Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමෙරිකාවටම ගොස් ජනපති J R කියාදුන් නිවහල් භාවයේ පාඩම යළි කියවිය යුතු කාලය උදාවෙලා

President J.R. Jayewardene

අමෙරිකා-චීන බල පොරයෙන් ලංකාවට වන හානිය වැලැක්විය හැක්කේ කෙසේද ?

පසු ගිය දින කිහිපයේදී චීන රජයේ හා අමෙරිකානු රජයේ ඉහළම නිළධාරීන් ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාව මෙම කලාපයේ වෙළෙඳ නාවුක හා යුධමය වශයෙන් කෙතරම් වැදගත් ලෙස ස්ථානගතව ඇත්ද යන්න පැහැදිලි කරමිනි.

මෙහි දැක්වෙන වීඩියෝව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා වසර 1984 දී එවකට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් මැතිතුමන්ගේ නිළ ආරාධනාවෙන් දින කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික සංචාරය තුළ ඇමරිකානු ජනාධිපතිවරයකු ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ලබා දුන් එකම රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහය අරඹමින් කළ, ලෝක ඉතිහාසය, සිනමාව, දර්ශනය, දේශපාලනය ආදී කරුණු වලින් පිරුණු, හාස්‍යයෙන් නොඅඩු, එහෙත් ලාංකිකයන්ගේ අභිමානය හා නිවහල් බව විශිෂ්ට ලෙස ප්‍රකාශ කළ උත්කෘෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ කථාවයි. ඔහුගේ එම කථාව අද අපගේ මාතෘ භූමිය වැටී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හමුවේ අනිවාර්යයෙන් බැලිය යුතුම කථාවක් නිසා මෙහි ඉදිරිපත් කෙරෙන අතර එම අසිරිමත් දේශනයට පෙර මෙම ඓතිහාසික හමුවේ ‍රසවත් තොරතුරු කිහිපයක් ලිවිය යුතුමය.
ජේ. ආර්. ඇමරිකාවට යන්නේ 1984 මැද භාගයේදීය. ඉන් පසු වසර විස්සකට පසු 2004 දී ජේ. ආර්. ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහටද ඇමරිකානු ජනපතිගේ රාජ්‍ය තාන්ත්‍රික නිල ආරාධනාවක් ලැබීමද දෛවෝපගත සිදුවීමකි. එවර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හට ඔහුගේ මාමාට තරම් රාජකීය උත්සව නොතිබුනද, ඔහු ලංකාවට එන්නේ USS කරේජස් 3D රේඩාර් පද්ධතිය සහිත (එවකට 3D තාක්ෂණය සහිත ලංකාව සතු වූ එකම යුධ නෞකාව ) තිළිණයක් ලෙස ලබා ගනිමිනි. ඊට අමතරව LTTE බැංකු ගිණුම් තහනම හා සංවිධානය තහනම් කරවීම, සිවිල් යුද්ධයට අවශ්‍ය බුද්ධි තොරතුරු හුවමාරු එකගතා ආදී විශේෂ සහ යුධ ජයග්‍රහණයට අවශ්‍ය තීරණාත්මක පියවර රාශියක් මෙහිදී තබමිනි.

ජේ. ආර්. රේගන් බලන්නට ගියේ හිස් අතින් නොවේ. “ජයතු” නම් කුඩා ඇත් පැටවකුද සමගිනි. තවද, ජේ. ආර්. ඇමරිකාවට එන්නට ප්‍රථම, රාජ්‍ය නායකයන්ගේ රුචි අරුචිකම් සොයා බැලීම සිරිතකි. මෙහිදී ඇමරිකානුවන් දැන ගත් විශේෂ කරුණක් වූයේ ජේ. ආර්. ඇමරිකානු ගායක ෆ්‍රෑන්ක් සිනාට්‍රා ගේ “මයි වේ” ගීතයට බෙහෙවින් ප්‍රිය කරන බවයි. ඇත්තටම එය 1977 ජයග්‍රහණය දා ජේ. ආර්. තම දිනපොතේ සටහන් කළ ගී පද බවද මම අසා ඇත්තෙමි.

කෙසේ වෙතත් ජේ. ආර්. මෙම කලාපය තුළ කෙතරම් වැදගත් නායකයෙකුද යන්න ඔබ අවබෝධ කර ගත යුත්තේ ඇමරිකානු ජනපති හා බිරිද, ජේ. ආර්. හා බිරිඳ එලීනා ජයවර්ධන වෙනුවෙන් පිලිගැන්වූ රාත්‍රී භෝජන සංග්‍රහයට ජේ. ආර්. ගේ ප්‍රියතම ගීතය සජීවීව ගැයීමට සිනාට්‍රා එහි ගෙන්වා තිබීමය. ඒ නළු නිළි තාරකා රාශියක් අතරය.
ජේ. ආර්. එහිදී කරන මෙම විශිෂ්ට ප්‍රකාශ දෙස බලන්න.

