Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ඇටිකෙහෙල් කාපු උගුඩුවෙක් වෙන්න එපා” – ඕමල්පේ සෝභිත හිමිට අභියෝගයක්

ඇටි කෙහෙල් කෑ  උගුඩුවෙක් ලෙස බියෙන් පලා නොගොස්  තමා සමග විවාදයකට පැමිණෙන්නැයි  තිත්තගල්ලේ අනන්දසිරි නම් භික්ෂුවක විසින් ඕමල්පේ සෝභිත හිමියන්ට අභියෝග කර තිබෙනවා. 

ඊට හේතුව වී තිබෙන්නේ අදාල භික්ෂුව විසින්  කාල්ටන් මන්දිරයේදී ඉකුත් දා සිදු කළ  ආන්දෝලනාත්මක ධර්ම දේශනාව සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු ජාතික විද්වත් සංඝ සභාව  විසින් නඩු පැවරීමේ සිදුවීමයි.

තිත්තගල්ලේ ආනන්දසිරි  නම්  අදාල භික්ෂූන් වහන්සේ විසින් බුදු දහම විකෘති කරමින් බුදුන් වහන්සේට  “එයා මෙයා” යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සහ  ධර්ම කරුණු විකෘති කරමින් සිදු කළ  ධර්ම දේශනය සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර ඇති අතර  එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ඩී.වී චානක මහතා ද  නම් කර තිබීම විශේෂත්වයක්. 

කෙසේ වෙතත් ඕමල්පේ සෝභිත හිමියන්ට ප්‍රතිචාර දක්වමින් අදාල භික්ෂූන් වහන්සේ විසින්   ඕමල්පේ සෝභිත හිමියන්ට අභියෝග කරමින් ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ හැකිනම් පන්සියයක් භික්ෂූන් වහන්සේ සමගින්  තමන් සමග විවාදයකට පැමිණෙන ලෙස දන්වමින්.

එම ලිපියේ දක්වා තිබෙන්නේ තමන් ධර්මය විකෘති කර බවට එල්ල කරන චෝදනා විනය විරෝධී සහ ශාසන විරෝධී බවයි. 

‘මාළුවා නහින්නේ කට නිසා’ යැයි කියා පැරණි සිංහල කියමනක් ඇත. එනිසා දැන් ඇටිකෙහෙල් කෑ උගුඩුවෙකු මෙන් භයෙන් පලා නොයා ඔබ කටමැත දෙඩු ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉදිරියේම මාගේ අභියෝගට මුහුණ දෙන්න.

ඇටි කෙහෙල් කෑ උගුඩුවෙකු ලෙස බියෙන් පලා නොගොස්  තම අභියෝගයට මුහුණ දෙන ලෙසද  අදාළ භික්ෂුව ඕමල්පේ සෝභිත හිමියන්ට අභියෝග කරනවා.

තමා විවාදයට එන්නැයි සිදු කළ අභියෝගයට  මාස තුනක් ඇතුළත  ප්‍රතිචාර දැක්විය යුතු බවත්  එසේ නොවන්නේ නම්  තමා ගැන සමාව ගත යුතු බවත්  පවසන තිත්තගල්ලේ ආනන්දසිරි නම් භික්ෂුව   සඳහන් කරන්නේ එම අභියෝගය මගහැර සිටියහොත් එම අභියෝගය හමුවේ ඕමල්පේ සෝභිත හිමියන් පරාජයට පත්වූ බව සමාජගත වීම වැලැක්විය නොහැකි වනු ඇති බවයි.

අදාළ සම්පුර්ණ ලිපිය පහළින්..

26.12.2020

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, ශ්‍රී බෝධිරාජ පදනම,හිගුර-ආර,ඇඹිලිපිටිය.

ගරු ස්වාමීන්වහන්ස,

ධර්මය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයක් සඳහා අභියෝග කිරීම  

තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් වන මම අහංගම තිත්තගල්ල මෙත් බෝ සෙවන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා ප්‍රධානියා වෙමි. රටවල් 40කට වඩා ගණනක විපස්සනා ගුරුවරයෙකු වශයෙන් දේශනා පවත්වන මාගේ මධ්‍යස්ථානය වෙත වසරකට විදේශිකයන් 600ක් පමණ විපස්සනාව ප්‍රගුණ කිරීමට පැමිණේ. තවද එම මධ්‍යස්ථානයේ ගිහි පැවිදි යෝගාවචරයින් 50කට අධික පිරිසක් ස්ථිරව නේවාසිකව සිටින අතර ලොව පුරා විසිර සිටින මාගේ ශ්‍රාවකයින් ලක්ෂ ගණනකි. භික්ෂු ලියාපදිංචි අංක 70761 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් මාගේ භික්ෂු ලියාපදිංචිය පිළිබඳව අවශ්‍ය අයෙකුට පරික්ෂාකර බැලිය හැක.  

