදයක් විය හැකි බවයි.

ප්‍රමාණය විකෘති වීම.

මෙම විකෘති වීම් වර්ග දෙකකි. එයින්, “මයික්‍රොප්සියා” යනුවෙන් හැඳින්වෙන්නේ ඔබේ ශරීරය හෝ ඔබ වටා ඇති වස්තූන් වඩාත් කුඩා වන බව දැනීම යි. “මැක්‍රොප්සියා” යනු ඔබේ ශරීරය හෝ ඔබ වටා ඇති වස්තූන් විශාල වන බවට වන සංවේදනය යි. මේ දෙකම AWS රෝගියෙකුගේ පොදු අත්දැකීම් වේ.

ප්‍රත්‍යක්‍ෂ විකෘතිය

එය ද වර්ග දෙකකි. ඔබ අසල ඇති වස්තූන් විශාල වන බව හෝ ඒවා සැබැවින් ම තබා තිබෙන ස්ථානයට වඩා සමීප බව ඔබට හැඟේ නම්, ඔබ “පීලෝප්සියා” නම් වන තත්ත්වයට ගොදුරු වී තිබේ. එහි ප්‍රතිවිරුද්ධ අවස්ථාව වන්නේ “ටෙලෝප්සියා” ය. එනම්, වස්තූන් සැබවින් ම අදාළ ප්‍රමාණයට වඩා කුඩා හෝ දුරින් පිහිටන බව හැඟී යාම ය.

කාලය විකෘති වීම.

AWS රෝගය පවතින සමහර පුද්ගලයින් හට කාලය පිළිබඳ හැඟීම නැති වී යයි. කාලය සැබවින් ම වේගයෙන් හෝ මන්දගාමීව ගමන් කරන බව ඔවුන්ට හැඟෙන්නට පුළුවන.

ශබ්ද විකෘතිය.

මෙහි දී සෑම ශබ්දයක් ම, සාමාන්‍යයෙන් නිහඬ ශබ්ද පවා ඝෝෂාකාරී හා ආක්‍රමණශීලී බවක් දැනේ.

අවයව පාලනය හෝ සම්බන්ධීකරණය නැති වී යාම.

මෙම රෝග ලක්ෂණය ඇති වන්නේ මාංශ පේශි අනවශ්‍ය ලෙස ක්‍රියා කරන බවක් දැනෙන විට ය. වෙනත් වචනවලින් කිවහොත්, තමා විසින් තම අත් පා පාලනය නොකරන බවක් ඔබට හැඟෙනු ඇත. ඔබට සම්බන්ධීකරණයක් නොමැති බවක් හෝ සාමාන්‍යයෙන් මෙන් ගමන් කිරීමට අපහසු බවක් දැනේ.

රෝගයට හේතුව කුමක්ද?

AWS රෝගයට හේතුව කුමක් ද? යන්න පැහැදිලි නැත. එනමුත් එය ඔබේ ඇස්වල මායාවක්, එසේත් නැතහොත් මානසික හෝ ස්නායු රෝගයක් නොවන බව ස්ථිර ය.

පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම රෝගයේ දී ඇති වන මොළයේ අසාමාන්‍ය විද්‍යුත් ක්‍රියාකාරිත්වය මඟින් ඔබේ පරිසරය සැකසෙන සහ දෘශ්‍ය සංජානනය අත්විඳින කොටස්වලට අසාමාන්‍ය රුධිර ප්‍රවාහයක් ඇති වන බව යි. අදාළ අසාමාන්‍ය විදුලි ක්‍රියාකාරිත්වය හේතු කිහිපයක ප්‍රතිඵලයක් විය හැකි ය.

පර්යේෂකයින් විසින් සිදු කෙරුණු එක් අධ්‍යයනයකින් හෙළි වූයේ ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් රෝගය අත්විඳින පුද්ගලයින්ගෙන් 33%කට ම හේතු වී ඇත්තේ කිසියම් ආසාදන තත්ත්වයක් බව යි. ඉන් 6%කගේ හිස කොහේ හෝ තදින් වැදී හෝ ඉරුවාරදය වැළඳී හෝ තිබිණි. එනමුත් රෝගීන්ගෙන් අඩකට වඩා ප්‍රමාණයකට කිසිදු විශේෂ හේතුවක් තිබී නැත.

වැඩි පර්යේෂණ අවශ්‍ය වුව ද, වැඩිහිටි රෝගීන්ගේ ප්‍රධාන හේතුව ඉරුවාරදය ලෙස සැලකේ. ළමුන් තුළ අඅති වන AWS සඳහා මූලික හේතුව ආසාදනයක් යැයි කියවේ.