1984 දී එවකට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති රොනල්ඩ් රේගන් මැතිතුමන්ගේ නිළ ආරාධනාවෙන් දින කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික සංචාරය තුළ ඇමරිකානු ජනාධිපතිවරයකු ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ලබා දුන් එකම රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයේ දී ජේ ආර් ජයවර්ධන ජනදිපතිවරයා සිදු කළ කතාව

“ඔබගේ රට පසුගිය කාලය පුරා අප රටට කළ උදව් අමතක නැත. එහෙත්, මා මෙහි පැමිණියේ නුඹලාගේ උදව් අපේක්ෂාවෙන් නොවේ. එය මාගේ ක්‍රමය නොවන්නේය”
මෙම අදීන, ප්‍රතාපවත් රාජ්‍ය තාන්ත්‍රිකයාගේ එළඹුම මෙම අර්බුදකාරී අවස්ථාවේදී අපට පහන් එළි නොදල්වන්නේද? අප, ඔහුගේ ඒ අසිරිමත් කථාවට යොමු වෙමු.
“මම මෙහි පැමිණියේ ආගන්තුකයෙකු ලෙසිනි. නමුත් මා මිතුරන් අත්‍ර සිටින බව මට දැනේ. ඇමරිකානු ජනතාව ඉතා මිත්‍රශීලී හා ආගන්තුක සත්කාරයෙන් සපිරි ජනතාවක් බව අසා තිබුණෙම්. එහි සත්‍ය බව මා මෙහි අත්විදිමි.”

“මා වටා සිනමා නළු නිළියන් සිටී. මාගේ යෞවනයේ මා දුටු අය මීට වෙනස්‍ ය. මා දුටුවේ චාලි චැප්ලින්, ලෝරල් හා හාඩි, ෆැටී ආබකල් හා මේරි පික්ෆර්ඩ් ය.”
“ලෝරල් හා හාඩි ප්‍රංශ බලඇණියට බැදුනා. ඔවුන් එහිදී නිරීක්ෂණය පේලියේ සිටිත්දී එහි පැමිණි සාජන් වරයා මෙසේ ඇසුවා. උඹලා මෙහි කුමක් කරන්නේද? ප්‍රංශ බලඇණියට බැදුනේ මන්ද? ඔවුන් කීවා, “අමතක කරන්න” කියා. (සාජන් වරයා) කුමක් අමතක කරන්නද ? (ලෝරල් හා හාඩ්) ” අපිට ඒකත් අමතකයි” (සභාවේ අත්පොලසන් හා සිනා)

“ඇමරිකානු සම්භවය සැලකීමේදී ඔබගේ රට ඉතා තරුණය. අපගේ රට ගොඩක් මහළුය. අපගේ දූතයන් ක්ලෝඩියස් සීසර්ගේ සභාව නියෝජනය කොට ඇත. ප්ලීනිගේ ලිපි වල ඔවුනගේ නම් පවා සදහන්‍ ය.”

“අප චීනයට ක්‍රි. පූ. 47 වන සියවසේදී දූතයන් යවා ඇත. …. ස්බෝග් සැන්ග්, ෆාහියන්, මාකෝ පෝලෝ, ඉබන් බටූතා වැනි දේශාටකයන් පැමිණි රටක්.”

” බටහිර ජාතීන් 16 වන සියවසේදී ලංකාවට පැමිණියා. පෘතුගීසින් සංචාරකයන් ලෙස පැමිණ වසර 150ක් නැවතී සිටියා. පසුව ලංදේසීනුත්, ඉංග්‍රීසිනුත් පැමිණියා. අප දැන් නැවත වතාවක් නිදහස් රටක්.”

“අප සියල්ලන් සමග මිත්‍රශීලීව විසීමට කැමැත්තෙමු. කිසිවෙකුගේ සතුරන් නොවෙමු. එය මාගේත් අප ජනතාවගේත් ප්‍රතිපත්තියයි.”

“ඇමරිකානු ජනතාව අප අවබෝධ කරගනු දැකීම අපගේ අපේක්ෂාවයි”
(1983 ජූලි කලබලය සම්බන්ධයෙන් හා ඇනරිකානු පුවත්පතක ඊට එරෙහිව තිබූ දැන්වීමක් ගැනද ඔහු කථා කරයි.)

“එක්සත් ජාතීන්ගේ නියෝජිත වරිය මේ සම්බන්ධයෙන් මා හමුවූ විට මා ඇයට කීවා නායකයෙකු අනිවාර්යයෙන් වචන දෙකක් දත යුතු බව. ඇය විමසුවා ඒ මොනවාද කියා. ඔව් සහ නෑ යන වචන. ඔබ ඔව් හෝ නෑ කිව්වොත් ඉන් පසු කුමක් සිදුවූවත් කිසිදා ඔබගේ ස්ථාවරය වෙනස් නොකරන්න. මාගේ ජයග්‍රහණයේ එය එක් සාධකයක්. මා දන්නවා ජනාධිපති රේගන් මෙම වචන දෙක ඉතා හොදින් දන්නා බව.”

“ඇමරිකානු මහද්වීපයේ පැරණිතම මානව ජනාවාස ඇරඹුනේ සැන්ටා-ෆේ හිය. එම ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයක් ගෙවීමට මා නොඉවසිල්ලෙන් සිටිමි.”

“අප සියළු ජාතීන්ට, ගෝත්‍රයන්ට, සියලුම මිනිසුන්ට, ඔහුගේ කුලය හෝ ආගම කුමක් උවත්, ජාතිය කුමක් උවත්, අප සියල්ලන් එකම මිනිස් කුලයේය. අපගේ ආදරය මිනිසුන්ට පමණක් නොව සතුන් කෙරෙහිද යොමු කළ යුතුය. එයයි, අප, අපගේ දේශයෙන් උගත් දර්ශනය. හැකිනම් ලොව පුරා පැතිරවිය යුත්තේද මේ දරශනය බව මම අදහමි.”

උදෑසන, සවස, මෙන්ම රාත්‍රිය උදාවේදීත් ජනපති රේගන් ගේ හා එම මැතිනියගේ නාමයන් කිසිදා අමතක නොවේවා!!”

© නීතිඥ සංජීව සෙනෙවිරත්න

About The Author