මවිසින් මීට වසර එක හමාරකට පමණ ඉහත තංගල්ල කාල්ටන් නිවසේදී ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ගරු පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ඩි.වී. චානක මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් ඉදිරියේ පැයක පමණ කාලයක් පුරා පැවැත්වූ දීර්ඝ ධර්ම දේශනාවක කොටස් ඔබවහන්සේ විසින් සංස්කරණය කොට, සන්ධර්භයෙන් පිට, අර්ථය සහමුලින්ම විකෘති වන ලෙස පෙළගස්වා, කෙටි වීඩියෝවක් සකස්කර, පටු දේශපාලන වාසි තකා මහජන කැළඹීමක් සිදුකිරීමේ අරමුණින්, මාගේ අවසරයකින් තොරව අන්තර්ජාලය ඇතුළු ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය කරමින් සිටියි. 2020.12.14 හෝ ඊට ආසන්න දිනක ඔබවහන්සේ ප්‍රමුඛ ජාතික විද්වත් සංඝ සභාව නම් ඊනියා කල්ලියක් විසින් මාධ්‍ය හමුවක් පවත්වා නොසරුප් වදනින් භික්ෂුවක් වන මා අමතා, මා ධර්මය විකෘති කරන්නේ යැයි සහ මනුස්සවිග්ගහ පාරාජිකාවෙන් අභුතයෙන් චෝදනා කොට විනය විරෝධී සහ ශාසන විරෝධී ක්‍රියාවක් සිදුකර ඇත.

තවද මාහට විරුද්ධව එක්තරා අධිකරණයක නඩු පවරා ඇති බවට එහිදී පවසා ඇති මුත්, මේ වනතෙක් කිසිදු අධිකරණයකින් ඒ පිළිබඳව කැඳවීමක් ලැබී නැත. එසේ කැඳවීමක් ලැබුනහොත් මාගේ නීතිඥවරු මාර්ගයෙන් එයට උත්තරවාද බැඳීමට මම කිසිසේත්ම පසුබට නොවෙමි.    

ඔබවහන්සේට මා සමග වාදකළ හැක්කේ උසාවි බිත්ති හතර තුල පමණක් නම් අදාළ දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා එම අභූත චෝදනා ජනමාධ්‍ය තලයට ඔසවා තැබුවේ මක්නිසාදැයි පිළිතුරු බැඳිය යුතුව ඇත. එනිසා මේ විවාදය ප්‍රසිද්ධ ජනමාධ්‍ය තලයට රැගෙන ආවේ ඔබවහන්සේ මිස මා නොවේ. ඔබවහන්සේ විසින් මා හට ප්‍රසිද්ධියේ පහර දෙද්දී මම අප්‍රසිද්ධියේ පිළිතුරු බැඳිය යුතුයැයි අපේක්ෂා කිරීමම හාස්‍යයට කාරණාවකි. “අනේ මට නඩුවක් තියේ” යැයි හඬමින් ප්‍රසිද්ධ ජනමාධ්‍ය විවාදයකින් පලායාමට දැන් පමා වැඩිය. එසේනම් කළයුතුව තිබුනේ නඩු දමා මාධ්‍ය ඉදිරියේ මා හට අභුතයෙන් අපහාස නොකොට කටපියාගෙන සිටීමයි. ‘මාළුවා නහින්නේ කට නිසා’ යැයි කියා පැරණි සිංහල කියමනක් ඇත. එනිසා දැන් ඇටිකෙහෙල් කෑ උගුඩුවෙකු මෙන් භයෙන් පලා නොයා ඔබ කටමැත දෙඩු ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉදිරියේම මාගේ අභියෝගට මුහුණ දෙන්න.