මේ සඳහා තිබිය හැකි වෙනත් හේතු මෙසේ ය.

මානසික ආතතිය

කැස්ස සඳහා ගන්නා බෙහෙත්

අපස්මාරය

ආඝාතය 

මොළයේ ගෙඩි

ජානමය හේතු

රෝග විනිශ්චය.

ඔබට ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇත් නම්, වෛද්‍යවරයා හමු වන්න. ඒ හැරුණු කොට AWS රෝගය විනිශ්චය කිරීමට උපකාරී වන නිශ්චිත පරීක්ෂණයක් නොමැත. ඔබේ රෝග ලක්ෂණ සඳහා වෙනත් හේතු හෝ පැහැදිලි කිරීම් බැහැර කිරීමෙන් රෝගය ස්ථිර වශයෙන් විනිශ්චය කිරීමට වෛද්‍යවරයාට හැකි ය. ඒ සඳහා උපකාරයක් වශයෙන් පහත සඳහන් පරීක්ෂණ වර්ග යොදා ගත හැකි ය.

MRI ස්කෑන් – එමඟින් මොළය ඇතුළු අවයව හා පටකවල සවිස්තරාත්මක රූප ලබා ගත හැකි ය.

විද්‍යුත් විච්ඡේදක විද්‍යාව (ඊ.ඊ.ජී.) – EEG මගින් මොළයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය මැනිය හැකි ය.

රුධිර පරීක්ෂණ – එමඟින් ඔබේ වෛද්‍යවරයාට E. B. V. වැනි මෙම රෝගයේ ම ලක්ෂණ ඇති කළ හැකි වෙනත් වෛරස හෝ ආසාදන බැහැර කළ හැකි ය.

කුඩා දරුවන්ට නම් අදාළ රෝගයේ ලක්ෂණ පෙන්වන්නේ විනාඩි කිහිපයක් වැනි ඉතා සුළු කාලයකට පමණි.

ලබා ගත හැකි ප්‍රතිකාර.

මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් නොමැත. ඔබ හෝ ඔබේ දරුවා රෝග ලක්ෂණ පෙන්වන්නේ නම්, ඒවා හැසිරවිය හැකි හොඳ ම ක්‍රමය වන්නේ විවේක ගැනීම සහ ඉවසීමෙන් බලා සිටීම යි. මෙහි කිසිදු රෝග ලක්ෂණයක් හානිකර නොවන බව ඔබට ම හෝ ඔබේ ආදරණීයයාට සහතික කරවීම ද වැදගත් ය.

රෝගය ඇති වීමට හේතු වී යැයි සැක කෙරෙන ආදසාදනය උදෙසා ප්‍රතිකාර ගැනීම ද වැදගත් ය. උදාහරණයක් ලෙස, ඔබ ඉරුවාරදයෙන් පීඩා විඳින්නේ නම්, ඊට ප්‍රතිකාර කිරීමෙන් අනාගතයේ දී වැළඳිය හැකි AWS රෝගයෙන් වැළකිය හැකි ය. ඒ හැරුණු කොට භාවනාව හා විවේකය රෝග ලක්ෂණ අඩු කිරීමට උපකාරී වනු ඇත.

රෝගය මඟින් සංකූලතා ඇති විය හැකිද?

බොහෝ විට ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් රෝගය කාලයත් සමඟ සුව අතට හැරේ. එනමුත් කලාතුරකින් සංකූලතා හෝ ගැටලු ඇති විය හැකි ය. නිදසුනක් ලෙස මුල දී ඉරුවාරදය වැනි රෝගයක කිසිදු ලක්ෂණයක් පෙන්නුම් නොකළ පුද්ගලයෙකුට මෙම රෝගය ඇති වීමෙන් පසු දරුණු අන්දමින් ඉරුවාරදය වැළඳිය හැකි ය.

ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් රෝගයේ රෝග ලක්ෂණ ව්‍යාකූල විය හැකි නමුත් ඒවා හානිකර නොවේ. එසේ ම ඒවා වඩාත් බරපතල ගැටලු ඇති නොකරයි. මෙම තත්ත්වය දිනකට කිහිප වතාවක් ඇති විය හැකි අතර පසුව ඔබට සති කිහිපයක් හෝ මාස ගණනක් ගත වන තුරු රෝගයේ කිසිදු ලක්ෂණයක් අත්විඳීමට සිදු නොවිය හැකි ය. කාලයත් සමඟ රෝග ලක්ෂණ අඩු වන අතර, වැඩිහිටි වියට පා තබන විට සින්ඩ්‍රෝමය මුළුමනින් ම අතුරුදහන් වීමට ඉඩ තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.