එසේම එදා එළාර දුටුගැමුණු යුද්ධයේ දී පාක්ෂික ජනතාවට සිදුවන හානිය සලකාබලා එඩිතර නරපතියන් අතවැසියන් යුද්ධයට නොයවා ද්වන්ධ සටනකට එළඹිණි. එලෙසම මම ද උජුපටිපන්න සඟගුණ ප්‍රකට කරමින් ඔබවහන්සේට මෙසේ මුහුණට මුහුණ, සැබවින්ම ධර්මය විකෘති කරන්නේ ඔබද මමද යන්න මහජනතාවගේ දැනගැනීම පිණිස වාදාභියෝග කරමි. පසුගිය දිනක මවිසින් මාධ්‍ය හමුවක් පවත්වා ආරාධනා කළේ ඔබවහන්සේට අවශ්‍යනම් 500ක් භික්ෂූන් සමග වාදයට පැමිණෙන ලෙසත් එයට මා අභීතව තනිව මුහුණදෙන බවත් මිස, ඔබවහන්සේ රහිතව අතවැසියන්ට මුහුණදෙන බව නොවේ.

‘සබ්බ දුක්ඛ නිස්සරණ – නිබ්බාන සච්ඡිකරණත්ථාය’ කියා පැවිද්ද ලබා සකල ලෝවාසී බෞද්ධයන් ඉදිරියේ උතුම් වූ බුද්ධ චීවරය හෑල්ලුවට ලක්කරමින් නිවන වෙනුවට දියවන්නාව තෝරාගත් ඔබවහන්සේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියවා ඇති තරම් ත්‍රිපිටක ධර්මය හදාරා නැති බවද අපි දනිමු. එනිසා දහසක් හේතු කියා මාගේ අහියෝගයෙන් ඔබවහන්සේ පලායන බවද අපි දනිමු. එනමුත් අද පමණක් නොව තවත් වසර දස දහස් ගණනකට ඉතිහාසගතවන පරිදි අනාගතයේ බිහිවන නූපන් බෞද්ධ දරුවන්ගේද දැනගැනීම පිණිස මා මෙසේ ලිඛිතව ඔබවහන්සේට ධර්මය අධර්මය කුමක්දැයි පසිඳලනු පිණිස ධර්ම යුද්ධයක් සඳහා වාදයෙන් අභියෝග කර එය සමාජගත කරමි.

මෙම ලිපියේ සඳහන් දිනයේ සිට මසක් තුළ ප්‍රසිද්ධ ස්ථානයක දී ප්‍රසිද්ධ ජනමාධ්‍ය ඉදිරියේ මෙම සාකච්ඡාව සඳහා ඔබවහන්සේ තනිව හෝ ධර්මය නොදන්නේ නම් තමුන්ට අවශ්‍ය පමණ භික්ෂූන් ද සමග මට මුහුණ දිය යුතුය. එයට මම කසිදු පැකිලීමකින් තොරව තනිව මුහුණ දෙමි. එසේ නොපැමිණෙන්නේ නම් ඔබවහන්සේ ප්‍රමුඛ ඔබ නියෝජනය කරන ඊනියා සංවිධාන වල මතය හිරු දුටු කදෝපැණියෙකු සේ පරාජය වූ බවට සමාජ සම්මත වනු ඇත. එසේම ඔබවහන්සේලා විසින් ප්‍රසිද්ධ ජනමාධ්‍යයේ මාවෙත නැගූ සියලු අවලාද, පදනම් විරහිත හුදු ප්‍රලාප බවට සමාජ සම්මත වනු ඇත. එසේම වසර ගණනාවක් පුරා මවිසින් කළ සිංහනාදය නිවැරදි ධර්මය බවටත්, ඊට පටහැනි සියල්ල ධර්ම විකෘති බවටත් සමාජ සම්මත වනු ඇත.

තවද, මෙම අභියෝගය භාර නොගන්නේනම් ඔබවහන්සේලා විසින් ප්‍රසිද්ධ ජනමාධ්‍යයේ මාවෙත නැගූ සියලුම චෝදනා සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව මාගෙන් සමාව ගතයුතුව ඇත. එසේ සමාව ගැනීමක් සිදු නොවුනත් මෙම අභියෝගයෙන් පලායාමම, ඔබවහන්සේලා විසින් මාගෙන් කොන්දේසි  විරහිතව සමාව ගැනීමක් ලෙස සමාජ සම්මත වනු ඇත.

තෙරුවන් සරණයි!

මීට සසුන්ලැදි, පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි.

තිත්තගල්ලේ ආනන්දසිරි භික්ෂුවගේ Facebook පිටුවේ පළ කර ඇති අභියෝගය..
අදාළ භික්ෂුවගේ Facebook පිටුවේ cover photo එක